අධ්‍යාපනයට ලැබෙන ADB ආධාර නවතී!
15 June 2025 | නිලන්ත මදුරාවල
අධ්‍යාපනයට ලැබෙන ADB ආධාර නවතී!
15 June 2025 | නිලන්ත මදුරාවල
මෙරට අධ්‍යාපන ව්‍යාපෘතිවලට ලබා දෙන ණය ආධාර නතර කිරීමට සිදු වන බවට ආසියානු සංවර්ධන බැංකුව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අනතුරු ඇඟවීමක් කර තිබේ. මෙම අනතුරු ඇඟවීම කර ඇත්තේ ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයන් අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදීය. ලබා දී ඇති ණය ආධාර යටතේ ආරම්භ කළ ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමකට පත් විය හැකි තත්ත්වයක් නොවීම මීට හේතු වී ඇත.
විශේෂයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව ලබා දී තිබෙන ඩොලර් මිලියන අනූ නවයක ණය ආධාර සම්බන්ධයෙන් එම නියෝජිතයන් ප්‍රශ්න කර තිබේ.
මෙම මුදල ලබාගෙන ඇත්තේ විෂය මාලා නවීකරණය, පාසල් පෙළපොත් වෙනුවට මොඩියුල ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මෙන් ම පාසල් ඇගයීම් ක්‍රමය විධිමත් කිරීම වෙනුවෙනි. මෙම එක් ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයට නොහැකි වී තිබෙන නමුත් සූදානම් වීමේ වැඩසටහන් වෙනුවෙන් රුපියල් මිලියන ගණනින් වැය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.
මෙම ව්‍යාපෘති වෙනුවෙන් ලබා ගත් ණය ගිවිසුම් කාලය පවා අවසන් වී තිබෙන බව ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයන් පෙන්වා දී තිබේ. දහවැනි ශ්‍රේණියේ විෂයමාලා නවීකරණයට අදාළව ජාතික අධ්‍යාපන ආයතනය කටයුතු ආරම්භ කර තිබුණ ද ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත්තේ එක සහ හය ශ්‍රේණිවල ප්‍රතිසංස්කරණ පමණක් වීම ද එම නියෝජිතයන්ගේ විවේචනයට ලක් වී ඇතැයි පැවැසේ.
මේ දක්වා අධ්‍යාපන ව්‍යාපෘති 42ක් වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 1330ක පමණ ණය හා ආධාර මෙරටට ලබා දී තිබේ. ණය හා ආධාර ඉල්ලා සිටීමට පදනම් කර ගත් ප්‍රතිසංස්කරණ යෝජනා සහ එම වැඩසටහන්වලට අදාළව කර තිබෙන වියදම් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසත් ව්‍යාපෘතිවලින් ප්‍රගතියක් අත් නොවීමට වගකිව යුත්තේ කවුරුන්ද යන්න හෙළි කරන ලෙසත් ලංකා ගුරු සංගමය අමාත්‍යාංශයෙන් දැඩි ඉල්ලීමක් කරයි.