brand logo
logo
විභාගයට ගිය පුතු ගෙදර එන විට මව උඩුමහලෙන් වැටී ජීවිතක්ෂයට

විභාගයට ගිය පුතු ගෙදර එන විට මව උඩුමහලෙන් වැටී ජීවිතක්ෂයට

15 May 2024 | සුරංග රාජනායක - ගම්පොළ

වේලෙන්නට දමා තිබූ රෙදි වැස්සට පෙර ගන්නට ගිය දෙදරු මවක් නිවසේ උඩු මහලෙන් බිමට ඇදවැටී ජීවිතක්ෂයට පත්ව සිටි පුවතක් ගම්පොළ නාරංවිට ප්‍රදේශයෙන් වාර්තාවේ.


තිස්පස් හැවිරිදි දෙදරු මවක් වන ඇය නිවසේ කිසිවෙකුත් නොමැති වෙලාවක සෝදා වේලා ගැනීමට දැමූ ඇඳුම් ඉවත් කිරීමට ගිය අවස්ථාවේදී ඉන් පහළට ඇද වැටී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.


සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගම්පොළ නාරංවිට පිහිල්ලදෙනිය ප්‍රදේශයේ පදිංචි මනෝරි නිසංසලා හරිස්චන්ද්‍ර නමැති කාන්තාවයි.


ඇගේ සැමියා වන පිල්ලෑවේ ගෙදර ශාන්ත කුමාර යන අය ඉදිකිරීම් අංශයේ කොන්ත්‍රාත්කරුවෙකි.


සැමියා එම ප්‍රදේශයේම ඉදිකිරීමක් සඳහා උදෑසන නිවෙසින් පිටත්ව ගොස් තිබේ.

එලෙස සැමියා සහ පුතනුවන් නිවසින් ගොස් සිටියදී පස්වරුවේ ඇදහැළුණු වර්ෂාව නිසා වේලා ගැනීමට දැමූ රෙදි ගැනීමට මෙම මව උඩුමහලට ගොස් තිබේ.


නිවසට ඇතුළු වන ගේට්ටුව හා නිවසේ උඩුමහල අතර යකඩ බට හා තහඩු දමා තිබෙන අතර ඇය එහි රෙදි වනා තිබී ඇත. එම රෙදි ගැනීමට යාමේදී යකඩ තහඩුවක් සමග ඇය පහළට වැටී ඇති බව පොලිසිය පවසයි.


විභාගය සඳහා ගිය පුතු සවස හතර හමාරට පමණ නිවසට පැමිණ ඇතත් නිවසේ ගේට්ටුව වසා තිබීම නිසා නිවසේ සිටින මවට ඔහු කතා කොට තිබේ. නමුත් ගෙතුළින් පිළිතුරක් නොමැති නිසා එම පුතු තාප්පෙන් පැන ගොස් ඇති අතර එහිදී ලේ විලක් මැද සිය මව මිදුලේ වැටී සිටින අයුරු දැක තිබේ.


සිද්ධියෙන් කම්පනයට පත් පුතු අසල්වාසීන්ට දන්වා ඇය රෝහලට රැගෙන ගියත් ඒ වන විටත් ඇය මියගොස් සිටි බව පරීක්ෂණ පවත්වන පොලිසිය පවසයි.

 

More News..