පොදුජන පෙරමුණෙන් විපක්ෂ නායකවරයාට ලිපියක්
08 November 2026
පොදුජන පෙරමුණෙන් විපක්ෂ නායකවරයාට ලිපියක්
08 November 2026
මෙරට සම්බුද්ධ ශාසනයට හා භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීමට ලක්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කඩිනම් විවාද දෙකක් ලබා ගැනීමට අවශ්‍ය මැදිහත් වීම සිදු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යවා තිබේ.
අද දින (08) යොමු කරඇති එම ලිපියේ දැක්වෙන පරිදි, පසුගිය කාලසීමාව තුළ සම්බුද්ධ ශාසනයට සහ භික්ෂූන් වහන්සේලාට එරෙහිව විවිධ ප්‍රචණ්ඩකාරී හා අපහාසාත්මක ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතිනබව සඳහන් වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම සඳහා රාජ්‍යයට පැවරී ඇති වගකීම නොසලකා හැරීම, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ඇතැම් ක්‍රියාකලාපයන් මෙන්ම වත්මන් ආණ්ඩුවට හිතවාදී සමාජ මාධ්‍ය අවකාශයන් තුළ භික්ෂූන් වහන්සේලා ඉලක්ක කර ගනිමින් සිදු කරන ප්‍රචාරණයන් බරපතළ අවධානයට ලක්විය යුතු බව එම පක්ෂය පෙන්වා දෙයි.
මීට අමතරව, ආණ්ඩුවට අවාසිදායක හෝ ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් ප්‍රශ්න කරමින් තීන්දු ලබාදුන් අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම් වලට ලක්වීම සම්බන්ධයෙන් ද සමාජය තුළ බරපතළ සැක සංකා මතුවී ඇති බවත්, අධිකරණයේ ස්වාධීනත්වය සහ මහජන විශ්වාසය ආරක්ෂා කර ගැනීම සඳහා මේ පිළිබඳව විනිවිදභාවයෙන් යුතුව කරුණු පැහැදිලි කිරීම අත්‍යවශ්‍ය වන බවත් එහි සඳහන් වේ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත අයවැය විවාදයේ කාර්යබහුලත්වය හමුවේ මෙවැනි ජාතික වශයෙන් වැදගත් කරුණු යටපත් වීමේ අවදානමක් පවතින බැවින්, අයවැයට ප්‍රථම හෝ ඒ අතරතුර මෙම කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විවාද දෙකක් ලබා ගැනීමට අවශ්‍ය පාර්ලිමේන්තුමය හා දේශපාලනික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විපක්ෂ නායකවරයාගෙන් දැඩිව ඉල්ලා සිටී.

