brand logo
logo
ශිරන්තිගේ නඩුවේ සම්පූර්ණ කතාව

ශිරන්තිගේ නඩුවේ සම්පූර්ණ කතාව

13 October 2026

සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔක්තෝබර් 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියම කළේය.


නීති කෘත්‍යය අද කැඳවූ අවස්ථාවේ ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි නීතිඥයින් ඇයට අද දිනයේ විවෘත හෘද සැත්කමක් සිදුකරන බවට කරුණු දැක්වූවද අධිකරණය විසින් ජාතික රෝහලෙන් කැඳවූ වෛද්‍ය වාර්තාවේ සඳහන් වූයේ එවැනි ශල්‍ය කර්මයක් සිදුකිරීමක් හෝ සැලසුම් කිරීමක් මෙතෙක් සිදුව නොමැති බවය.

සිරිලිය සවිය ගිණුමේ සිදුවූ බව කියන අක්‍රමිකතාවකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද දක්වා බන්ධනාගාරගත කෙරුණේ ඔක්තෝබර් 07 වැනිදා ය.

කෙසේ වෙතත්, ඒ අතරතුර බන්ධනාගාර වෛද්‍ය නිර්දේශ මත ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඊයේ (12) දහවල් ඇතුළත් කෙරුණි.

ඒ අනුව ඇය තවදුරටත් පසුවන්නේ රෝහල්ගතවය.

මෙවන් පසුබිමක "සිරිලිය සවිය" ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ අද පෙරවරුවේ යළි කැඳවනු ලැබීය.

එහිදි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් එහි සහකාර නීති අධ්‍යක්ෂ නීතිඥ යෂ්මදා ලොකුනාරංගොඩ මහත්මිය සමඟ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා වැඩිදුර විමර්ශන සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරිණි.

"ස්වාමිනි, විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාදුන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රොහලේ හිටපු අධ්‍යක්ෂවරු දෙදෙනෙක්ට අනුව මේ සිදුවීම වන අවස්ථාව වනවිට ළමා රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක් හෝ MRI යන්ත්‍රයක් අවශ්‍ය බවට රෝහල පාර්ශ්වයෙන් ඉල්ලීම් කර නැහැ. මොකද ඒ වෙද්දිත් ළමා රෝහලේ CT ස්කෑන් යන්ත්‍රයක් තිබිලා තියෙනවා. එහෙම තත්ත්වයකයි 2010 දෙසැම්බර් 08 වැනිදා ළමා රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමට කියලා ශිරන්ති රාජපක්ෂ ජනාධිපති ආර්යාව විදිහට ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් මුදල් ඉල්ලීමක් කරන්නේ. පළමුව ඒ සඳහා රුපියල් මිලියන 140ක් අවශ්‍ය බව කියලා පසුව එය රුපියල් මිලියන 50ට අඩු වෙනවා. ඒ අනුවයි මේ පළමු සැකකාර එවකට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ප්‍රදීප් කාරියවසම්ගේ අධාර අනුබලදීම මත එම බැංකුවෙන් රුපියල් මිලියන 10ක් ලබාදෙන්න එකඟ වෙන්නේ. මේ මුදල බැරවෙලා තියෙන්නේ "සිරිලිය සවිය" නැමැති ගිණුමට. මෙවැනි පසුබිමක ස්වාමිනි 2014 වසරේ චීන රජයෙන් පරිත්‍යාගයක් විදිහට අපේ රටට ලැබෙනවා MRI යන්ත්‍රයක්. එම යන්ත්‍රය ළමා රෝහලට ලබාදීම සිදුවෙන්නේ අර කියන "සිරිලිය සවිය" සංවිධානය සිදුකරන පරිත්‍යාගයක් විදිහට. ඒක වෙන්නෙත් මේ කියන සැකකාර ශිරන්ති රාජපක්ෂගේ එක පුතෙක්ගේ උපන් දිනය දවසේ. ඊට මේ පළමු සැකකාර ප්‍රදීප් කාරියවසම්ටත් ආරාධනා කරලා තිබෙනවා. නමුත් ස්වාමිනි මේ සියල්ල සිද්ධවෙන්නේ ප්‍රශ්නගත මිලියන 10ක මුදල "සිරිලිය සවිය" ගිණුමේම තිබියදීයි. "

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා "සිරිලිය සවිය" ගිණුම සම්බන්ධයෙන් සිදුකරන වැඩිදුර විමර්ශන පිළිබඳවද අධිකරණයට කරුණු වාර්තා කළේය.

