විජේවීරගේ ආසම සිංදුව පෙර දවසක මා පෙම් කළ යුවතිය
27 July 2026
විජේවීරගේ ආසම සිංදුව පෙර දවසක මා පෙම් කළ යුවතිය
27 July 2026
ලයනල් බෝපගේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ලේකම්වරයෙකි. රෝහණ විජේවීරගේ විශ්වාසය දිනාගෙන සිටි අයෙකි. ජවිපෙ ආරම්භයේ සිට බොහෝ කාරණා දන්නා අයෙකි. භීෂණ සමයේදී ජීවිත තර්ජන හේතුවෙන් විදෙස්ගත වූ ඔහු දැන් ස්ථිර පදිංචිව සිටින්නේ ඔස්ට්‍රේලියාවේය. මේ දිනවල ලංකාවට පැමිණ සිටින ඔහු සමග සතිඅග අරුණ කළ කතාබහකි මේ.
විමුක්ති ගී කියන විට අපිට ලොකු ඉතිහාසයක් මතක් වෙනවා. දැන් ඔබ යළිත් වරක් විමුක්ති ගී සමග ලංකාවට ඇවිත් තියෙනවා. එහි තේරුම විමුක්තිකාමියා තවමත් ඔබ තුළ ජීවත් වෙනවා කියන එකද?
විමුක්තිකාමය කියන දේ අපි හැමෝ තුළම තිබිය යුතු දෙයක්. අපි හැමෝටම සිහිනයක් තිබිය යුතුයි. එහෙම සිහිනයක් තිබුණොත් තමයි අපිට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. බොහෝ දෙනාට එහෙම සිහින නෑ. ඒක තමයි නරක.
දැන් එහෙම සිහින නැති වෙලා තියෙන්නේ ඇයි?
බොහෝ දෙනාට තියෙන සමාජ, ආර්ථික ප්‍රශ්න නිසා තමන්ට සිහිනයක් ගැන හිතන්න වෙලාවක් නෑ. ඒ නිසා එදිනෙදා ජීවිතය ගැට ගහගෙන යන්න තමයි ඒ අය හදන්නේ. විමුක්තිකාමය කියන්නේ හොඳ දෙයක් විතරක් නෙමෙයි, හැමෝටම තිබිය යුතු දෙයක්. අපි හැමෝටම පුද්ගලිකව වගේම පොදුවේ සිහිනයක් තිබිය යුතුයි. රටක් විදියට ඒ සිහිනය තිබිය යුතුයි.
විමුක්ති ගී එළියට ආවේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක. ඔබ ඇතුළු පිරිස ජනතා විමුක්ති පෙරමුණේ සිටියදී කරපු විමුක්ති ගීතයේ අලුත් මුහුණුවරක්ද මේ?
මුලින්ම විමුක්ති ගී ප්‍රසංගයට නම වැටුණේ 1977 දී. ඒ අවුරුද්දේදී තමයි විමුක්ති ගී ප්‍රසංගයක් විදියට පවත්වමු කියන එක මම පක්ෂයට යෝජනා කළේ.
විමුක්ති ගී ප්‍රසංගයට ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා කළාද?
ඔව්. ඒ වගේම පෙරටුගාමීන්ටත් ආරාධනා කළා.
ඔබ සිංදු කියලා තියෙනවාද?
ඔව්.
කාගේ සිංදුද කියලා තියෙන්නේ?
මම පොඩි කාලේ ජෝතිපාලගේ, මිල්ටන් පෙරේරාගේ සිංදු කියලා තියෙනවා. පස්සේ ජනප්‍රිය ගීතවලින් ඉවත් වෙලා අමරදේවගේ, නන්දා මාලනීගේ දේශාභිමානී ගීත ගායනයා කරන්න පටන් ගත්තා. දේශාභිමානී ගීත කියන්නේ විමුක්ති ගීතම නෙමෙයි. දේශාභිමානී ගීත කියන්නේ තමන්ගේ රටගැන කැක්කුමක් ඇති කරන ගීත. එයින් රටේ ඉදිරි ගමනට, විමුක්තියට ලොකු හැඟීමක් ඇතිවෙනවා යැයි කියන්න අමාරුයි. හැට ගණන්වල රෝහණ සහෝදරයා අත්අඩංගුවට අරගෙන බදුල්ලේ බන්ධනාගාරයේ හිටියේ. නුවරඑළිය උසාවියේ නඩු ඇහුවේ. අපි කොළඹ ඉඳලා නඩුව දවසට යනවා. කෝච්චියේ යන්නේ. නානුඔයට ගිහින් පයින් නුවරඑළියට යනවා. ඒ ගමනේම මොනවා හරි සිංදු කියනවා. වැඩියෙන්ම කිව්වේ දේශාභිමානී ගීත. ඒ ගීත කියන විට කියන පණිවුඩය හරිද කියලා අපි කල්පනා කරනවා. මේ සිංහල අපගේ රටයි කියලා කිව්වම මේක සිංහල අපගේ පමණක් වුණේ කොහොමද කියන ප්‍රශ්නය අපිට තිබුණා. මේක අපි සියලුදෙනාගේම රට කියලා හිතුවා. අපි කෝච්චියේ යන ගමන් වෙන වචන දාලා කිව්වා.
එතකොට විමුක්ති ගීත විදියට ගීත එළියට එන්නේ කොහොමද?
එක තැනක් තමයි හිර ගෙදර. අනික් තැන තමයි කැලෑව. කැලේ හිටපු සහෝදරවරු නොයෙක් විදියේ ගීත ප්‍රබන්ධ කරන්න ගත්තා. හිර ගෙවල්වල සිටියදී අනාගතය ගැන බලාපොරොත්තුවක් නැතිව, කාන්සියෙන් ඉන්න වෙලාවට තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න තමයි මේවා පද බැන්දේ. මම මැගසින් බන්ධනාගාරයේ සිටියදී දවසේ පැය විසි හතරෙන් විනාඩි දහයක් හැරෙන්න අනෙක් හැම වෙලාවකම ශෙල් එක ඇතුළේ හිටියේ. ඒ වෙලාවට බෙලෙක්කෙයි, ජොග්ගුවයි අරගෙන ගහලා සිංදු කිව්වා. එක එක ගීත කිව්වා. මම හින්දි ගීතත් කිව්වා.
රෝහණ විජේවීරත් ගීත කිව්වාද?
රෝහණ සහෝදරයා ගීතවලට ආසයි. ඒත් සිංදු කියන්න අමාරුයි.
රෝහණ විජේවීරගේ කැමැතිම සිංදුව මොකක්ද?
පෙර දවසක මා පෙම් කළ යුවතිය කියන ගීතය. ඒක අපිට කියන්න කියනවා. ඒක කිව්වම එයා හරියට සංතෝස වෙනවා.
ආයිමත් අපි විමුක්ති ගීතවල ඉතිහාස කතාවට යමු?
ඔව්. අපි අප්‍රේල් අරගලයෙන් පස්සේ කැලෑවලට පසු බැහැලා හිටියා. ඔය කාලේ ගීත නිබන්ධ කළා. පස්සේ නීතිඥයෙක් වුණ උදේනි බන්දුල සහෝදරයා ප්‍රබන්ධ කරපු ගීතයක් තමයි විමුක්තියේ රතු උදාන ගීතය. හැමන්හිල් වගේ බන්ධනාගාරවල, එළිමහන් සිර කඳවුරුවල හිටපු අය නිබන්ධ කරපු ගීත එකතුවෙලා ලොකු ගීත තොගයක් තිබුණා. සමහරු මේ ගීත තැන් තැන්වල කිව්වා. හැත්තෑ හතේ තහනම ඉවත්වුණාට පස්සේ ප්‍රසිද්ධ රැස්වීම් තියන්න ගත්තානේ. ඒවාය් ගීත එකක් දෙකක් කියලා තියෙනවා.
කවුද ඒ ගීත කිව්වේ?
සෝමවංශ අමරසිංහ සහෝදරයා ගීත ගායනා කළා. කෙලී සේනානායකලා එහෙම ගීත ගායනා කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු සමහර කණ්ඩායම් මේ ගීතවලට උනන්දු වුණා. හැත්තෑ හතේ අපි එළියට ආවට පස්සේ මධ්‍යම කාරක සභා රැස්වීමකදී මේ ගීත ප්‍රසංගයක් ලෙස ඉදිරිපත් කළ යුතු යැයි අපි තීරණය කළා. ඒ අනුව තමයි හැත්තෑ අටේ ජූලි 26 වැනිදා අපේ පළමු ප්‍රසංගය කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වූවේ. ඒක සිහි කරන්න තමයි මෙවරත් අපි කොළඹ නව නගර ශාලාවේ පවත්වන්නේ.
ඔබ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා විදියට විශාල කාලයක් වැඩ කළා. දේශපාලන ගමන ගැන කතා කරන්න කලින් අපි ඔබේ පුංචි කාලය ගැන කතා කරමු. ගම්පළාත කොහේද?
වැලිගම. ධීවර කර්මාන්තය, කුඹල් කර්මාන්තය තමයි ඒ පැත්තේ තිබුණ ප්‍රධාන කර්මාන්ත දෙක. අපේ තාත්තා වගා කළා. ව්‍යාපාරයක් තිබුණා. අපි පහළ මධ්‍යම පන්තියේ අය.
