කවුරුත් කෙඳිරිගාන්න එපා හරිද?
10 November 2024
කවුරුත් කෙඳිරිගාන්න එපා හරිද?
10 November 2024
මේ මහ මැතිවරණයේ ඊළඟට රට කරන්නට එන ආණ්ඩුව කියන කතා, දෙසන දෙසුම් අසන්නට තව ඉතිරිව ඇත්තේ දින දෙකකි. රට භාරගන්න ඉන්නා අය ජනතාවට කියන්න තිබෙන සියල්ල කියා අවසාන බව ඡන්දදායකයා තෙරුම් ගත මනාය. ඉතිරිව තිබෙන දින දෙකේද අමුතු දෙයක් කියන්නේ නැති බව 14 වැනිදා මහ මැතිවරණය පැවැත්වෙනවා වාගේම විශ්වාසය.
ගෙවුණ ජනාධිපතිවරණයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සියල්ලෝ තම ප්‍රතිපත්ති ප්‍රකාශනයන් ඉදිරිපත් කළේ තම තමන් ජනාධිපති වුණොත් රට කෙබඳු වෙයිද යන්න ගැන ජනතාවට තීන්දුවක් ගැනීමටය. එහෙත් ඒවායින් බොහෝමයක තිබූ පොදු ලකුණක් වූයේ දෙන්නට පොරොන්දු වූ දේ බොහෝමයක් එම පක්ෂවල නායකයන් දෙන්නට සූදානම් දේ වීමය. ඒවායින් බොහෝමයක් බසයේ, කෝච්චියේ වැඩට යන, පඩිපතෙන්, කුලියෙන් මලියෙන් කනබොන, විදුලිබිල් ගෙවල් කුලී, ගෙවා ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්න, ආණ්ඩුවේ ඉස්කෝලේ ඉගෙන ගන්න, ජනතාව පුන පුනා උදේ හවා ඉල්ලූ ඒවා වූයේ නැත. බලය ගන්නට පුළුවං පක්ෂවල තිබුණේ දේශපාලනඥයන්ද, ප්‍රතිපත්ති සම්පාදක උතුමන්ද ‘‘මුංට ඕනෑ මේවා’’ යැයි සිතා ප්‍රතිපත්ති ප්‍රකාශනවල ලියා දුන් දේවල්ය.
එම නිසාම ඒ ජනාධිපතිවරණය ආසන්නයේ මෙබඳුම වැකියක ජනතාවගේ එදිනෙදා ජීවිතය පහසු කරන්නට සැපවත් කරන්නට අවැසි දේ ගැන කවුරුවත් කතා කරන්නේ නැති බව අපි ලීවෙමු. එසේ ජනතාවගේ වුවමනාවන් ගැන හරියට කතා කරන්නේ නැතිව පත්වෙන ජනාධිපති ප්‍රශ්නයට උත්තරයක් වේද, ප්‍රශ්නයේ කොටසක් වේවිද යන්න අවිනිශ්චිත බව අපට වැටහෙන ආකාරයට පෙන්වා දුන්නෙමු. ලක්ෂ දහයක ජනතාවකට දිනපතා රැකියාවලට යන්නට තිබෙන්නේ කාර්යාල දුම්රිය ගමන්වාර එකසිය අසූවක් බවත්, ඒ නිසාම දුගී මගියා විඳවන ආතතිය, පීඩනය, වෙහෙස ගැන කවුරුවත් කතා කරන්නේ නැති බව එම වැකියේ සඳහන් කළෙමු. කකුළුවන්, ඉස්සන් පෙට්ටිවල පටවාගෙන කොළඹ ගෙන එන්නාක් සේ මගීන් පටවාගෙන නැවතුමෙන් නැවතුමට කොට, කොට දුවා මනුෂ්‍යය ගෞරවය නැති කරන පොදු ප්‍රවාහන සේවාව හරියට හදන බව කවුරුත් කියන්නේ නැති බව අපි එම වැකියේ බහාලූවෙමු. සුහුරු පන්ති කාමර, ඉස්කෝලෙට දෙද්දී වැසිකිළියක් නැති ඉස්කෝල අපමණ තිබෙන බව තේරුම්ගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තිබුණේ නැත. රටේ ඉස්කෝල දස දහසක් තිබියදී දරුවන් ඔටුවන් කර ජාතික පාසල් 197 ක ඉදිකටු මලෙන් රිංගවන්නට හොර ඔප්පු හදාගෙන, ආදි ශිෂ්‍ය සංගම් අටවාගෙන, විදුහල්පතිට පගා ගෙවාගෙන වාර්ෂිකව රටේ සිද්ධවන විලිලැජ්ජා නැති ක්‍රියාවලිය නතර කරන්නේ කොහොමදැයි ඒ ජනාධිපතිවරණයේ කියවුණේ නැත.
