Best News Website award
brand logo
logo
වාර ප්‍රවේශපත්‍රයට කුඩම්මාගේ සැලකිල්ල !

වාර ප්‍රවේශපත්‍රයට කුඩම්මාගේ සැලකිල්ල !

26 November 2026


වාර ප්‍රවේශපත්‍ර මගින් ලංගම බස්රථවල ගමන් කරන මගීන්ට එරෙහි ද්වේෂ සහගත ප්‍රතිචාරවලට දැඩි පියවර ගන්නා බව ආණ්ඩුව සඳහන් කරයි. ලංගම මෙහෙයුම් අධිකාරිවරයා එවැනි රියැදුරන්ට සහ කොන්දොස්තරලාට එරෙහිව තදින් සිටින්නයි ලංගම ඉහළ පහළ සියලු ඩිපෝවලට දන්වා තිබේ. එය අගනා පියවරක් බව සඳහන් කළ යුතුය. රජය පාසල්, විද්‍යා පීඨ සහ සරසවි සිසුන්ටද, රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවය කරන අනෙකුත් මගීන්ටද, වැඩිහිටියන්ටද වාර ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරනුයේ යම් සහනදායි පදනමකිනි. හිඟ මුදල මහා භාණ්ඩාගාරය ප්‍රතිපූරණය කරයි.


සියලු දෙනා නොවූවත් සමහර ලංගම කොන්දොස්තරලා සහ රියැදුරන් වාර ප්‍රවේශපත්‍ර භාවිත කරන මගීන් දෙස හෙළනුයේ අවතක්සේරු සහගත බැල්මකි. දක්වනුයේ ද එබඳු ප්‍රතිචාරය. ඒ හේතුවෙන් වැඩිහිටියන්ට වඩා බෙහෙවින් අපහසුතාවට පත්වනුයේ පාසල් යන කුඩා දරුවන්ය. දරුවන්ගෙන් පාසල් වාර ප්‍රවේශපත්‍රය විමසන සමහර කොන්දොස්තරලා ඒ දෙස බලනුයේ ඇස් ගෙඩි දෙක ලොකු කරය. සමහර විට පොඩි කර ද බලති. ඒ බැල්මෙන් පරිපීඩනයට ලක්වන කුඩා දරුවෝ උඩ බිම බලති. වටපිට බලති. ඒ එක්තරා ආකාරයක අසරණ සහ වැරදිකාර හැඟීමකිනි. සමහර කොන්දොස්තරලාට අවශ්‍ය වනුයේද එවැනි හැඟීමක් දරුවන් තුළ ඇතිකිරීමය. එය දරුවන්ගේ සිත් පෙළීමකි. මේ හේතුවෙන් දරුවෝ වාර ප්‍රවේශ පත්‍රය පෙන්වීමටද මැළිකමක් දක්වති. සමහරුන් එය පෙන්වනුයේ සොරා ගත් දෙයක් කෙනකු විමසන විට පෙන්වන පරිදිය. මේ කොන්දොස්තරලා තමන්ටද දරුවන් සිටින බවද තමන්ද එවැනි ළමා කාලයක් පහු කළ බවද අමතක කරති.


ලංගම ලොක්කන්ම සඳහන් කරන පරිදි පාසල් වයසේ දරුවන් පමණක් නොව ලංගම මගින් ගමන් පහසුව සලසා ගන්නා වැඩිහිටියන්ද අපහසුවට පත්වන අවස්ථා ඕනෑ තරම් තිබේ. දිනපතා තම බස්රථයෙහි ගමන් කරන වාර ප්‍රවේශපත්‍රධාරීන් ගැන කොන්දොස්තරලා සහ රියැදුරෝ හොඳින් දනිති. එනිසා ඔවුන් අපහසුතාවට පත්කිරීම ද පහසුය. නියමිත තැනින් නොබස්සවා මගින් බස්සවනුයේද එසේම බස්රථය නග්ගා නොගනුයෙද ඒ අනුවය.