තාත්තා දේශපාලනයට සම්බන්ධ වෙලා හිටියාද?
තාත්තා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක්. තාත්තා පානී ඉලංගකෝන් මහත්තයාට සමීපව සිටියා. ඔහු පනස් හයේ මහජන එක්සත් පෙරමුණෙන් තරග කරලා පාර්ලිමේන්තු ගියාට, ඊට කලින් ඔහු කොමියුනිස්ට් පක්ෂයෙන් තරග කළේ. මට අවුරුදු අටක් විතර වුණත් ඒ කාලේ වුණ දේවල් මතකයි. රතු කොඩියේ රිදී තරුවක් ඇඳලා පාර හරහා දැම්මා. මේක අයින් කරන්න කියලා එක්සත් ජාතික පක්ෂයේ අය බලපෑම් කළා. තර්ජනය කළා. තාත්තා ඒකට මුහුණ දෙන්න පිස්තෝලයක් අරගෙන ඇවිත් ලාච්චුවක දාගෙන හිටියා. කොඩිය කැපුවේ නෑ.
ඔබ ඉංජිනේරුවෙක්. පොඩි කාලේ ඉඳලාම ඉංජිනේරුවෙක් වෙන්න කැමැත්තෙන්ද හිටියේ?
ඔව්. ඒත් තාත්තාට මාව වෛද්‍යවරයෙක් කරන්නයි අවශ්‍ය වුණේ. ඒ කාලේ මම ගොඩක් කියවනවා. උඩකැන්දවල සිරි සරණංකර හාමුදුරුවෝ නව ලෝකය කියලා සඟරාවක් කළා. ඒක කියවනවා. මාක්ස්වාදය ගැන කියෙව්වා.
පාසල් යන කාලයේත් ඔබ වාමාංශිකයෙක්ද?
ඔව්. මේ ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා හිතපු නිසා කොමියුනිස්ට් පක්ෂයේ ජාතික ශිෂ්‍ය සංගමයට සම්බන්ධවෙලා හිටියා.
එතකොට පාසල් ගියේ?
මුලින්ම වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයට ගියේ. තාත්තාට ටිකක් සල්ලි තිබුණ කාලේ බක්කි කරත්තෙන් තමයි ගියේ. තාත්තාට ටිකක් අමාරු වෙනකොට පයින් ගියා. බයිසිකලෙන් ගියා. අපි කොමියුනිස්ට් පාක්ෂිකයන්, මොන්ටෙගු ජයවික්‍රම තමයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි. පාසලෙනුත් නොයෙක් හිරිහැර වුණ නිසා තාත්තා මාව අයින් කරලා මාතර රාහුල විද්‍යාලයට දැම්මා. හය වැනි පන්තියට ඇතුළු වුණා.
රාහුලේ ඉඳලා රිච්මන්ඩ් එකට ගියේ ඇයි?
රාහුලට ගියේ විද්‍යාව විෂයන් කරන්න බලාගෙන. සාමාන්‍ය පෙළ හොඳට සමත් වුණා. ඒ දවස්වල රාහුලෙන් උසස් පෙළ හොඳට ළමයි පාස් වෙන්නේ නෑ. ඒ නිසා හැට තුනේදී රිච්මන්ඩ් එකට ඇතුළු වුණා. වැලිගම ඉඳලා රුහුණු කුමාරියේ ගිහින් රිච්මන්ඩ් කන්දෙන් බැහැලා ඉස්කෝලෙට යනවා. නොයෙක් වාද විවාද කරමින් යනවා.
රිච්මන්ඩ් විදුහලේ හිටපු සමකාලීනයන් කවුද?
ඔය කාලේ ජාත්‍යන්තර බෙදීමත් එක්ක චීන සෝවියට් භේදයක් ආවානේ. අපි චීන පිලට පක්ෂව තමයි හිටියේ. චීන පිලට පක්ෂව රිච්මන්ඩ් එකේ සහෝදර සංගමය කියලා එකක් අපි හැදුවා. ඒකේ ප්‍රධානියා විදියට අශෝක පෙරේරා හිටියා. භෞතික විද්‍යාවෙන් ආචාර්ය උපාධියක් ගත්ත ඔහු කැන්බරා නුවර ජීවත් වෙනවා. රංජන් මෙන්ඩිස් කියලා නීතිඥයෙක් හිටියා. සමන් වගආරච්චි රැස්වීමකට ගහලා ඇල්ලුවාම නඩුවට පෙනී සිටියේ රංජන් මෙන්ඩිස්. දැන් කැනඩාවේ ඉන්න බන්දුලසේන කියලා ඉන්ජිනේරුවෙක් අපේ පන්තියේ හිටියා. ඒ දවස්වල රිච්මන්ඩ් එකේ පිහිනුම් කරපු කරුණාසේන හිටියා. අපේ පන්ති භාරව සිටියේ සුගුණදාස කාරියවසම් සර්. පස්සේ ඔහු විදුහල්පති වුණා. වීරසිංහ සර් තමයි විදුහල්පති අපේ කාලේ.
ඔබ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ආපු ගමන්ම දේශපාලනය කළාද?
පේරාදෙණියට එනකොට සමාජවාදී සංගමය කියලා ශිෂ්‍ය සංගමයක් තිබුණා. ඒක මුලින් මාවෝ වාදී සංගමයක්. මේ වන විට අපි චීන කොමියුනිස්ට් පක්ෂය ගැනත් කලකිරිලා හිටියේ.
චීන පිලේ නායකයා, ශන්මුගදාසන්. ඔහු දෙමළ නිසා සමහරු කලකිරිලා හිටියා කියලා කතාවක් තියෙනවා. ඒක ඇත්තද?
ඒකේ ඇත්තක් නෑ. ඒ පක්ෂයේ දේවල් අපිට ඇල්ලුවේ නෑ. අපි චීනයටත්, සෝවියට් සංගමයටත් නැතිව ස්වාධීනව ඉන්න අපි තීරණය කළා.
ඉන්ජිනේරු පීඨයේ අය ශිෂ්‍ය දේශපාලනයට අඩුවෙන් සම්බන්ධ වෙන්නේ. ඉන්ජිනේරු පීඨයේ හිටියත් ඔබ ශිෂ්‍ය දේශපාලනය දිගටම කළා?
ඔව්. ඒ කාලයේ නොයෙක් විරෝධතා තිබුණා. එකක් තමයි විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයේ ලකුණු ප්‍රසිද්ධ කරලා ආණ්ඩුවට හිතවත් කීපදෙනෙක් ලැයිස්තුවට ඇතුළත් කිරීමට කලින් ලැයිස්තුවේ හිටපු කීප දෙනෙක් අයින් කළා. මේකට මුළු විශ්වවිද්‍යාලයම විරෝධය දක්වන්න ගත්තා. ඉන්ජිනේරු පීඨය විදියට මේ විරෝධයට ආවේ නැතත් අපි විරෝධතාවලට ආවා. වෛද්‍ය පීඨයේ අය සහාය දුන්නා. ඒ කාලේ වෛද්‍ය පීඨයෙන් පිට වුණත් රැකියා ගැනීමේ අමාරුවක් තිබුණා. ඒ නිසා ඔවුන් මේකට සහාය දුන්නා.
ඊරියගොල්ල මහත්තය අධ්‍යාපන ඇමැති වෙලා ඉන්න කාලේ විශ්වවිද්‍යාලය ඇතුළේ හමුදා කඳවුරක් හදන්න තීරණය කළා. ඒකට ශිෂ්‍ය සංගම් විරුද්ධ වුණා. කොහොම හරි ඒක ගැටුමක් විදියට දිගට ඇදිලා ගියේ නෑ. හමුදාව ආවොත් ගහන්න කියලා අපි පෙට්‍රල් බෝම්බත් හදලා තියාගෙන හිටියා. මේ විරෝධතා යන වෙලාවේ රෝහණ සහෝදරයාත් විශ්වවිද්‍යාලයට ඇවිත් හිරවෙලා හිටියා. රෝහණ සහෝදරයාත් අරගෙන පේරාදෙණියේ ඉඳලා සෑහෙන දුරක් අපි ගියා. අපි ඇවිදගෙන යන ගමන් කාටද වේගයෙන් ඇවිදින්න පුළුවන් කියලා අපි බැලුවා. රෝහණ සහෝදරයාටත්, මටත් වේගයෙන් ඇවිදින්න පුළුවන්. අපි තරගයට ඇවිද්දා.
මේ වන විට ඔබ රෝහණ විජේවීර ඇතුළු ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකතු වෙලාද?
