brand logo
logo
පාසල් ශිෂ්‍ය භටයන්ගේ කඳවුරු දීමනාව අත්හිටුවයි

පාසල් ශිෂ්‍ය භටයන්ගේ කඳවුරු දීමනාව අත්හිටුවයි

26 September 2026 | සාලිය කුමාර ගුණසේකර

පාසල් ශිෂ්‍යභට ක්‍රියාකාරකම් සඳහා කඳවුරු ගතවීමේදී සිසුන්ට රජයෙන් ලබාදුන් කඳවුරු දීමනාව ​ෙගවීම මේ වන විට අත්හිටුවා ඇත.


ශිෂ්‍යභට බළකාය ආරම්භකර වසර සියයකට අධික කාලයක් ගතවන අතර එකල සිටම මෙම දීමනාව ලබාදී තිබිණි.


ඒ අනුව දිනකට රුපියල් හැත්තෑපහක මුදලක් ශිෂ්‍යයන්ට මෙහිදී ලබාදුන් අතර කඳවුරු පුහුණුව දින පහේ සිට දින පහළොවක් දක්වා කාල පරාසයකදී පැවැත්වෙයි. මෙසේ කඳවුරු දීමනාව අහිමි කිරීම හේතුවෙන් ශිෂ්‍යභට බළකා සාමාජිකයන් දැඩි අසීරුතාවටපත්ව ඇති බව විදුහල්පතිවරු පවසති. වාර්ෂිකව ශිෂ්‍යභට පුහුණුව සඳහා එක්වන සිසුන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි. මීට පෙර කඳවුරු ගතවන ශිෂ්‍යභට සිසුන් අතටම එම දීමනාව ලබා දුන් අතර මෙම දීමනාව පාසල් සංවර්ධන සමිතිය හරහා ගෙවීමට ජාතික ශිෂ්‍යභට බළකාය කටයුතු කළේය.


ජාතික ශිෂ්‍යභට බළකායේ කර්නල් (කර්නල් පුහුණු) එච්.ඩී.එල්. රවීන්ද්‍ර විසින් “ජාශිඛ/පුහුණු/2(54)“අංක යටතේ මැයි මස 05 වැනිදා යොමු කරන ලද ලිපියක සඳහන්කර ඇත්තේ කඳවුරු සඳහා සහභාගිවන ඛණ්ඩ භාර නිලධාරින්/ නිලධාරිනියන් යන ශිෂ්‍යභට බාලක/බාලිකාවන් වෙනුවෙන් SLIP ක්‍රමය හරහා කඳවුරු දීමනා ගෙවීමට ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය ලැබී තිබෙන බවයි.


මේ සඳහා පාසල් සංවර්ධන සමිතියේ ගිණුම් අංකය සනාථ කරන ලද විදුහල්පති නිර්දේශ ලිපිය, පාසල් සංවර්ධන සමිතියේ ගිණුමට අයත් බැංකු පොතේ පිටපතක් ඇතුළු ලේඛන රැසක් ජාතික ශිෂ්‍යභට බළකාය වෙත ලබාදිය යුතු බව අදාළ ලිපියේ සඳහන් කර තිබේ.


එනමුත් ජාතික ශිෂ්‍ය භට බළකායේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් ඒ.පී.සී.ආර්.ප්‍රේමතිලක විසින් ඉකුත් අගෝස්තු මස 18 වැනිදා නිකුත් කරන ලද “ජාශිඛ/වැහාලේ/මූ/01/2026(55)“ අංක දරන ලිපිය මගින් සඳහන්කර ඇත්තේ අ. MOD/DEF/09/26/06/2012/2(-) හා 2012 වසරේ ජූලි මස 12 දිනැති ආරක්ෂක අමාත්‍යාංශ ලිපිය, ආ. EST-7/04/ALW/0143 හා 2025 වසරේ සැප්තැම්බර් මස 24 දිනැති රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ලිපිවලට අනුව ජාතික ශිෂ්‍යභට බළකායේ වාර්ෂික පුහුණු සැලැස්මට අනුව පැවැත්වෙන ශිෂ්‍ය ක්‍රියාකාරකම් සඳහා සහභාගිවන පිරිසට දිරි ගැන්වීමක් ලෙස මෙම කඳවුරු දීමනාව ගෙවූ බවයි.


තවද මෙම වසරේ (2026) පෙබරවාරි මස සිට පවත්වන ලද ශිෂ්‍යභට ක්‍රියාකාරකම් සඳහා වූ කඳවුරු දීමනාව ගෙවීමට නොහැකිව ඇත්තේ සුදුසු ක්‍රමවේදයකට මේ දක්වා අනුමැතිය නොලැබීම නිසා බවද අධ්‍යක්ෂවරයා අදාළ ලිපිය මගින් සඳහන්කර තිබේ. කඳවුරු දීමනාව අඛණ්ඩව ලබාදීමට නිසි ක්‍රමවේදයක් සකසා ගැනීමට අවස්ථා කිහිපයකදී යෝජනා ඉදිරිපත් කළද ඇතිවූ ප්‍රායෝගික ගැටලු මත ඒ සියල්ල ක්‍රියාත්මක කිරීමට හැකියාව නොලැබුණු බවද එම ලිපියේ සඳහන් කර තිබේ. මෙම වසරේ (2026) පෙබරවාරි මාසයෙන් පසුව පවත්වන ලද කඳවුරු දීමනා ලබාදීම වෙනුවෙන් අවශ්‍ය ලේඛන පූර්ව සූදානම්ව නිලධාරීන් / නිලධාරිනියන් හා ශිෂ්‍යභට අත්සන් සහිතව ලබාගත්තද පෙබරවාරි මාසයේ සිට මේ දක්වා පැවති කිසිදු කඳවුරකට කඳවුරු දීමනා ලබාගැනීමට අවස්ථාව නොලැබුණු බවද ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්ෂවරයා එම ලිපියේ සඳහන්කර ඇත.


තවද පැවති කඳවුරු වෙනුවෙන් නැවත එම කඳවුරු දීමනාව ලබා නොදෙන බවද අධ්‍යක්ෂවරයා සඳහන්කර තිබේ. එමෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත කඳවුරු වෙනුවෙන් එම දීමනා අදාළ ක්‍රමවේදය සඳහා අනුමැතිය ලබාදීමෙන් පසුව පමණක් දීමට නියමිත බවද එම ලිපිය මගින් වැඩිදුරටත් සඳහන්කර තිබේ. මේ අතර කඳවුරු දීමනාව නොගෙවීමෙන් සිසුන් හා විදුහල්පතිවරුන් පත්ව ඇති අපහසුතාවය පිළිබඳව ආණ්ඩුව සමග සාකච්ඡා කරන බව ලංකා ගුරු සංගමය ද සතිඅග ‘අරුණ’ ට සඳහන් කළේය.


 

More News..