brand logo
logo
එලොව ගිහින් මෙලොව ආව කුඩාවැල්ලේ ධීවරයන් සිව්දෙනා

එලොව ගිහින් මෙලොව ආව කුඩාවැල්ලේ ධීවරයන් සිව්දෙනා

05 November 2026 | •සහම්පති මානගේ - තංගල්ල

තංගල්ල කුඩාවැල්ලේ ධීවරයන් සිව්දෙනකු පසුගිය දිනෙක එලොව ගිහින් මෙලොව ආවෝය. ඒ මන්ද යත් දින දෙක තුනකින් නිවෙසට ඒමේ අටියෙන් මූදු රස්සාවට ගිය ඔවුන් ගැන දින දහයකට වැඩි කාලයක් තිස්සේ කිසිදු හෝඩුඩාවක් නොමැතිවීමය.


දික්වැල්ල නිල්වැල්ලේ පදිංචි දෙදරු පියකු වන රසික ප්‍රියන්ත, කෙමගොඩ පදිංචි පී.බී.නිමල්සිරි, කුඩාවැල්ලේ පදිංචි එල්.වයි.හසින් සහ සදින් සප්සර යන සිව්දෙනා මේ අකරතැබ්බයට මුහුණ දුන්හ. කෙසේ නමුදු දින ගණනාවක් අතුරුදන්ව සිට දින දහතුනකට පසු නැවත නිවෙස් කරා එන්නට ඔවුන්ට වාසනාව තිබුණේය.

මේ පිරිස ධීවර රැකියාවට පිටත්ව ගොස් තිබුණේ තංගල්ල කුඩාවැල්ල ධීවර වරායෙන්ය. ඒ, ඊගල් නමැති ධීවර යාත්‍රාවකින් ය. ඔවුන් රස්සාවට පිටත් වුණේ ඉකුත් 20 වැනිදා ගොම්මනේ ය. ස්කීපර්ගේ රාජකාරිය පැවරී තිබුණේ රසිකට ය. දවස් තුන හතරකට සෑහෙන්නට හාල්, පොල්, තුනපහ, එළවළු හා වතුර බෝතල් කිහිපයක් ඔවුන් බෝට්ටුවට දමාගෙන තිබුණේ දින දෙකකට සෑහෙන්නට ඇඳුම්ද සමගය. ඊගල් යැයි කියන්නේ බහුදින ධීවර යාත්‍රාවක් නොවේ. දින කිහිපයක් පමණක් මුහුදේ ගතකර මසුන් අල්ලාගෙන එන යාත්‍රාවකි. යාත්‍රාවේ යන ධීවරයෝ නිවැසියන්ට කතා කරන්නේ සාමාන්‍ය ජංගම දුරකතනවලිනි. ඒ මන්ද යත් මෙවැනි යාත්‍රා වෙරළේ සිට නාවික සැතපුම් දහයකට පමණ එහා යන්නේ නැති නිසාය.


ඊගල් යාත්‍රාවේ ගිය ධීවරයන්ද එදා රැගෙන ගියේ සාමාන්‍ය ජංගම දුරකතනය. එදා ආර්නට් සුළි කුණාටුව ගැන අනතුරු අඟවා තිබූ දිනයක්ය. ඒත් තද සුළඟක් හැමුවේ නැති හෙයින් රසික ඇතුළු සගයෝ රස්සාවට පිටත් වූහ. ඒ වප් පුර හඳ මෝදු වෙන්නට පෙර ගොඩබිමට සේන්දුවීමේ අදහස ඇතිවය.

නාවික සැතපුම් අටක් හෝ නවයක් පමණ ගිය පිරිස මසුන් ඇතැයි සිතූ තැනක නැවතී පන්න කරන්නට පටන් ගත්හ. පිටත්ව ගොස් හරියටම දින දෙකක් ගත වුණේය. යොත ගන්නට එන්ජිම පණගැන්නුවද එහි හැලහොල්මනක් නැතිවිය. ඊගල්ට පණ දෙන්නට කොතෙකුත් උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැත. අඩුම තරමේ ගොඩබිම සිටින ධීවර කාර්මිකයකු හෝ අමතන්නට උත්සාහ කළත් ඒ උත්සාහයද ව්‍යවර්ථ වී ගියේ ජංගම දුරකතනවල සංඥා නොමැතිකම නිසාය. මේ ගැන කියන්නට ළඟපාත යාත්‍රාවක් හෝ නොතිබුණේ රසිකලාගේ අවාසනාවටය. මේ වෙද්දි ඈතින් ගොඩබිම පෙනෙන්නට තිබුණේය. ඒත් එන්න එන්නම ගොඩබිම නොපෙනී ගිය හෙයින් ඊගල් හොර රහසේම දියඹට ඇදෙන බව ධීවරයෝ තේරුම් ගත්හ. ඒත් මේ යන්නේ කොයි ඉසව්වටදැයි තේරුම් ගන්නට කිසිවකුටත් නොහැකි වූයේ කිසිදු තාක්ෂණික උපකරණයක් ඔවුන් සතුව නොතිබුණ නිසාය.