ඒ වෙනකොට ව්‍යාපාරය විදියට තමයි තිබුණේ. ජනතා විමුක්ති පෙරමුණ කියලා තිබුණේ නෑ. රෝහණ සහෝදරයා වෙනම වැඩ. අපි වෙනම වැඩ. මේ වන විට ඇමරිකාවේ සී.අයි.ඒ. එක ලෝකයේ රටවල ආණ්ඩු පෙරළන්න මැදිහත් වුණා. මේ කාලයේ මෙහේ මුදල් ඇමැති ජේ.ආර්. ජයවර්ධන. ඔහු ලංකාවේ මැතිවරණ සිතිමය අවුරුදු විස්සකට හකුළන්න ඕන කිව්වා. ඔහු ඇමරිකානු හිතවාදියෙක්. අපි මේ දෙක සම්බන්ධ කළා. අපිට දිගටම මාවෝවාදී බලපෑම් තිබුණා. ඒ කාලේ මාවෝවාදී කණ්ඩායම් ගණනාවක් තිබුණා. කල්‍යාණන්ද තිරාණගමගේ, සුමිත් දෙවිනුවරගේ වගේ කණ්ඩායම් තිබුණා. මේ හැම කණ්ඩායමක්ම ආයුද සන්නද්ධ අරගලයකින් සමාජවාදය ගේන්න ඕන කියලා කිව්වා. සමාජවාදී ශිෂ්‍ය සංගමය විදියට අපි වැඩ කරමින් සිටින විට රෝහණ විජේවීර සහෝදරයා ශිෂ්‍ය සංගම් එක්ක කතා කරන්න ආවා. මේ වන විට ඔහු විද්‍යෝදය, විද්‍යාලංකාරයේ ශිෂ්‍ය සංගම් එක්ක කතා කරලා ඔවුන් දිනාගෙන තිබුණා. පේරාදෙණියට ඇවිත් කතා බහ කරලා යනවා.
එතකොට රෝහණ විජේවීර සහ ඔබ අතර සම්බන්ධය ඇතිවෙන්නේ කොහොමද?
එක දවසක් රෝහණ සහෝදරයා විශේෂයෙන්ම මම හමුවෙන්න ආවා. එදා ශිෂ්‍ය සංගම් නිලවරණය පැවැති දවස. පේරාදෙණිය කලාගාරයේ බිම වාඩිවෙලා ඉන්නවා. සරත් විජේසිංහ සහෝදරයා ඇවිත් මේ ලොකු මහත්තයා කියලා, කතා කරන්න ඕන කියලා කිව්වා. එදා ඔහු ඉදිරිපත් කළ දේවල් මට ගැළපුණා. පැයක විතර කතාවක් තමයි කළේ. රටේ තත්ත්වය, ජාත්‍යන්තර තත්ත්වය, අපිට කරන්න පුළුවන් දේවල් කතා කළා. ක්‍රමානුකූලව අපි ඒ අයත් එක්ක එකතු වුණා. සමාජවාදී සංගමයයි, ජනතා විමුක්ති පෙරමුණයි එකතු වෙන්නේ ඔය විදියට. ව්‍යාපාර විදියට තමයි ජනතා විමුක්ති පෙරමුණ තිබුණේ.
එතකොට ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ විදියට නම් වෙන්නේ කොහොමද?
රෝහණ විජේවීර සහෝදරයා අත්අඩංගුවට අරගත්තාට පස්සේ රටේම එකපාර පෝස්ටර් ගැහුවා. මේක කරන්නේ කවුද කියලා නම් කරන්න ඕන නේ. ඒ නිසා ව්‍යාපාරයේ මධ්‍ය කමිටුව විසින් තමයි ජනතා විමුක්ති පෙරමුණ කියන නම දාන්නේ.
හැත්තෑවේ මැතිවරණය එන්නෙත් මේ කාලයේ. ව්‍යාපාරය හෝ ජනතා විමුක්ති පෙරමුණ මේ මැතිවරණයේදී කාත් එක්කද හිටියේ?
වැඩ කරන අයගේ වෙනම ව්‍යාපාරයක් තිබිය යුතු බව අපි විශ්වාස කළා. ඒ නිසා කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය එක්ක වැඩ කරන්න අපි හිටියේ. ඒත් මේ අය ගිහින් සමගි පෙරමුණ හදාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතු වුණා. මේ නිසා පිලිප් ගුණවර්ධන එක්සත් ජාතික පක්ෂයට ගියා. සමගි පෙරමුණ වතු ජනසතු කිරීම ඇතුළු ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කළා. ඒකට සහාය දීමට අපි තීරණය කළා. ඒ අනුව අපේ සහාය සමගි පෙරමුණට දීමට තීරණය කළා. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මහින්ද විජේසේකර ඒ වේදිකාවේ ප්‍රධාන කථිකයෙක්. ඩී.ඒ. ගුණසේකර සහෝදරයා කථිකයෙක්. ඒ වගේ කථිකයන් සමගි පෙරමුණට සහාය දුන්නා. රෝහණ විජේවීර සහෝදරයා සිටියදී තමයි එහෙම සහාය දුන්නේ.
ඒත් ඔබ සහාය දුන් අයගෙන් ඈත් වෙන්නේ ඇයි?
මුදල් ඇමැති වුණ එන්.එම්. පෙරේරා සහෝදරයා පළමු අයවැය කතාවේදීම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන දේවල් කරන්න බෑ කියලා කිව්වා. ඒකත් එක්ක තමයි අපි දුරස් වුණේ. මේ වන විට අපි රටේ තුන්වැනි බලවේගය විදියට වේගයෙන් ඉදිරියට ආවා. මේ නිසා තමයි සම සමාජ පක්ෂයත්, කොමියුනිස්ට් පක්ෂයත් අපිත් එක්ක කෝන්තර ඇති කරගත්තේ.
ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කරන්න ඕන කියලා කිව්වේත් ඔබ ඇතුළු පිරිස සහාය දුන්න සමගි පෙරමුණු ආණ්ඩුවමයි?
සමගි පෙරමුණෙ ආණ්ඩුව යටතේ ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කිරීමට කමිටුවක් දැම්මා. ඒකේ සභාපතිවරයා වුණේ පීටර් කෙනමන් සහෝදරයා. සම සමාජ පක්ෂයේ අයත් ඒකේ හිටියා. ඒ අයගේ නිර්දේශ අනුව තමයි අපි මර්දනය කරන්නේ. ජනතා විමුක්ති පෙරමුණ විදියට අපි ප්‍රසිද්ධ රැස්වීමක් තිබුණේ හයිඩ් පාක් පිටියේ. අගෝස්තු මාසයේ දවසක. ඒ ආසන්නයේ දවසක පක්ෂ තුනේම ලේකම්වරු අත්සන් කරලා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන හතුරා කියලා නිවේදනයක් නිකුත් කළා. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ආතර් රත්නවේල් ඒ ආකාරයේම ප්‍රකාශයක් කළා. මර්දනය කළ යුතු බව පැවැසුවා. අපේ පත්තරේ බෙදපු අය අත්අඩංගුවට ගත්තා. හිරේ දානවා. අධ්‍යාපන කඳවුරු තියන විට අත්අඩංගුවට ගන්නවා. මේකට මුහුණදෙන්න අපි ආයුධ එකතු කළා.
සිරිමාවෝ ආණ්ඩුව කාලයේද මුලින්ම ආයුධ එකතු කළේ?
ඊට කලින් ආයුධ එකතු කළා. ඒත් ඒක යට ගියා. හැබැයි සිරිමාවෝගේ ආණ්ඩුව පක්ෂය මර්දනය කරන්න හදන විට තමයි යළිත් ආයුධ එකතු කරන්න ගත්තේ.
ඒ කාලේ ආයුධ හොයාගත්තේ කොහොමද?
ගල්කටස්, පිස්තෝල එකතු කළා. මුදලට ගන්න පුළුවන් ඒවා, හොරකම් කරන්න පුළුවන් ඒවා එකතු කළා.
සන්නද්ධ වෙන්න ජවිපෙට උතුරු කොරියාවෙන් උදව් කළාද?
ඒක බොරු කතාවක්. දේශපාලන වශයෙන් සෝවියට් සංගමය, උතුරු කොරියාව එක්ක සම්බන්ධතා තිබුණා. ඒ රටවල මිත්‍ර සංගම් හරහා. මේ වන විට ඩී.අයි.ජී. ධර්මසේකරලා මාවෝවාදී තරුණ සංගමය විදියට ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් දැක්වූවා. ඔහු ඒ වන විට පක්ෂයෙන් අයින් වෙලා. ඒ විරෝධතාවයේදී පොලිස් නිලධාරියෙක් ඝාතනය වුණා. මේත් එක්කම රෝහණ සහෝදරයා අත්අඩංගුවට ගත්තා. මේ මර්දනය එක්ක තමයි පොලිස් ස්ථානවලට පහරදෙන්න තීරණය කළේ. මේ වන විට අපි ආරක්ෂිත ගම්මාන හදලා තිබුණා. හැත්තෑ එකේ ජනවාරිවල ඉඳලා මාර්තු විස්ස වෙනකම් ඒ වගේ කඳවුරක් හදමින් මාතලේ පැත්තේ හිටියේ. පිටත් එක්ක සම්බන්ධයක් නැතිව තමයි හිටියේ. රෝහණ සහෝදරයා අල්ලලා දවස් කීපයකට පස්සේ මාතලේට බඩු අරගෙන එන්න ගිය සහෝදරයෙක් පත්තරේ අරගෙන ආවාම තමයි අත්අඩංගුවට ගත්තා කියලා දන්නේ. ඒකත් එක්ක මම කොළඹට ආවා.
අප්‍රේල් කැරැල්ල ආරම්භ වුණේ කොහොමද?