"ස්වාමිනි, මේ "සිරිලිය සවිය" 2006 වර්ෂයේ ඉස්සෙල්ලාම පටන් අරගෙන තියෙන්නේ "ශිරන්ති නවෝදය" කියලා. එය මාස 03කට පස්සෙ "සිරිලිය සවිය" වෙලා තියෙන්නේ. මෙය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ විධිමත්ව ලියාපදිංචි වී නැහැ. ඒ වගේම කිසිම වාර්තාවක් නිල වශයෙන් ඉදිරිපත් කරලත් නැහැ. ස්වාමිනි මේ ගිණුමට මුදල් එකතු කරන්න යවපු ලිපි සඳහා මේ සැකකාරිය රාජ්‍ය ලාංජනය යොදා ලිපි ශීර්ෂයක් පවා හදලා තියෙනවා. කොහොමද රජයේ තනතුරක් නොදරන තැනැත්තියක් රාජ්‍ය ලාංජනය ලිපි ශීර්ෂවලට භාවිතා කරන්නේ. අනික එම ලිපි ශිර්ෂයේ තියෙන්නේ ජනාධිපති කාර්යාලයේ ලිපිනය. කොහොමද රාජ්‍ය නොවන සංවිධානයක් ජනාධිපති කාර්යාලයේ ලිපිනය භාවිතා කරන්නේ. සරළව කිව්වොත් ස්වාමිනි "සිරිලිය සවිය" කියන්නේ කළු සල්ලි සුදු කිරීමේ ක්‍රමවේදයක්. අපි මේ ගැන වැඩිදුර විමර්ශන සිදුකරන බැවින් සැකකාරියට ඇප ලබාදීමට විරුද්ධයි."

අනතුරුව සැකකාර ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයට දැනුම් දුන්නේ නීති කෘත්‍යය සලකා බැලෙන අවස්ථාව වනවිටත් සිය සේවාදායිකාව විවෘත හෘද සැත්කමකට භාජනය වෙමින් සිටින බවය.

"ස්වාමිනි මාගේ නීතිඥ ජීවිතයේ අන් කිසිදාක නොකළ ඇප අයැදුමක් තමයි මම අද කරන්නේ. අපි කලින්ම කිව්වා මගේ සේවාදායිකාව හදවත් රෝගියෙක් ඒ නිසා ඇප ලබාදෙන්න කියලා. මොකද ඇයගේ හෘදයේ රුධිර වාහිනි 03ක් block වෙලා තිබුණේ. නමුත් අපිට ඇප ලැබුණේ නැහැ. ඊයේ රාත්‍රියේ ඇයගේ හෘද රෝගී රෝගී තත්ත්වය උත්සන්න වෙලා ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කළා. මේ නීති කෘත්‍යය සලකා බැලෙන අවස්ථාව වෙද්දිත් ඇය විවෘත හෘද සැත්කමකට භාජනය වෙමින් ඉන්නේ. ඉතිං ස්වාමිනි මේ වෙද්දිත් විවෘත හෘද සැත්කමකට ලක්වෙනවා කියන එක සුවිශේෂි කරුණක් විදිහට සලකා මගේ සේවාදායිකාවට ඇප ලබාදෙන්න. මීටත් වඩා සුවිශේෂි කරුණු කියන්න දෙයක් නැහැ."

එම ඇප අයැදුම සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ප්‍රතිචාර දැක්වීය.

"ස්වාමිනි, මේ සැකකාරිය රෝහල්ගත වූ බව අප පිළිගන්නවා. නමුත් ඇය සැත්කමකට ලක්වන බවට නිල වශයෙන් අපිට දැනුම්දීමක් නැහැ. ඒ නිසා ස්වාමිනි ඔය කියන හෘද සැත්කම පිළිබඳ කාරණා අධිකරණය නිශ්චය කරගැනීම අවශ්‍යයි."

අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ එම කරුණු දැක්වීමත් සමඟ යම් ආවේගයකින් අදහස් පළ කළ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මෙසේ කියා සිටියා.

"මොකක්ද ස්වාමිනි මේ කියන්නේ. මැරිලා ගියත් රිමාන්ඩ් එකේ තියන්න කියලාද මේ කියන්නේ."

එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ජනාධිපති නීතිඥවරයාට මෙසේ පැවසුවා.

"මිස්ටර් සිල්වා, ආවේගශීලි වෙන්න එපා. සද්දේ වැඩිවුණාම මට ලියාගන්න බැහැ."

පසුව ජනාධිපති නීතිඥවරයා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට පැවසුවේ " සිය සේවාදායිකාව මෙම අවස්ථාවේදිත් විවෘත හෘද සැත්කමට භාජනය වෙමින් සිටින බවට තමන් කළ ප්‍රකාශය විවෘත හෘද සැත්කමකට භාජනයවීමට නියමිතයි" ලෙස සංශෝධනය කරන බවය.

කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර ශිරන්ති රාජපක්ෂ විවෘත හෘද සැත්කමකට භාජනයවීම සම්බන්ධයෙන් නිශ්චිත වාර්තාවක් ජාතික රෝහලෙන් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කරමින් නඩුව පස්වරු 2 දක්වා කල් තැබීය.

අනතුරුව පස්වරු 2ට නීති කෘත්‍යය යළි කැඳවූ අවස්ථාවේ සැකකාර ශිරන්ති රාජපක්ෂගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කළ පිටු 03ක වාර්තාවෙහි ඇතුළත්වූ කරුණුවල සාරාංශය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

"සැකකාරිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා, සැකකාරියට විවෘත හෘද සැත්කමක් සිදුකරන බව සඳහන් කළත්, මෙහි ඇතුළත් කරුණු අනුව එවැනි සැත්කමක් සිදුකිරීමක් හෝ සිදුකිරීමට සැලසුම් කිරීමක් අනාවරණය වන්නේ නැහැ. එන්ජීයෝග්‍රෑම් පරීක්ෂණයක් පමණක් සිදුකර තිබෙනවා."

අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය ඇමතුවේය.

"ස්වාමිනි ඔබතුමා මේ වාර්තාව කැඳවන්න මුල්වුණේ විත්තියේ ජනාධිපති නීතිඥවරයා සිය සේවාදායිකාවට දැන් සැත්කමක් සිදුකරමින් තිබෙනවා යැයි කීම. දැන් එහෙම එකක් නැති බව ඔය වාර්තාවෙන් තහවුරු වී තිබෙනවා. එබැවින් ස්වාමිනි සැකකාරියට ඇප ප්‍රධානය කිරීමට කිසිදු සුවිශේෂි කරුණක් මෙහි අනාවරණය වී නැහැ."

එහිදි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතාද යළි අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

"ස්වාමිනි, මාගේ සේවාදායිකාවට විවෘත හෘද සැත්කමක් සිදුකෙරෙමින් පවතිනවා යැයි කීම වැරදිමක්. මම එය පසුව නිවැරදි කළා. නමුත් ස්වාමිනි ඇයට හෘද රෝගී තත්ත්වක් තිබෙන බව පැහැදිලියි. බන්ධනාගාරයේ ඉන්න බැහැ.මීට වඩා අඩු රෝගවලටත් අධිකරණය ඇප දී තිබෙනවා. එබැවින් මගේ සේවාදායිකාවට ඇප ලබාදෙන්න."

සියලු කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සිය නියෝගය ප්‍රකාශයට පත්කළේය.

"සැකකාරියට ප්‍රතිකාර නොකළොත් අවධානමක් පවතින බව මේ වාර්තාවේ තියෙනවා. මේ වෙද්දි වෛද්‍ය මණ්ඩලයක් විසින් සැකකාරියට ප්‍රතිකාර සිදුකරමින් තියෙනවා. අධිකරණයට අවශ්‍ය නැහැ සැකකාරියව බන්ධනාගාරයේ තබන්න. නමුත් ඇයව රෝහලෙන් පිටතට එහා මෙහා ගෙනයාමට නොහැකි බවත් මෙම වාර්තාවේ සඳහන් වෙනවා. සැකකාරියට ප්‍රතිකාර සිදුකරන වෛද්‍ය මණ්ඩලය අද පස්වරුවේ ඉදිරි ප්‍රතිකාර සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් කියවෙනවා. එබැවින් මෙම අවස්ථාවේ ඇප සම්බන්ධයෙන් නියෝගයක් කිරීමට මා බලාපොරොත්තු වන්නේ නැහැ."

 

More News..