බොන වතුර බෝතලුත් හිඟයි
02 December 2025 | බන්දුතිලක තඹවිට - මතුගම
බොන වතුර බෝතලුත් හිඟයි
02 December 2025 | බන්දුතිලක තඹවිට - මතුගම
රට පුරා බීමට සුදුසු ජල බෝතල් හිඟයක් ඇතැයි පාරිභෝගිකයන් පවසන අතර ඉල්ලුමට සරිලන ලෙස ජල බෝතල් සැපයීමට නොහැකි වී ඇත්තේ ජලය පිරවීමේ බෝතල්වල හිඟය නිසා යැයි එම ජල බෝතල් නිෂ්පාදකයෝ පැවසූහ. අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවගේ මූලිකම අවශ්‍යතාව වන බීමට සුදුසු ජලය ඔවුන් වෙත ලබාදීමට එම විපතෙන් බලපෑම් සිදුනොවූ ප්‍රදේශවල ජනතාව වැඩි වශයෙන් යොමුවීම හේතුවෙන් වෙළෙඳපොළේ එම ජල බෝතල්වල හිඟයක් පවතින බව පාරිභෝගිකයන් සහ වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳව එම ජල බෝතල් නිෂ්පාදකයන් පවසන්නේ ගංවතුරෙන් ඇතිවූ බලපෑම හේතුවෙන් මෙරට බීමට සුදුසු ජලය පුරවන බෝතල් නිෂ්පාදනය කරන ප්‍රධානම කර්මාන්ත ශාලා සියල්ලේ නිෂ්පාදන කටයුතු ඇනහිට ඇති බවයි. තවද හිස් බෝතල් ගබඩා කිරීමේදී වැඩි ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය නිසා අවශ්‍යතාව අනුව සතියකට හෝ දෙකකට අවශ්‍ය බෝතල් ප්‍රමාණයක් පමණක් එම ජලය පිරවීමේ ආයතන මගින් ගබඩා කරගන්නා බවද ඔවුහු පෙන්වා දුන්හ.
මේ වනවිට රට තුළ වැඩිපුරම ජලය පිරවීමේ බෝතල් නිෂ්පාදනය කරන මල්වාන, බියගම, යක්කල සහ මහනුවර ප්‍රදේශවල පිහිටි කර්මාන්තශාලා සියල්ල අක්‍රීයව පවතින අතර නැවත එම කර්මාන්ත ශාලා නිෂ්පාදන කටයුතු ආරම්භ කරන තෙක් කුඩා ප්‍රමාණයේ නිෂ්පාදකයන්ට ඉල්ලුම සැපයිය නොහැකි බවද එසේම එම නිෂ්පාදකයන් විසින් ස්ථීරවම ජල බෝතල් සපයන සංචාරක හෝටල් ඇතුළු ආයතනවලට ජල බෝතල් සැපයීම ගැටලුවක් බවට පත්ව ඇතැයි ද ඔවුහු පෙන්වා දුන්හ.
එබැවින් සුරැකුම් මධ්‍යස්ථානවලට බීමට සුදුසු ජල බෝතල් ලබාදීම ක්‍රමවත්ව කළමනාකරණය කිරීම මේ මොහොතේ අවශ්‍ය බැවින් ප්‍රවේශ වීමට පහසු එවැනි මධ්‍යස්ථානවලට වැඩි වශයෙන් ජල බෝතල් ලැබෙන නිසා ප්‍රවේශවීමට අපහසු ස්ථාන වලට ජල බෝතල් ලබාදීමට යම්කිසි යාන්ත්‍රණයක අවශ්‍යතාව පෙන්වා දුන් ජල බෝතල් නිෂ්පාදකයෝ ගංවතුර තත්ත්වය පහව යනතෙක් මෙම අපහසුතාවට මුහුණ දීමට සිදුවන බව වැඩිදුරටත් සඳහන් කළේය.