ඒ වන විට පක්ෂය ඇතුළේ කණ්ඩායම් බෙදිලා හිටියා. විජේවීරගේ කණ්ඩායම හා ලොකු අතුලගේ කණ්ඩායම විදියට. සනත් බොරලුකැටිය, ඉන්කම් ටැක්ස් කරු, ධනපාල සහෝදරයා ඒ පැත්තේ හිටියා. පරිණත අය හිටියා. රෝහණ සහෝදරයා, පියතිලක, උයන්ගොඩ සහ මම රෝහණ සහෝදරයා එක්ක හිටියා. මේ කණ්ඩායම් දෙක එකට මුණගැහෙන්නේ නෑ. පොලිස් ස්ථානවලට පරහදීමට අපේ අදහසක් තිබුණේ නෑ. රෝහණ සහෝදරයා අත්අඩංගුවට ගත්තාම නීතිඥයන් හමුවෙන්න මම ගියා. බාලතම්පෝ හමුවෙන්න ඔස්මන්ඩ් සහෝදරයාත්, එයාගේ අම්මාත් ගිහින් තිබුණා. රෝහණ සහෝදරයා එළියට ගන්න තමයි අපි සූදානම් වුණේ. එක තැනකින් තවත් තැනකට අරගෙන යනකොට මොනවා හරි කරලා එළියට ගන්න ඕන කියලා තමයි අපි හිතුවේ. පියතිලක, මම, උයන්ගොඩ ඒකට සූදානම් වුණා. පහරදෙන්න ඕන කියන පීඩනය එන්නේ මේ කාලයේදී.
කාගෙන්ද ඒ පීඩනය එන්නේ?
දෙපැත්තේම අය පහරදෙන්න ඕන කියන පීඩනය ආවා. ආරක්ෂා වෙන්න නම් පහරදෙන්න ඕන කියලා කිව්වා. මාතර ලේකම් ලෙස හිටපු සුසිල් වික්‍රම, වික්ටර් අයිවන්, බදුල්ලේ හිටපු සුනන්ද දේශප්‍රිය වගේ අය පහරදෙන්න ඕන කියන මතයේ තදටම හිටියා. මේ අතරේ රෝහණ සහෝදරයාගෙන් කියලා පණිවුඩයක් ලැබුණා.
මොකක්ද ඒ පණිවුඩය?
ඒ පණිවුඩය ගැන අදටත් ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. එකක් තමයි ඔස්මන්ඩ් සහෝදරයාගේ අම්මා, සීලවතී සහෝදරිය ගිහිල්ලා සී.ආර්.පී. එකේ දී රෝහණ සහෝදරයා හමුවුණාම පහරදීලා පසු බහින්න කියලා කිව්වා. රෝහණ සහෝදරයා මඩකලපුවට අරගෙන ගියාම ඔහුත් සමග හිටපු කෙලී සේනානායක අත, අමාරු තත්ත්වයක් තිබෙනවානම් පහර දෙන්න, පහරදනවා නම් ඔහු නිදහස් කරගැනීමට කණ්ඩායමක් එවන්න කියලා පණිඩුඩයක් එවලා තිබුණා. ඒ අදහස අප්‍රේල් පහරදීමට බලපෑවා. මේ වන විට පක්ෂය ඇතුළේ හිටපු කණ්ඩායම් දෙක එකට එකතුවෙලා කතා කරමු කියලා ආපු යෝජනාව අනුව අප්‍රේල් දෙවැනිදා විද්‍යෝදයේදී හමුවුණා. සනත් බොරලුකැටිය, පියතිලක, මම, උයන්ගොඩ ඇතුළු අය හමුවෙලා අප්‍රේල් පස් වැනිදා රෑ එකොළහමාරට පහරදීම තීරණය කළා.
එතකොට පහරදීමට තරම් ශක්තියක් තිබුණාද?
මම කොළඹ වටේ යන විට අපි හරිම දුර්වලයි කියලා තේරුම්ගත්තා. පිරිස් බලයත් තිබුණේ නෑ. කොළඹට පහරදීමට තරම් තත්ත්වයක් නෑ කියලා මම දෙවැනිදා රැස්වීමේදී කිව්වත් ලොකු අතුල ඒක පිළිගත්තේ නෑ. කොළඹට කෑගල්ලෙන් දහසක කණ්ඩායමක් එවනවා කිව්වා. කොහොම නමුත් අවසානයේදී කරන දේ ගැන තීරණයක් දිස්ත්‍රික් කමිටුවලට බලය දුන්නා.
ලොකු අතුල කියපු විදියට දහසක් දෙනා කොළඹට ආවාද?
එක්කෙනෙක්වත් ආවේ නෑ.
පස්වෙනිදා පහරදෙන්න හැදුවත් හතරවැනිදා මොනරාගලදී පහර දුන්නා. ඒක වුණේ කොහොමද?
ලොකු අතුලලා කණ්ඩායම අපි හමුවෙන්න කලින් පහරදීමක් ගැන තීරණයක් අරගෙන තිබුණා. ඒ තීරණය තමයි මොනරාගල පොලීසියට ගහලා ක්‍රියාත්මක වෙලා තිබුණේ.
* ජේ.වී.පී. අප්පුහාමි මළා. අවසන් කටයුතු පස්වැනිදා කියලා ගුවන්විදුලියේ මරණ දැන්වීමක් ප්‍රචාරය කරමින් පරහදීම ගැන සන්නිවේදනය කළා කියන කතාව ඇත්තද?
ඒ ගැන කිසිම දෙයක් මම දන්නේ නෑ. එහෙම දැන්වීමක් දැමීම ගැන කිසිම සාකච්ඡාවකට මම සම්බන්ධ වෙලා නම් නෑ. ඒ වගේ බොරු කතා පැතිරිලා නම් තිබෙනවා.
* මොනරාගල පොලීසියට පහරදීම අප්‍රේල් පස් වැනිදා අරගලයට බලපෑවේ කොහොමද?
මේ වගේ ප්‍රහාරයකදී පුදුම කිරීම තමයි වැදගත් වෙන්නේ. කලින් දවසේ සිදුවීම නොවුණා නම් ප්‍රහාරය මීට වඩා සාර්ථක වෙනවා. කලින් දවසේ මොනරාගල සිදුවීම නිසා හැම තැනම පොලීසිවලට හමුදාව දාලා තිබුණා. අපි වැඩ කරපු විද්‍යෝදය සංඝාරාමයම වහලා, හමුදාව දාලා තිබුණා. ඒ නිසා අපිට යන්න තැනක් තිබුණේ නෑ.
* විද්‍යෝදය සංගාරාමය අහිමි වුණාම කොහේටද ගියේ?
සරික්කාමුල්ලේ පන්සලට ගියේ. ඒ පන්සලේ හාමුදුරුවෝ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක්. අපේ පක්ෂයත් එක්ක හිටියේ.
* අප්‍රේල් පස් වැනිදා පහරදීමෙන් පස්සේ මොකක්ද කරන්න හිටියේ?
ඒ පහරදීම රාජ්‍ය බලය අල්ලා ගැනීමට කළ පහරදීමක් නෙමෙයි. ආත්මාරක්ෂාව සඳහා කළ පහරදීමක්. අපි ආයුධ අරගෙන පසුබහිනවා. ආයුධ සන්නද්ධවීම තමයි ඒ පහරදීමේ අරමුණ වුණේ. ප්‍රධාන එක නගරයක්වත් අපිට අල්ලාගන්න බැරිවුණා. අපි ඒ වෙනකොට චීන තානාපති කාර්යාලය එක්ක සම්බන්ධතා පවත්වාගෙන හිටියේ. අප්‍රේල් හය වැනිදා චීන තානාපති කාර්යාලයට ගිහිල්ල පහරදීම ගැන අපේ ස්ථාවරය දැනුම් දෙන විට තානාපති කාර්යාලයේ අය අපිට යන්න කීවා. හිටියොත් පොලීසියට අල්ලලා දෙනවා කියලා කිව්වා.
ලංකාවේ ගුවන් හමුදාව රොකට් යවන්න කලින්, ඔබ අරගලකරුවන්ට හන්තානේ තියාගෙන රොකට් පුහුණුව දුන්නේ කොහොමද?
අපි රාහුලේ ඉගෙන ගන්න කාලේ රොකට් සංගමය කියලා එකක් තිබුණා. අපි හතර පස් දෙනෙක් එකතුවෙලා මාතර බ්‍රවුන්ස්හිල්වල රොකට් දෙකක් විතර පරීක්ෂා කළා. ඒක හරි ගියේ නෑ. ඒ කාලේ ඇමරිකානු ජංගම පුස්තකාලයක් තිබුණා. ඒ අයගෙන් පොත් අරගෙන රොකට් හදන හැටි ගැන ඉගෙන ගත්තා. මාතර මුහුදේ රොකට් එකක් අපි යැව්වා. අදියර දෙකකින් යුත් රොකට් එකක් අපි යැව්වා. පළමු අදියර සාර්ථක වුණා. දෙවැනි එක පිපිරුවා. ඒක පාසල් කාලයේ කතාව. අපි ආයුධ සන්නද්ධ වෙන කාලයේ රොකට් යැවීම ගැන පරීක්ෂණ පැවැත්වුවා. හන්තාන කන්දේ අපි රොකට් එක්ක යැව්වා. කම්කරු මාවත කියලා විශ්වවිද්‍යාලයේ හිටපු අය ගරිල්ලා කණ්ඩායමක් රොකට් යවලා තියෙනවා කියලා ලොකු ප්‍රචාරයක් අරගෙන ගියා. ඒ නිසා අපිට ඒක ඉස්සරහට අරගෙන යන්න බැරි වුණා.