මේ තමන් මුහුණ දුන් අත්දැකීම ගැන පී.බී.නිමල්සිරි කියූ කතාවය.

“අපි ළඟ තිබුණ කෑම පරෙස්සම් කරගත්තා. එකවේලක් විතරක් ඉව්වා. උදේ 10ට විතර කාලා ආයෙ හවස 5ට කෑවා. මුලින් හාල් කාලක් ළිපේ තිබ්බ නම් පහුවදාට ඒ කාලෙනුත් ටිකක් අඩුකළා. අපි මාළු කිලෝ සීයක් වගේ අල්ලගෙන තිබුණේ. මාළුත් තිබුණ නිසා වැඩිපුරම කෑවෙ ඒව තම්බගෙනයි. දවස් ගණන පහු වෙද්දි තිබුණ ලුණු ටිකෙන් මාළු කරවල දැම්මා. අයිස් දියවුණ නිසා ඉතිරි ටික විසිකළා. මම හදවත් රෝගියෙක්. කරාපිටිය හොස්පිට්ල් එකේ බයිපාස් එකට දින තියෙන්නේ මේ මාසෙ තිස්වැනිදා. බෙහෙත් අරගෙන ගියේ දවස් හතරකට විතරයි. දවසක් ඇර දවසක් මම බෙහෙත් බිව්වේ. අපි දැනගෙන හිටියා අපි ඒ වෙද්දි හිටපු බරපතළ තත්ත්වය ගැන. අපි නම් අපේ ජීවිතයේ වැඩි කාලයක් ගෙවල ඉවරයි. ඒත් අපිත් එක්ක තරුණ ළමයි දෙන්නෙක් ගියා. එයාලා හොඳටම බයවෙලා අම්මා තාත්තා ගැන මතක් කළා. රසිකයි මමයි හැමතිස්සෙම උත්සාහ කළේ එයාලගෙ බය නැතිකරලා හිනස්සවලා තියාගන්නයි. අපි තවමත් ඉන්නෙ ලංකාවෙ මුහුදෙ නිසා අනිවාර්යෙන්ම අපිව බේරගන්න කවුරුහරි එයි කියල එයාලට කියලා හිත හැදුවා. එහෙම කිව්වට අපි දෙන්නටත් රෑට නිදාගන්නවත් හිත හදාගන්න බැරි වුණා. බෝට්ටුවෙ කරන්ට් තිබුණෙ නැති නිසා කොහොමත් නිදාගන්න බෑ..” නිමල්සිරි කියන්නේය.

දිනක් ඊගල් යාත්‍රාව ආසන්නයෙන් නෞකාවක් ගමන් කළා. රතු කොඩි ඔසවාගෙන උන් ඊගල් හි සිටි ධීවරයෝ එයින් උදව් පැතුවත් එයද සාර්ථක නොවීය. අවසානයේ වූයේ පණ බේරාගන්නට උත්සාහ කරන්නටය. ඒ මන්ද යත් ඒ නෞකාව ඊගල් ආසන්නයටම ආ නිසාය. නෞකාවෙන් තරමක් ඈත්වීමට හෝ නොහැකි වූ හෙයින් රසිකලා උත්සාහ කළේ මුහුදට පැන දිවි බේරා ගන්නටය. ඒත් නිමල්සිරි ඊට එකඟ නොවුණේය. අසීරුවෙන් හෝ බෝට්ටුවේම රැඳී ඉන්නට පිරිස කතිකා කරගත්හ. නෞකාවෙන් කැලඹෙන දියරළවලින් බෝට්ටුව එහාටත් මෙහාටත් පැද්දුණත් නොපෙරළී බේරුණේ ධීවරයන්ගේ පූරුවෙ පිනකටය. දින දෙක තුනකින් ගොඩබිම් කරා එන්නට පිටත් වූ පිරිස අතුරුදන් වූ හෙයින් ඔවුන්ගේ ඥාතීන් පොළොවේ පස් කෑ නැති ටික විතරය. අතුරුදන් ධීවරයන් සොයාදෙන්නැයි ඔවුන්ගේ ඥාතීන් දන්නා කියන හැමෝටම කීවත් දින දහයක් ගතවනතුරු කිසිදු හෝඩුවාවක් දැනගන්නට නොලැබුණේය. අතුරුදන් ධීවරයන් ගැන කන වැකුණු බොහෝ ධීවරයෝ රස්සාවට යනෙන ගමනේදී ඊගල් ගැන හෝඩුවාවක් ලැබේදැයි සොයාබැලූහ. නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බළකායද අතුරුදන් ධීවරයන් සොයන්නට පටන් ගත්තේය.

