brand logo
logo
චීන කල්ලි වසංගතය!

චීන කල්ලි වසංගතය!

15 October 2026

කොළඹ වරාය නගරය පදනම් කරගෙන ක්‍රියාත්මක වන චීන කප්පම් කල්ලියක් පිළිබඳ තොරතුරු ඊයේ (14) අරුණ පුවත්පත මගින් රටට හෙළි කරනු ලැබිණි. මෙකී කප්පම් කල්ලිය කොළඹ වරාය නගරයේ සිට ක්‍රියාත්මක වන විදේශීය ආයෝජන ආයතන සහ ව්‍යාපාරිකයන් ඉලක්ක කර ගෙන ක්‍රියාත්මක වන බවද දැනගන්නට ලැබේ. මෙකී කප්පම් ක්‍රියාදාමය මෙහෙයවන පුද්ගලයා ජාත්‍යන්තර මට්ටමේ පාතාල දාමයකට සම්බන්ධ චීන ජාතිකයකු බව පෙනේ. මෙයට නොබෝ කලකට පෙර වරාය නගරය පදනම් කරගෙන ක්‍රියාත්මක වූ තවත් චීන ජාවාරම් කල්ලියක නායකයකුගේ සිරුර හමුවුණේ කොළඹට තදාසන්න ප්‍රදේශයක කැලෑවකිනි.


මේ ආකාරයට විවිධ නීති විරෝධී ජාවාරම්වල යෙදෙන චීන ජාතිකයන් හෝ කල්ලි කණ්ඩායම් පිළිබඳ තොරතුරු හෙළි වූයේ වරක් දෙවරක් නොවේ. ලංකාවේ විවිධ ප්‍රදේශවල කුලී පදනම යටතේ වාසය කරමින් කණ්ඩායම් වශයෙන් චීන ජාතිකයන් නොයෙක් ජාවාරම්වල නිරත වන බව එකී හෙළිදරව්වලින් තහවුරු විය. විශේෂයෙන් 2024 - 2026 වසරවලදී එසේ විවිධ ජාවාරම්වල නිරත වූ චීන කල්ලි සාමාජිකයෝ රැසක් අත්අඩංගුවට ගනු ලැබූහ. එසේම පිටුවහල් කරනු ලැබූහ. පසුගිය වසර දෙක ඇතුළත පමණක් දෙසීයකට අධික එවැනි ආකාරයට ජාවාරම්වල නිරත වූ චීන ජාතිකයන් පිටුවහල් කරනු ලැබූ බව පොලිස් වාර්තාවල සඳහන් වෙයි. කෙතරම් පිටුවහල් කළ ද ජාවාරම්වල නිරත චීන ජාතිකයන් ලංකාව තිප්පොළක් කරගැනීම රටේ ජාතික ආරක්‍ෂාවට පමණක් නොව ආර්ථික සුරක්ෂිතතාවට ද මහජන සමාජයේ සාමකාමී පැවැත්මට ද බරපතළ හානියක් බව අවධාරණය කළ යුතුය. චීන ජාතිකයන් අපරාධවලට තෝතැන්නක් සේ ලංකාව තෝරාගෙන තිබෙන්නේ කවර හේතු සාධක නිසාදැයි වගකිවයුත්තන් සොයා බලා ඒවාට පිළියම් යෙදිය යුතුය. මේ ජාවාරම්කරුවන් ලංකාවට පැමිණෙන්නේ සංචාරක වීසා යටතේය. ලංකාව ජාවාරම් තිප්පොළක් හැටියට තෝරා ගැනීමට පෙර චීන ජාතිකයන් බුරුමය සහ කාම්බෝජය යන රටවල් ජාවාරම් මධ්‍යස්ථාන හැටියට පාවිච්චි කරනු ලැබූ අතර පසුව එම රටවල් චීන ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගත් බව පෙනේ. එහි ප්‍රතිඵලයක් හැටියට ඔවුහු ශ්‍රී ලංකාව තම ජාවාරම් සඳහා යොදා ගැනීමට පටන් ගත්හ. චීන නීතිය අනුව දේශසීමා ආශ්‍රිත රටවල නීතිවිරෝධී ජාවාරම්වල නිරත විය නොහැකිය. එයද ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාව වැනි රටක් තම අරමුණු සඳහා යොදා ගැනීමට හේතු විය.