* හැත්තෑ එකේ කැරැල්ල අසාර්ථක වූ තැන මොකක්ද?
මොනරාගල කලින් පහරදීම එකක්. අනෙක ව්‍යාපාරය ඇතුළට ඔත්තුකරුවන් පැමිණීම. කොළඹ උතුරින් සම්බන්ධ වූ තරුණයෙක්ගේ දෙමාපියන් එක්සත් ජාතික පක්ෂයේ අය. මේ පහරදීම ගැන එම තරුණයාට ආරංචිවෙලා ඔහු දෙමාපියන්ට කියලා. ඒ අය පී. ද එස්. කුලරත්න මහත්තයාට කියලා. ඔහු ජේ.ආර්.ට කතා කරලා. ජේ.ආර්. සිරිමාවෝට කියලා. ඒ ශිෂ්‍යයා පසුකාලයේදී පොලීසියට බැඳිලා අසු අට අසූ නමයේදී ජවිපෙ විශාල මර්දනයක් කළා. ඔහු ජෙනරාල් ජානක පෙරේරා එක්ක බොහෝම ළගින් වැඩ කළා. ඒ වගේම අපි අතර තිබුණ බෙදීමත් ප්‍රධාන හේතුවක් වුණා. ආයුධ නැතිවීම. ඒ වගේම අත්බෝම්බ ප්‍රශ්නයත් බලපෑවා.
* පොඩි අතුල හෙවත් වික්ටර් අයිවන්ගේ අත අහිමිවුණෙත් ඔය අත් බෝම්බ අත්හදාබැලීමකදී නේද? අත්බෝම්බ ප්‍රශ්නය මොකක්ද?
අත් බෝම්බ හදන්න ඕන කියලා තීරණය කරලා ඩිසයින් එක කරන්න කියලා මට කිව්වා. මම ඩිසයින් එකක් කරලා තිබුණා. ඒක පේරාදෙණියේ හිටපු ගට සිරා අරගෙන ගිහින් තිබුණා. ඔහුත් සමග කොළය අත්අඩංගුවට ගෙන තිබුණා. මේක ඇදපු කෙනා හොයන්න ගත්ත නිසා මම හැංගුණා. මේ බෝම්බ හැදීම වෙන්නේ නැති නිසා පක්ෂය විසින් ඒක පොඩි අතුලට පැවරුවා. වික්ටර් අයිවන් කොහොම හරි අත්බෝම්බ හැදුවා. එක දවසක් කරන්දෙණිය, අම්බලන්ගොඩ පැත්තේ මධ්‍යම කාරක සභා රැස්වීමක් තිබුණා. බටපොළ අතුලගේ ගෙදරදී තිබුණේ. පොඩි අතුල හදපු බෝම්බයක් එදා පරීක්ෂා කළා. ගෙදර බිත්තියේ කෑල්ලක් කඩාගෙන ගියා. සමහර විට එදාම අපි හැමෝම මැරෙන්න තිබුණා. කොහොම හරි ඊට පස්සේ කළ පරීක්ෂාවකදී තමයි ඔහුගේ අත ගිහින් තිබුණේ. මේ අය සේවා නූලක් කොටට දාලා බෝම්බ හදලා තිබුණේ. ඒක පත්තුකරලා තමයි ගහන්නේ. ඒක අරගලයේ බොහෝ තැන්වලට බෙදලා තිබුණා. ඒව ගහන්න ගිහින් බොහෝ අය තුවාල වුණා.
* හැත්තෑ එකේ කැරැල්ලෙන් පසුව ඔබ අත්අඩංගුවට පත්වුණේ කොහොමද?
අපි පන්සලේ ඉන්නවා. මමත් උයන්ගොඩත් පන්සලට වෙලා හිටියේ. එකදවසක් උදේ නැගිටින විට පන්සල වට කරලා තිබුණා. මම අයිමත් ඇඳට ගිහින් නිදි වගේ හිටියා. පොලීසියේ කෙනෙක් ඇවිත් අපි අල්ලාගෙන ගියා. රස්සාවක් හොයාගෙන ආවා කියලා කිව්වා. ඒ වෙනකොට උයන්ගොඩ කඩේට ගිහින්. ඒ නිසා ඔහු ඒ වෙලාවේ අහුවුණේ නෑ. අපි පොලීසියට අරගෙන ගියාට පස්සේ හොඳටම පහර දුන්නා. ව්‍යාපාරයේ මට ලයියා කියලා කියන්නේ. ඒත් මම පොලීසියට ඒ නම කියන්නේ නැතිව ඇත්ත නම කිව්වා. පස්සේ මැගසින් බන්ධනාගාරයට දැම්මා.
* හැත්තෑ එකේ මහ නඩුවේ රෝහණ විජේවීර දහතුන්වැනි විත්තිකරු වෙන්නේ කොහොමද?
දහතුන නපුරු අංකයක් කියලා හිතන නිසා ඉයන් වික්‍රමනායක තමයි රෝහණ සහෝදරයා දහතුන්වැනි විත්තිකරු කරන්න කියලා තිබුණේ. ලොකු අතුලලා එහෙම ඇල්ලුවම සේරම දේවල් ටික කිව්වා. ඔවුන්ට සහනයක් ලැබෙන විදියට තමයි කටයුතු සිදුවුණේ.
* ඔය කාලේ අමතක නොවන දේවල් මතකද?
අපි බන්ධනාගාරයේ සිටියදී වොලිබෝල් ගහනවා. දවසක් බන්ධනාගාර අධිකාරිවරයාගේ කාර්යාලයේ වැරෙන්ඩා එකේ මහින්ද විජේසේකරයි, රනිල් වික්‍රමසිංහයි, ගාමිණී දිසානායකයි ඉන්නවා දැක්කා. මේක මම කිව්වා. එතැනින් පස්සේ ඔහු අපෙන් ඈත් වුණා. රනිල්ලා ආවේ ඔහු ඒ පැත්තට ඇදලා ගන්න.
එස්.ඩී. බණ්ඩාරනායක අපිත් එක්ක හිටියේ. ඔහු ශරීර සෞඛ්‍ය ගැන හරියට හිතනවා. ඔහු හැමදාම දුවනවා. සෑහෙන හයියෙන් දුවනවා. අපිටත් දුවන්න කියලා කියනවා.
* මහ නඩුවේ දී ඔබ ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කවුද?
එඩ්මන් සමරක්කොඩි ඇතුළු කණ්ඩායම, ප්‍රින්ස් ගුණසේකර, බාලා තම්පෝගේ අය, නඩේසන්ගේ අය විදියට විශාල නීතිඥයන් පිරිසක් හිටියා. අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව ව්‍යවස්ථා විරෝධී බව තමයි ඔවුන්ගේ ස්ථාවරය වුණේ. ආණ්ඩුවේ ස්ථාවරයට විරෝධය දක්වලා නීතිඥයන් විශාල පිරිසක් නැගිටලා ගියා. අන්තිමට බාලා තම්පෝ සහ නඩේසන් තමයි ඉතිරි වුණේ.
* රෝහණ විජේවීර වෙනුවෙන් ඔහු තනිවම පෙනී සිටියා?
මගේ නීතිඥයා වුණේ තම්පෝ. රෝහණ සහෝදරයා ඔහු වෙනුවෙන් ඔහුම පෙනී සිටියා. ඔහුට උපදෙස් දුන්නේ තම්පෝ.
* මහ නඩුව බලන්න ආපු අය ගැන මතකද?
රණසිංහ ප්‍රේමදාස නඩුවට හැමදාම ආවා.
* ඒ කාලයේ හිරගෙදර තත්ත්වය මොන වගේද?
ඒ කාලේ පොඩි මස් කෑල්ලක්, බත් කෝප්පයක්, මිශ්‍ර එළවළුවක් එක්ක කෑම දෙන්නේ. පුස්තකාලයක් තිබුණාට පොත් තිබුණේ නෑ. බෙහෙත් දෙන්න ඇපෝතිකර දොස්තර කෙනෙක් හිටියා. හිරකාරයෝ දෙන්නෙක් වටේ ඉඳගෙන ඔහුට පවන් සලනවා. අපි ලෙඩේ ගැන අහන්න කලින්ම බෙහෙත් ලියනවා. බොහෙත් දෙන්නේ හිරකාරයෝමයි. ඇස් ලෙඩකට බෙහෙත් දාන්න ගියාම ඇහැට නෙමෙයි බෙහෙත් දාන්නේ, කටටයි. බොහොම නරක තත්වයක් තිබුණේ. මේවාට විරෝධය දක්වලා අපි ශෙල්වලින් එළියට ඇවිත් ඇතුළට ගියේ නෑ. අපි බන්ධනාගාර අධිකාරිවරයා එක්ක කතා කරලා අපේ ඉල්ලීම් ගත්තා.
* ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව ඔබ ඇතුළු පිරිස නිදහස් කළා. එහෙම නිදහස් වුණේ මොකක් නිසා කියලාද හිතන්නේ?
ඒ වෙලාවේ සමාජයේ ලොකු බලපෑමක් ඇවිත් තිබුණා. ඒ වෙලාවේ වරින් වර අත්අඩංගුවට අරගෙන නිදහස් කරපු ප්‍රමාණය හැත්තෑ පන් දහසක් විතර වෙන්න ඇති කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඒ වගේම දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා කියලා මැතිවරණ පොරොන්දුවක් දීලා තිබුණා. එක්සත් ජාතික පක්ෂයේ කීප දෙනකුත් අපිත් එක්කම විදේශ විනිමය වංචාවකට හිර ගත කරලා තිබුණා. ඒවගේම විශාල ජාත්‍යන්තර බලපෑමකුත් ආවා. මේවා නිසා අපි නිදහස් වුණා කියලා තමයි හිතන්නේ.
* එක්සත් ජාතික පක්ෂයත් එක්ක නිදහස් වීම සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් තිබුණේ නැද්ද?
නෑ. හැබැයි රෝහණ සහෝදරයා රොනීද මෙල් දන්නවා. නෑදෑයොත් වෙනවා. රොනීට මේ අය එළියට ගැනීමේ අවශ්‍යතාවක් තිබුණා. රොනීගේ බිරිඳ මල්ලිකා ද මෙල් රෝහණ සහෝදරයා බලන්න බන්ධනාගාරයට ආවා. ඔවුනුත් යම් බලපෑමක් කරන්න ඇති. ඒ වගේම ප්‍රේමදාස මහත්තයා දිගටම නඩු අහන්න ආවානේ. අපි හිරේ දාපු එක වැරදියි කියලා ඔහුත් හිතන්න ඇති.
* නිදහස් වුණාට පස්සේ නැවත දේශපාලනය පටන් ගත්තේ කොහොමද?
අපි හිරේ හිටියත් යටි බිම්ගත පිරිසක් දිගටම වැඩ කරගෙන ගියා. අපි හිරේ සිටියත් ඒ වැඩ යම් ආකාරයකට ඒකාබද්ධ කළා. හැත්තෑ අටේ ප්‍රසිද්ධ කරපු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකශය අපි හැදුවේ හැත්තෑ තුනේදී. හිරේ සිටියදී. මම ලියපු ජාතික ගැටලුව ගැන මාක්ස්වාදී විග්‍රහය හැත්තෑ තුනේදී ලිව්වාට පළ කළේ හැත්තෑ අටේ එළියට ආවට පස්සේ. හැත්තෑ හත වන විට එළියේ යම් සංවිධානාත්මක ව්‍යුහයක් තිබුණා. එළියට ආවට පස්සේ දෙමටගොඩ රැස්වීමක් කළා. කෙලී සේනානායකත්, සෝමවංශ අමරසිංහත් ඒක සංවිධානය කළා. අපි ප්‍රසිද්ධ විශාල පළමු රැස්වීම කොළඹ නගර ශාලාවේදී පැවැත්වූවා.
* ඔබ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් වුණේ කොහොමද?
කොහොම හරි මම ප්‍රධාන ලේකම් විදියට තෝරා ගත්තේ හැත්තෑ ගණන්වලදී. අසූ තුන වෙනකම්ම මම ප්‍රධාන ලේකම් විදියට හිටියා. විදේශ කටයුතු, දෙමළ, මුස්ලිම් කටයුතු මම භාරව සිටියේ. සමහර දිස්ත්‍රික්ක භාරවත් හිටියා.
* ඒ කාලේ පක්ෂ කාර්යාලය තිබුණේ කොතැනද?
අපි හිරගෙදර ඉඳලා එළියට එන විට අපිට යන්න තැනක් තිබුණේ නෑ. ඒ නිසා බාලා තම්පෝගේ කාර්යාලයට ගියා. අපි නිදාගත්තේ එම්.බී.රත්නායකගේ ගෙදර. රෝහණ සහෝදරයාත් එහේ හිටියේ. මම මරාදානේ සිරිපාල අයියාගේ මුඩුක්කු ගෙදර තමයි හිටියේ. නීතිඥ උභය වීරසිංහ සහෝදරයා මට ලිපියක් එවලා ආමර්වීදියේ වීරසිංහ ලී මෝලේ උඩ කාමරයක් දෙන්නම් කීවා. ඊට පස්සේ තමයි ආමර් වීදියට කාර්යාලය අරගෙන ආවේ. මුල මේස පුටු නෑ. ලී කොට තමයි තිබුණේ. එක දවසක් රෝහණ සහෝදරයා එතැන නිදාගෙන තියෙනවා. අපි නම් ලීකොට උඩ නිදාගන්නවා.
* උතුරත් එක්ක ඔබ සම්බන්ධ වෙන්නේ මේ කාලයේද?
අපි උතුරේ ගිහින් වැඩ කළා. උතුරේ සංවිධාන එක්ක අපි වැඩ කළොත් අපි මර්දනය කරාවි කියලා පක්ෂය බය වුණා.
* අසූ දෙකේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ තීරණය ගත්තේ කොහොමද?
අසූ දෙකේ ජනාධිපතිවරණයේදී රෝහණ සහෝදරයා ඉදිරිපත් කිරීමට අපේ කිසිම අදහසක් තිබුණේ නෑ. රටේ තිබෙන තත්ත්වය එක්ක පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු බව තමයි අපේ අදහස වුණේ. ඒ.ටී. ආරියරත්න හරි හෙක්ටර් කොබ්බෑකඩුව වගේ කෙනෙක් පොදු අපේක්ෂයා විය යුතු යැයි අපිට දළ අදහසක් තිබුණා. ඒ ගැන කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක කතා කළා. කොබ්බෑකඩුව මහත්තයා එක්ක මමත්, රෝහණ සහෝදරයා හා ගමනායක සහෝදරයා සාකච්ඡා කළා. පොදු අපේක්ෂක අදහසට ඔහු එකඟ වුණා. ඒත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට මේ යෝජනාව දාලා අනුමැතිය ගන්න ඕන කියලා තිබුණා. ඒත් අන්තිමේදී ඒක කෙරෙන්නේ නෑ කියන පණිවුඩය එව්වා. අනෙක් අය කොල්වින් දාන්න හැදුවා. ඒ නිසා තමයි අන්තිමට රෝහණ විජේවීර සහෝදරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ.
* රෝහණ විජේවීර මොන වගේ කෙනෙක්ද?
හැමෝගේම හොඳ නරක තිබෙනවා. සංවිධානත්වය, කථිකත්වය, මතවාදී තත්ත්වයන් පිළිබඳ දියුණු තත්ත්වයක් තිබුණා. තිබුණ නොදියුණු තත්ත්වය තමයි අනෙකාගේ ඇහුම්කන්දීමට ඇති අකමැත්ත තිබුණා. ඔහුගේ අදහසට වඩා වෙනස් අදහසක් මම කිව්වොත් විතරයි බනින්නේ නැතිව අහගෙන ඉන්නේ. ඔහුගේ පුද්ගලික ප්‍රශ්න තිබුණා. ඒවා ඉතිං කතා කළ යුතු දේවල් නෙමෙයි. ඒ වගේම තමයි කණ්ඩායම් හැටියට ඔහු ගුළි ගැහුණා.
* ඔබ පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් වෙන්නේ ඇයි?
ජාතික ප්‍රශ්නය ගැන ස්ථාවරය නිසා තමයි මම අයින් වෙන්නේ. මගේ ඉල්ලා අස්වීමේ පැහැදිලි කිරීමේ ඒක පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. අසූ තුනේ දී තංගල්ලේ ධීවරයෝ මඩකලපුවේ ගියපු වෙලාවක ඇතිවුණ ගැටුමක් නිසා දෙමළ ධීවරයෙක් ඝාතනය වුණා. මම ඒ ගැන පක්ෂයේ ස්ථාවරය පැහැදිලිකරලා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. මේකත් එක්කම පුවත්පත් නිවේදනයක් නිකුත් කරන්න කලින් දේශපාලන මණ්ඩලයට දාලා අනුමැතිය ගන්න ඕන කියලා ගමනායක සහෝදරයා කිව්වා. දෙවැනි වර මම ස්වං තීරණ අයිතිය ගැන මාධ්‍ය නිවේදනයක් හදලා දේශපාලන මණ්ඩලයට දැම්මාම ඒකට එකඟ වෙන්න බෑ කිව්වා. මධ්‍යම කාරක සභාව තමයි ප්‍රතිපත්ති තීරණ ගන්නේ. දේශපාලන මණ්ඩලය මධ්‍යම කාරක සභාවේ තීරණ ක්‍රියාත්මක කළ යුතුයි. මේ නිසා මට ඇතිවුණ හිතේ අමාරුව නිසා පක්ෂයෙන් දැන් අයින්වෙලා යනවා කියලා කිව්වා.
* රෝහණ විජේවීරගේ ප්‍රතිචාරය වුණේ මොකක්ද?