මේ අතරේ ඊගල්ට බොහෝ දුරින් ධීවර යාත්‍රාවක් යන බව දුටුවත් ඒ යාත්‍රාව ඊගල් නොදුටුවේය. තමන් අතරමං වී සිටින බව දන්වන්නට කළ සෑම උත්සාහයක්ම ව්‍යවර්ථ වී ගිය හෙයින් තවත් බලාපොරොත්තු දල්වාගෙන ඉන්නට ධීවරයන්ට සිදුවුණේය. හික්කඩුවෙන් මුහුදු ගිය හේෂක පුතා හමුවන්නේ රසිකලාට ජීවිතය ගැන බලාපොරොත්තු දල්වමින්ය. ඒ ඉකුත් 1 වැනිදාය. මේ වෙද්දි පොතුවිල් වෙරළේ සිට නාවික සැතපුම් 230ක් පමණ දුර තිබුණේය.

“හේෂක පුතා බෝට්ටුව අපිට කිට්ටු කළාම දෙයියෝ දැක්කා වගේ සතුටු හිතුණා...” නිමල්සිරි කියන්නේය.

හේෂක පුතා යාත්‍රාවේ ගිය ධීවරයෝ ඊගල්ට වුණ අකරතැබ්බය ගැන දැන සිටියහ. ඔවුන් මුලින්ම කළේ හේෂකගේ හිමිකරුට කතා කර ඊගල්හි සිටි ධීවරයන් බේරා ගන්නට අවසර පැතීමය. ඒ හිමිකරු කියා ඇත්තේ කොහොමහරි ඊගල්ගේ ධීවරයන් සේම බෝට්ටුවද අතරමග නොදමා ඇදගෙන එන්නැයි කියාය. ඒත් ඒ වෙද්දි හේෂක පුතා මාළු අස්වැන්නෙන් බර වී සිටියේය. තවත් බෝට්ටුවක් ඇදගෙන ඒම අසීරු වුණත් ඔවුන් අසීරුවෙන් හෝ ඊගල්ට කඹයක් දමා ගොඩබිම දෙසට අදින්නට පටන් ගත්තේය. දින ගණනාවකින් කුසට හරිහමන් අහරක් වැටී නොතිබුණ ධීවරයන්ට බඩකට පිරෙන්නට කෑම දුන් බව ස්කීපර් රසික කියන්නේය.

“එයාලා අපිට මුලින්ම කළේ හොඳට කන්න උයලා දුන්න එක. එයාලායි අපිට මුලින්ම පිහිට වුණේ. අමාරුවෙන් හරි අපිව ඇදගෙන ආවා. එයාලා නාව නම් අපේ ජීවිතය ඉවරයි. එයාලට අපි ස්තූතිවන්ත වෙනවා...”

නාවික සැතපුම් තිහක් පමණ දුරට ඊගල් ඇදගෙන එන්නට හේෂකට හැකි වුණේය. ඊගල් හමුවූ බව දැන්වූ හෙයින් ඔවුන් සිටි තැනට ආසන්නයෙන්ම උන් නාවික හමුදාවේ සිඳුරළ නෞකාව ඊගල් සොයා ආවාය. එතැන් සිට රසිකලාගේ සියලු රාජකාරි භාර කෙරුණේ නාවික හමුදාවටය. ධීවරයන් සිව් දෙනා සිඳුරළ නෞකාවට රැගෙන ඔවුන්ගේ සෞඛ්‍ය පරීක්ෂා කළහ. හදවත් රෝගියකු වූ නිමල්සිරිට වුවමනා බෙහෙත්ද ලැබුණේය. ආහාරද ලැබුණේය. නාවික හමුදාවේ කිහිපදෙනෙක් ඊගල් යාත්‍රාවට ගොඩවී එය රැගෙන ආහ.

ඊගල් මත නැග රස්සාවට ගිය ධීවරයෝ සිඳුරළගේ පිහිටෙන් මෙගොඩට ආහ. ඒ පෙරේදා (3 වැනිදා) ය. හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් යළි ගොඩබිමට සේන්දු වූ ධීවරයෝ මුලින්ම හම්බන්තොට මහ රෝහලට යවා සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර නිවෙස් කරා යැවූහ.

දින දහයකට වැඩි කාලයක් මහ සයුරේ අතරමංව සිටි ධීවරයන් අතර තවමත් යෞවන වියේ පසුවූ දෙදෙනෙක්ද වූහ. එල්.වයි. හසින් හා සදින් සප්සර ඔවුන් දෙදෙනා ය.

 

More News..