වැරැදි කළමනාකරණය, කොන්දොස්තරලාට සහ රියැදුරන්ට ලාභ ඉපැයීමට වුවමනාවක් නොමැතිකම ආදී සාධක හේතුවෙන් ලංගම දුවන්නේ පාඩු පිටය. සමහර ලංගම රියැදුරෝ සහ කොන්දොස්තරලා මුදලාලිගේ බස්රථයට මගීන් ගොඩකර ගැනීමට ඉඩදී සුළු වරප්‍රසාදයක් හෝ ගතමනාවක් ලබාගනිති. බස් මුදලාලිගේ රථයට පෙර ගමන් පහසුව සලසති. ලංගම මගින් ලාභ ඉපැයිය හැකිය. එහෙත් ඒ සඳහා සූදානමක් හෝ මානසික පෙලඹවීමක් බොහෝ ලංගම සේවකයන්ට නොමැත. එකී අඩුපාඩුකම් නොදකින ඔවුහු එහි වාඩුව වාර ප්‍රවේශ පත්‍ර මගින් ගමන් කරන මගීන්ගෙන් ගනිති.


වාර ප්‍රවේශ පත්‍ර භාවිත කරන මගීන්ට අකැමැති වීමට තවත් හේතුවක් සේ දැකිය හැක්කේ ඔවුන්ගෙන් රුපියලක් හෝ එකතු කරගැනීමට නොහැකි වීම විය හැකිය. සමහර කොන්දොස්තරලා ඉතුරු මුදල මග හරිති. සම්පූර්ණයෙන් නොදෙති. රුපියල මතු නොව රුපියල් විස්ස, දහය සහ ඊටත් වඩා වැඩි ගණන් නොදී ඉන්න අවස්ථා තිබේ. සමහර මගීහු කලාතුරකින් අමතක වී බස්රථයෙන් බසිති. තවත් සමහරු සුළු ඉතිරි මුදලක් කොන්දොස්තරගෙන් ලබාගැනීමට හෝ විමසීමට මැළිකමක් දක්වති. මේ සියල්ලෙන් වාසිය සැලසෙනුයේ කොන්දොස්තරගේ සාක්කුවටය! වාර ප්‍රවේශපත්‍රධාරීන් දකින විට කොන්දොස්තරට යකා වැහීම නොව මල යකා වැහීම මේ අනුව කවර නම් පුදුමයක්ද? වාර ප්‍රවේශපත්‍රධාරීන් ඉහළ යාම යනු ඔවුන්ගේ ආදායම පහළ වැටීමය. ලංගමේ ආදායම පහළ වැටීම ඔවුනට කම් නැත!


වාර ප්‍රවේශපත්‍ර මගින් ඉහළ ආදායමක් ලංගමය වාර්ෂිකව උපයා ගන්නා බව කොන්දොස්තරලා සහ රියැදුරන් නොදන්නවා විය නොහැකිය. වාර්ෂිකව වාර ප්‍රවේශ පත්‍ර මගින් ලංගම රුපියල් මිලියන 3,500 සිට 5,300 ක් වැනි මුදලක් උපයා ගනිති.


2025 වසරේ එකී ඉපැයීම රුපියල් මිලියන 3,557.92 කි. 2024 වසරේ ආදායම 5,327.12කි


2022 වසරේ ලංගම වාර ප්‍රවේශ ගාස්තු ඉහළ දැමිණි. ඒ හේතුවෙන් වාර ප්‍රවේශපත්‍ර ආදායම දෙගුණ තෙගුණ විය. වාර ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ලංගමට ස්ථිර ආදායමක් ලැබෙන බව පැහැදිලිය. ලංගමයෙහි පඩි නඩි ගෙවීමට එමගින් ලැබෙන පිටුවහල ඉමහත්ය. ඒ අනුව අපට පෙනෙනුයේ හැම වාර ප්‍රවේශපත්‍රධාරියෙක්ම මාසිකව ලංගමට ස්ථීර තැන්පතුවක් ලබාදෙන බවය. ඔවුහු සමහර මගීන් සේ හොරට බස්රථවල ගමන් නොකරති. මුලින්ම මුදල් ගෙවා ගමන් කරති. එය කෙතරම් නම් ඉහළ සවියක්ද වැටෙමින් තිබෙන ලංගමට? ලංගම ලොක්කො මේවා පිළිබඳ බස්රථ රියැදුරන්ට, කොන්දොස්තරලාට දැනුම ලබාදිය යුතුය. එසේ වූ විට ඔවුන් ප්‍රවේශපත්‍රධාරීන් කෙරෙහි ගෞරවයෙන් භක්තියෙන් බැලීමටත් සැලකීමටත් යොමුවනු ඇත. නීති රීති වගේම එවැනි අවබෝධයක් ලබාදීමෙන් ඇතිකරන හැඟීම එයට වඩා ප්‍රබලය.

 

More News..