රටක් සමාජ ආර්ථික හා දේශපාලනික වශයෙන්ම බිඳ වැටෙන විට ඒ රට විවිධ ජාවාරම්වලට, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට, යොදා ගැනීම පහසු බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. ලෝකයේ විවිධ රටවල් දෙස අවධානය යොමු කරන විට අපට එකී කරුණු තේරුම් ගත හැකිය. පසුගිය දශකයකට ආසන්න කාලයේ අප දුටුවේ ශ්‍රී ලංකාව දේශපාලනික හා ආර්ථික වශයෙන් දුර්වල වෙමින් බිඳ වැටෙමින් තිබෙන ආකාරයයි. ඒ නිසා විවිධ ජාවාරම්කරුවෝ මෙහි වාඩි ගත්හ. එසේම කළු සල්ලි ගලා එන්නට විය. මේවා පාලනය කිරීමට නීතිරීති පමණක් නොව සමාජයක් වශයෙන් දැනුවත් වීම ද අත්‍යවශ්‍ය බව සඳහන් කළ යුතුය. විදෙස් ජාවාරම්කරුවන්ට එරෙහිව තිබෙන නීති තවත් ශක්තිමත් විය යුතුය. එසේම නව නීති සම්පාදනය කළ යුතුය. බොහෝ විට අප තවම දුවනුයේ යල් පැනගිය නෛතික පද්ධතියක් යටතේය. සමකාලීන අභියෝගවලට ගැළපෙන ආකාරයට නීති සම්පාදනය විය යුතු බව විශේෂයෙන් මතක් කළ යුත්තක් නොවේ. අපේ පාර්ලිමේන්තුව දිහා බැලුවද අපට දක්නට ලැබෙනුයේ විවිධ ආණ්ඩු තමන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා විටින් විට ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කරනවා විනා රටේත් මහජනතාවගේත් යහපතට හේතු වන ආකාරයේ නීති රීති සම්මත කිරීමට එතරම් වැදගත් තැනක් නොදෙන බවයි.


යුරෝපීය රටවල් ඇතුළු සමාජ ආර්ථික හා දේශපාලනික වශයෙන් ශක්තිමත් රාජ්‍යයන් කෙරෙහි අවධානය යොමු කරන විට පෙනෙන්නේ එම රටවල නීති සම්පාදනයේ අරමුණ හුදෙක් මහජන යහපත බවය. මහජනයාගේ ආරක්ෂාව සහතික කිරීම බවය. චීන ජාවාරම් කල්ලි කප්පම් ගන්නා තරමට ශක්තිමත් වීමෙන් පැහැදිලි වනුයේ රටක් හැටියට අප ඉතා දුර්වල බවයි. වෙනත් රටක කප්පම් කල්ලිවලට, පාතාල කල්ලිවලට අපේ රට තුළ ශක්තිමත්ව ආරක්ෂිතව ගොඩනැගී කටයුතු කිරීමට හැකිවී තිබෙන්නේ එකී දුර්වලතාව නිසා බව අවධාරණය කළ යුතුය. ආණ්ඩුව කළ යුත්තේ මේවාට පිළියම් සෙවීමය. කොළඹ වරාය නගරය ආරම්භ කළේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ආයෝජන ගෙන්වා ගැනීමටය. ඒ සඳහා ජාත්‍යන්තර ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීමටය. එහෙත් එය චීන ජාවාරම් කප්පම් කල්ලිවල ග්‍රහණයට ලක් වුවහොත් ජාත්‍යන්තර ආයෝජකයන් පමණක් නොව දේශීය වශයෙන් ශක්තිමත් ව්‍යාපාරිකයන් ද අනාරක්ෂිත වනු ඇත. එනිසා චීන කප්පම් කල්ලිවල, චීන පාතාල කල්ලිවල ක්‍රියාකාරකම් කිසිසේත්ම සුළු කොට තැකිය යුතු නැත. කැනඩාව වැනි රටවල චීන පාතාල කල්ලි ක්‍රියාත්මක වන අතර එය ඉතා බිහිසුණු අනතුරක් සේ වර්ධනය වී තිබේ. නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ලංකාවද නුදුරේම චීන මාෆියා කල්ලිවල ග්‍රහණයට ලක් වනු ඇත.

 

More News..