brand logo
logo
‘දේවාල චමරි’අයිස් මත්ද්‍රව්‍ය සමගින් අත්අඩංගුවට

‘දේවාල චමරි’අයිස් මත්ද්‍රව්‍ය සමගින් අත්අඩංගුවට

22 May 2024 | දීපා වසන්ති එදිරිසිංහ



රාජගිරිය, ඔබේසේකරපුර අරුණෝදය මාවතේ දේවාලයක් පවත්වාගෙන ගිය ‘දේවාල චමරි’ නමැත්තිය රුපියල් ලක්ෂ විසිහයකට අධික වටිනාකමින් යුතු අයිස් මත්ද්‍රව්‍ය සමගින් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.


පෙරේදා (20 වැනිදා) ලද තොරතුරකට අනුව කළ මෙහෙයුමකදී මෙම තැනැත්තියගේ ගමන් බෑගය තුළ බ්‍රවුන්පේපර් බෑගයක දමා අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 171 ක ප්‍රමාණයක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.



අත්අඩංගුවට ගත් ‘දේවාල චමරි’ ඔබේසේකරපුර, අරුණෝදය මාවත ප්‍රදේශයේ නිවසක කොටසක සොහොන් කාලි මෑණියන්ගේ පින්තූරයක් තබාගෙන ආරූඪයෙන් සාත්තර කියන තැනැත්තියක බවත්, ඇය ඒ මුවාවෙන් කලක පටන් එම ප්‍රදේශයේ මත් කුඩු බෙදා හැර ඇති බවත් සඳහන්ය.


ඇය සිය අනියම් සැමියා සමග එක්ව එම මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගියද ඔහු අධික මත්ද්‍රව්‍ය භාවිතය හේතුවන් පුනරුත්ථාපනය වන හෙයින් මෑතක සිට නුවන් නමැත්තකු හා එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී ඇත.


මැගසින් පාරේ, ඕල්කට් නමැති පාතාල සාමාජිකයාගේ සහෝදරියක හා ජීවත් වන නුවන් නමැත්තාගෙන් දේවාල චමරි මත්ද්‍රව්‍ය ලබාගෙන අලෙවි කොට ඇති බවට අනාවරණය වී තිබේ. මෙම තැනැත්තියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඇයට ප්‍රදේශ කිහිපයක නිවාස කිහිපයක්ද ඇති බවයි. ඇයගේ ‘කාලි සොහොනේ’ ප්‍රධාන දේවාලය හලාවත ප්‍රදේශයේ ඇතැයිද ඇය පොලිසියට පවසා තිබේ.


බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී ජනක කුමාරගේ පූර්ණ අධීක්ෂණය යටතේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහගේ උපදෙස් පරිදි ඒකක දෙක ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක දසනායක, පොලිස් සැරයන් රන්ජිත් (38723), කාන්තා පොලිස් සැරයන් කුමාරි (2773), පොලිස් කොස්තාපල් සුධීර (83734), පොලිස් කොස්තාපල් ශාලිත (104881), පොලිස් කොස්තාපල් සෙනෙවිරත්න (104607), පොලිස් කොස්තාපල් රියැදුරු ජයතුංග (80734) යන නිලධාරීන් විමර්ශන සිදුකොට සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැලිකඩ පොලිසිය මගින් ඉදිරි විමර්ශන සිදුකෙරේ.

 

More News..