මේක මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කරමු කියලා කිව්වා. ජූලි කලබලයට සතියකට කලින් තංගල්ලේ විතාරන්දෙණියේ විජිත සහෝදරයාගේ ගෙදරදී මම සහභාගී වූ අන්තිම මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වුණා. මගේ ස්ථාවරය හා රෝහණ සහෝදරයාගේ ස්ථාවරය වෙනස්. ඒ වෙලාවේ ඡන්දයක් තියලා මට ඡන්ද දෙකක් ලැබුණා. රෝහණ සහෝදරයාට හැමෝම ඡන්දය දුන්නා. එතෙක් කල් ස්වං තීරණ අයිතිය පිළිගත් අය වෙනස්වීම ගැන මට පුදුමයක් ඇතිවුණා.
* මධ්‍යම කාරක සභාවේ ඡන්දයක් මුල් වරට ගත්තේ ඒ අවස්ථාවේදීද?
සාමාන්‍යයෙන් මධ්‍යම කාරක සභාවේදී පොදු එකඟතාවෙන් තීරණ ගන්නේ. පළමු වරට තමයි මෙතැනදී ඡන්දයක් පැවැත්වුවේ. ඒ වෙලාවේදී මම අස්වීමේ තීරණය ගත්තා. අස්වීම ගැන සාමාජිකත්වයට පැහැදිලි කළ යුතුයි. ඒකත් එක්කම ජූලි කලබලය ආවා. මට කිසිම දෙයක් කරන්න බැරි වුණා. ජූලි 23 වැනිදා කලබල ඇතිවුණා. මම පක්ෂ කාර්යාලයට ඇවිත් තොතරතුරු එකතු කරමින් සිටියා. ජූලි 30 වැනිදා පක්ෂය තහනම් කළා. ඊට පස්සේ පක්ෂ කාර්යාලය වහලා මම මාවරමණ්ඩියේ නවාතැන්ගෙන හිටපු ගෙදරට ආවා. පක්ෂ තහනම් කරන්න කලින්, ජූලි 23 වැනිදාම රෝහණ සහෝදරයා යටි බිම්ගත වුණා. මටත් යටි බිම්ගත වෙන්න කියලා රෝහණ සහෝදරයා පණිවුඩයක් එව්වා
* ඔබ ඒකට එකඟ වුණාද?
මම එකඟ වුණේ නෑ. මට යටි බිම්ගතවීමට හේතුවක් තිබුණේ නෑ. කළු ජූලිය ආණ්ඩුව කළා කියලා කියන්න ඕන බව තමයි මම කීවේ. මම සෝමවංශ සහෝදරයා එක්ක ගිහින් සම සමාජයේ අය හමුවුණා. ඔවුන් කීවෙත් යටි බිම්ගත විය යුතුයි කියලා.
* නැවත වරක් කළු ජූලියත් එක්ක ඔබ අත්අඩංගුවට පත් වෙනවා?
මාවරමණ්ඩියේ ගෙදරදී මම අත්අඩංගවට පත්වුණේ. කවුරු හරි පෙන්නපු නිසා තමයි එතැනට ඇවිත් මම අත්අඩංගුවට ගත්තේ. මාස හයක් විතර මම හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගෙන හිටියා. මගේ බිරිඳ හබයාස් කෝපුස් නඩුවක් දාලා අහන්න කලින් දවසේ මම නිදහස් කළා. මම අත්අඩංගුවට අරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තියාගෙන හිටියේ. එහි අධ්‍යක්ෂවරයා මට එන්න කිව්වා. ඔහු හමුවුනණාම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා වෝඩ් ප්ලේස් එකේ මම හමුවෙන්න බලාගෙන ඉන්නවා කියලා කිව්වා. කිසිම ප්‍රශ්නයක් නැතිව සියලුම දේවල් දෙන්න සූදානම්, ගිහින් සාකච්ඡා කරමු කිව්වා. මට ඒකට වුවමනාවක් නැහැ කිව්වා.
* අස්වීමේ ප්‍රකාශය නිකුත් කරන්නේ මේකටත් පස්සේ?
මේ වන විටත් මම පක්ෂය එක්ක හිටියා. මධ්‍යම කාරක සභාවේ රැස්වීම්වලටත් ගියා. මට දිගටම පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස ඉන්නත් කිව්වා. මම පක්ෂයේ ස්ථාවරයේ නොසිටින විට ප්‍රධාන ලේකම් ලෙස ඉන්නේ කොහොමද කියලා මම ඇහුවා.
* පක්ෂය තහනම් කරපු වෙලාවේ ඔබ ජේ.ආර්. ජයවර්ධන හමුවෙනවා. ඒ හමුව වෙන්නේ කොහොමද?
පක්ෂයේ තහනම ඉවත් කරගන්න ජේ.ආර්. ජයවර්ධන එක්ක සාකච්ඡා කරන්න කියලා දේශපාලන මණ්ඩලය තීරණය කරනවා. ඒ අනුව මම ජේ.ආර් හමුවුණා. මම තනිවම ගියේ. අනික් අය යන්න බය වුණා. රෝහණට ඇවිත් කට උත්තරයක් දීලා යන්න කියලා ජේ.ආර්. කිව්වා. මම ඒ පණිවුඩය රෝහණ සහෝදරයට දුන්නා. ඒක කරන්න තිබුණා කියලා මට හිතුණ දෙයක්. පක්ෂයෙන් එළියට එන්න සූදානමක් නෑ කියලා තමයි ඔහු කිව්වේ. ඔහුට ඒ වෙලාවේ මිනිස්සු අතරට එන්න තිබුණා.
* ඔබ පක්ෂයෙන් අයින් වුණේ කවදාද?
අසූ හතරේ පෙබරවාරිවල අයින් වුණේ.
* ඊට පස්සේ පක්ෂයත් එක්ක සම්බන්ධ වුණේ නැද්ද?
ඊට පස්සේ කිසිම සම්බන්ධයක් තිබුණේ නෑ. ඉල්ලා අස්වීමේ ලිපිය දෙන්න කලින් මම රෝහණ සහෝදරයා එක්ක සාකච්ඡා කරන්න ඕන කියලා දේශපාලන මණ්ඩලය තීරණය කළා. ඒ අනුව සෝමවංශ සහෝදරයා බයිසිකලයෙන් මතුගමට මම අරගෙන ගියා. සාකච්ඡාවට රෝහණ සහෝදරයා ආවේ නෑ. ඒ නිසා සාකච්ඡාව යට ගියා. රෝහණ සහෝදරයා එන්න හැදුවා, ඒත් ආරක්ෂක ප්‍රශ්නයක් නිසා එන්න බැරි වුණා කියලා මෑත කාලයේදී මට ආරංචි වුණා. අඩුම තරමේ එන්න බැරිවීමට හේතුව පැහැදිලි කරන්න තිබුණා. ඊට සති දෙක තුනකට පස්සේ සුමිත් අතුකෝරළ සහෝදරයා ගෙදරට ඇවිත් පක්ෂයට සම්බන්ධ සියලුම දේ අරගෙන ගියා.
* ඔබේ ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රසිද්ධ කළේ ඔබද? පක්ෂයද?
නෑ. ඒක වෙන කට්ටියක් කළේ. පක්ෂය මේක හැංගුවා. ඒකේ පිටපතක් එළියට ආවා. මම ඉල්ලා අස්වීමේ ලියවිල්ල දින කිහිපයක් වාහනයේ දාගෙන හිටියා. කාර් එකෙන් කවුරු හරි අරගෙන තමයි ඒක ප්‍රසිද්ධ කරලා තියෙන්නේ. ඒ ඉල්ලා අස්වීමේ ප්‍රකාශය මුද්‍රණය කරලා තිබුණේ කෙලී සේනානායක. ඊට කලින් පුද්ගලික හේතු නිසා ඉල්ලා අස්වෙනවා කියලා මම නිකුත් කරපු මාධ්‍ය නිවේදනය පත්තරවල පළ කරලා තිබුණා.
* පක්ෂයෙන් අයින් වුණාට පස්සේ පක්ෂයේ කවුරුවත් එක්ක සම්බන්ධතා පවත්වාගෙන ගියේ නැද්ද?
පක්ෂයෙන් අයින් වුණාට පස්සේ සෝමවංශ සහෝදරයා, කිතුලේගොඩ සහෝදරයා හමුවෙලා තියෙනවා. ඒ හමුවීම් අහම්බෙන් වුණ හමුවීම්. මම කවදාවත් ඒ අය පාවදුන්නේ නෑ. මම පක්ෂයෙන් අයින් වෙනකොට පක්ෂයේ සහෝදරයෙක්ගේ ගෙදර හිටියේ. අයින් වුණාට පස්සේ අපි ඒ ගෙදරිනුත් ගියා.
* ඊට පස්සේ ජීවත් වුණේ කොහොමද? රස්සාවක් කළාද?