දරුවාට බත් කව කවා බිම වැටෙන්නට මූණට අනින චමින්ද නම් වධක තාත්තා දුන් වධයට වඩා බියකරු වධයක් වාර්ෂිකව ලක්ෂ දෙකකට වඩා දරුවන් පිරිසක් ශිෂ්‍යත්වයට ඉන්දවා ශිෂ්‍යත්ව පන්ති, ගෙදර වැඩ දෙමින් දෙමාපියන් වධය දෙන ආකාරය තේරුම්ගත් බවක් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනවල තිබුණේ නැත. බයිපාස් සැත්කමක් කරන්නට වෙන නිසා ලක්ෂ 20 ක් සොයා ගන්න යැයි විශේෂඥ වෛද්‍යවරයා රෝගියකුට කියන විට රෝගියා පොදු ජනයාගෙන් එකෙක් නම්, ඇතිවන අසරණ හැඟීම තුරන් කරන්නේ කොහොමදැයි කියනවාට වඩා කෙහෙළිය රඹුක්වැල්ල හිරේ දැමීමට දේශපාලනඥයෝ උනන්දු වූහ. පාතාලයන් හිර ගෙදර ඉඳගෙන ජංගම දුරකථනයෙන් කතා කර රටේ මිනී මැරවීම නතර කරන්නට හිර ගෙදර දුරකථන සංඥාවලට බාධා කරන ජෑමර් සවි කරන බව කවුරුත් කීවේ නැත. මේ රටේ මේවා කරන්නට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ඕනෑ නැත. අයි.එම්.එෆ්. නියෝජිතයන්ගෙන් අනුමැතිය ගන්නට හෝ ලෝක බලවතුන් නම්මා ගන්නට ඕනෑ නැත.
පොදු ජනයාගේ මේ ගැටලුවලට උත්තර නැතත් එක්කෝටි තිස්හය ලක්ෂයක් ලංකාවාසීන් ඡන්ද පොළට ඇවිත් ජනපති කෙනෙක් හදන්නට ඡන්දය දුන්නෝය. ඒ අනුව ජනාධිපති කෙනෙක් පත්ව හිඳී. ඒ ජනාධිපති ආදර්ශමත් ආකාරයට දිවුරුම් දුන්නේය. චාම්ය. දෙසීය විසිපහක් වූ මන්ත්‍රින් පිරිසකගේ වරප්‍රසාද කප්පාදු කර භාණ්ඩාගාරයට මුදලක්ද ඉතුරු කළේ ය.
මහජන වරලත් ආණ්ඩුව ලබන 14 වැනිදා පාර්ලිමේන්තුව ශුද්ධ කිරීමේ ශ්‍රමදානය සාර්ථකව කරන බව නම් කාටත් වැටහේ. ඒ ශ්‍රමදානය සාර්ථක වූ පසු රට හදා මිස අත් නොහරිමියි දැනටත් ආණ්ඩුව කරන උදානය යළි උච්චස්වරයෙන් කියනු ඇත.
ඒ හැදෙන රටේ, පාරේ ඇමැතියෙක්, ගිල්ලුවත් පිරෙන්නෙම නැති වළවල් තිබේ නම්, දශලක්ෂයක් ජනතාව දිනපතා දුම්රිය වාර එකසිය අසූවකින් වැඩට අදියි නම්, උදේ දිව්ව කෝච්චියේ වෘත්තීය සංගම් යකඩ යක්කු හවසට වැඩ වරයි නම්, පෞද්ගලික බස් කොට කොටා දුවයි නම්, අලි ගහයි නම්, ගොවීන් මැරෙයි නම්, ගොවීන් හක්කපටස් සරණ යයි නම් ජාතික පාසල් 397ට ලක්ෂ තුනක දරුවන් පිරිසක් පොරකයි නම්, පහේ ශිෂ්‍යත්ව විභාගයත් තියෙන රටක් නම්, කවුරුවත් කෙඳිරිගාන්න එපා හරිද?