මම ඒ වෙනකොට විශ්වවිද්‍යාලයේ උපාධි සහතිකය අරගෙන තිබුණේ නෑ. ජේ.ආර්. ජයවර්ධනට ලියුමක් ලිව්වා මට ඇවිත් මැණික්දිවෙල හමුවෙන්න කීවා. ඔහු හමුවෙන්න ජනාධිපති කාර්යාලයට ගියාම දිගටම මම එක්සත් ජාතික පක්ෂයට ගන්න උත්සාහ කළා. මම ඒකට එකඟ වුණේ නෑ. ජේ.වී.පී. එකෙන් මම අයින් වුණාට පස්සේ දකුණේ පක්ෂ වගේම ප්ලොට් එකෙනුත් මම ගන්න සූදානම් වුණා. මම වෙනම රාජ්‍යයකට සහාය ලබානොදෙන නිසා ප්ලොට් එකේ යෝජනාව ප්‍රතික්ෂේප කළා. මේ සාකච්ඡාව ලීක් වුණාට පස්සේ අසූ පහේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මම අත්අඩංගුවට අරගෙන ගිහින් මාස පහක් රඳවාගෙන හිටියා. මේ වෙලාවේ මගේ බිරිඳ ගිහින් ලලිත් ඇතුලත්මුදලි හමුවුණා. මේ පැත්තට එන්න කියලා ඔහු කියලා තිබුණා. ඒකත් ප්‍රතික්ෂේප කරලා මම දිගටම හිරේ ඉන්නම් කිව්වා.
* ඊට පස්සේ ලලිත් හමුවුණේ නැද්ද?
හිරෙන් ආවට පස්සේ හමුවෙන්න කියලා ලලිත් පණිවුඩයක් එවලා තිබුණා. මමත් බිරිඳත් ගිහින් සුහදව කතා කළා. ශ්‍රීමති ඇතුලත්මුදලිත් හිටියා. එයාලා වවන හතු වගයකුත් මට දුන්නා. එයාලා එක්ක එකතුවෙන්න කියපු යෝජනාව ඒ වෙලාවේදීත් මම ප්‍රතික්ෂේප කළා. ඔහුගේ පුද්ගලික දුරකතන අංකයත් දීලා ඕනම දෙයක් තිබෙනවා නම් උදේ පහට කතා කරන්න කියලා කිව්වා.
* ඔබ ඒ අංකයෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැද්ද?
අතුල සුමතිපාල අත්අඩංගුවට ගත්ත හදපු වෙලාවේ මම ඒ අංකයට කතා කළා. ඔහුගේ අම්මාටයි, තාත්තටයි එන්න කිව්වා. ඒ අනුව ගිහිල්ලා හමුවුණාම පස්සේ ඔහු නිදහස් කළා.
* පක්ෂයෙන් අයින් වුණාට පස්සේ රස්සාවට මොනවාද කළේ?
මගේ මිතුරෙක්ගේ සමාගමක වැඩ කරන්න ගියා. මම අසූ පහේදී අත්අඩංගුවට ගත්තාට පස්සේ ඒ සමාගමට හොඳ නැති නිසා මම සර්වෝදයට සම්බන්ධ වුණා.
* අසූ අට අසූ නමයේදී ලංකාවේ හිටියාද?
අසූ නමය වෙනකම් මම ලංකාවේ හිටියා. ජනතා විමුක්ති පෙරමුණට මීට වඩා නම්‍යශීලී වෙන්න තිබුණා. අවසාන මොහොතේදී සාකච්ඡාවක් ඉල්ලන්නේ නැතිව ඊට කලින් සාකච්ඡා කරන්න තිබුණා. සර්වෝදයේ වැඩ කරමින් ඉන්න කාලයේදී තර්ස්ටන් විද්‍යාලයට ඉදිරිපිට තිබුණ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයට මම අරගෙන ගිහින් රෝහණ සහෝදරයා ඉන්නේ කොහේද කියලා ප්‍රශ්න කළා. ඒ කාලේ හමුදාව මම ජේ.වී.පී. එකත් එක්ක සම්බන්ධයි කියලා හිතනවා. ජේ.වීපී. අය මම ආණ්ඩුව එක්ක සම්බන්ධයි කියලා හිතනවා. ඒ අතරේ බයිසිකලයකින් කාර්යාලයට ආපු දෙන්නෙක් තර්ජනය කරලා ගිහින් තිබුණා. මේ වෙලාවේ සෙල්ලම් කරන්න එපා මනුස්සයෝ කියලා ඒ.ටී.ආරියරත්න මහත්තයා මම ජපානයට යැව්වා. ඒ මාස නමයකට. ඊට පස්සේ අයිමත් එන්න තමයි හිටියේ. මේ වෙනකොට රෝහණ සහෝදරයත් මරලා තිබුණා. අපේ වැලිගම ගෙදරත්, බිරිඳගේ ගෙදරත් ජානක පෙරේරාගේ හමුදාව ඇවිත් වට කරලා තිබුණා. දැන් තත්ත්වය නරකයි කියලා මම දැනගත්තා. ඊට පස්සේ කොරියාවට ගිහින් පිඟන් හේදුවා. බිරිඳ ඇතුළු ගෙදර අයව තිස්ස බාලසූරිය පියතුමා ඔස්ට්‍රේයාවට යැව්වා. ඊට පස්සේ තමයි මම ඔස්ට්‍රේලියාවට ආවේ.
* රෝහණ විජේවීර මැරුවා කියන ආරංචිය ආවේ කොහේදිද?
මම ජපානයේ සිටියදී.
* එතකොට මොකද හිතුණේ?
අපරාදේ කියලා හිතුණා (ඇස් දෙකේ කඳුළු පුරවාගත් ලයනල් බෝපගේ තත්පර දහයක් පහළොවක් නිහඬව සිටී.)
ඒ මනුස්සයා හොඳ මනුස්සයෙක්. ඒත් වැරදි තිබුණා. පස්සේ හරි ඒ තීන්දු වෙනස් කරන්න තිබුණා. පක්ෂයක නායකයෙක් වුණාම වටේ ඉන්න අයට කොටු වෙනවා. රෝහණ සහෝදරයත් එහෙම කොටුවුණ අයගේ අදහස් අනුව තමයි කටයුතු කළේ. ඔහු බිය නිසා එළියට නොඑන්න ඇති. නායකත්වය හැම වෙලාවේම සාමාන්‍ය සමාජයත් එක්ක ගැටෙන්න ඕන. ඒ වගේම දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය හදපු එකත් වැරදි දෙයක්.
* අනූ හතරෙන් පස්සේ ඔබට ජනතා විමුක්ති පෙරමුණේ අය හමුවුණේ නැද්ද?
මම ඔස්ට්‍රේලියාවට ගියාට පස්සේ ජාතික ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්න සාකච්ඡාවක් ඉල්ලුවා. ලන්ඩන්වල ඉඳලා සෝමවංශ සහෝදරයා ඒක දෙන්න එපා කියලා තිබුණා. දෙවැනි වතාවේ හරි තුන්වැනි වතාවේ හරි මම ලංකාවට ආවම සාකච්ඡාවක් ඉල්ලුවා. ඒ කාලේ රත්මලාන පැත්තේ තමයි කාර්යාලය තිබුණේ. ඒ කාර්යාලයට ගිහින් හමුවුණා. ටිල්වින් සිල්වා සහෝදරයයි, විමල් වීරවංශ සහෝදරයයි මම හමුවෙන්න ආවා. අවුරුදු චාරිත්‍ර කරනවා වගේ කෙසෙල් එහෙම තිබුණ ලොකු තේ මේසයක් සූදානම් කරලා තිබුණා. මගේ මතය ඒ වෙලාවේ පිළිගත්තේ නෑ.
* ටිල්වින් සිල්වා ඊට පස්සේ හමුවුණේ නැද්ද?
නෑ. එදායින් පස්සේ ටිල්වින් සහෝදරයා මට හමුවුණේ නෑ.
* අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හමුවුණේ නැද්ද?
මට අසනීප වුණ වෙලාවේ ඒක ආරංචි වෙලා අනුර සහෝදරයා ඔස්ට්‍රේලියාවට ආපු වෙලාවේ ඇවිත් පැය දෙකක් විතර කතා කරමින් ඉඳලා ගියා. දෙදහස් විසි හතරේ ජනාධිපතිවරණයට කලින් තමයි ඇවිත් ගියේ.
* එදා ඔබ හිටපු පක්ෂය අය බලයේ ඉන්නවා. දැන් මොකද ඔබට හිතන්නේ?
අපි සමාජවාදයනේ බලාපාරොන්තු වුණේ. මේක සමාජවාදී ආණ්ඩුවක් නෙමෙයි. මේක සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්. ධනේෂ්වර ක්‍රමය තුළ යම් ප්‍රතිසංස්කරණ කරන්න, ඒක තුළ හොඳ දෙයක් කරන්න තමයි හදන්නේ. ඒ යහපත් දේවල්වලට අපි උදව් කළ යුතුයි. විවේචනය කරන්න තියෙන දේවල් විවේචනය කළ යුතුයි. මේ ආණ්ඩුව වෙනුවට ගේන්න මීට වඩා හොද කණ්ඩායමක් නෑ. මීට වඩා ප්‍රගතිශීලී කණ්ඩායමක් ඉන්නවා නම් ජනතාව තුළින් බලවේගයක් ලෙසින් පැමිණිය යුතුයි. මේ අය මොන තරම් අඩුපාඩු තිබුණත් හොඳ දෙයක් කරන්න උත්සාහ ගන්නවා.

