Best News Website award
brand logo
logo
තමිල්නාඩු දේශපාලනයත් කැලඹෙයි

තමිල්නාඩු දේශපාලනයත් කැලඹෙයි

19 November 2026


තමිල්නාඩු මහ ඇමති ජෝසප් විජේගේ ආණ්ඩුවේ සන්ධානගත පක්ෂයක් වන 'විඩුතලෙයි සිරුතයිගල් කච්චි' (VCK) පක්ෂයේ සභාපති තෝල් තිරුමාවලවන්, LTTE හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ නිවසක් පිහිටි ස්ථානයක සංචාරයක නිතර වී තිබේ.


ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක තහනම් කර ඇති LTTE සංවිධානයේ නායකයා, ළමා කාලය ගතකළ අදාළ නිවස පිහිටි ස්ථානයට දේශපාලන නායකයෙකු යෑම හේතුවෙන් තමිල්නාඩු දේශපාලනය තුළ මේ වනවිට දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ.


දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි තෝල් තිරුමාවලවන්, ඉකුත් නොවැම්බර් 17 වැනිදා යාපනය වැල්වෙට්ටිතුරෙයි හි පිහිටි ප්‍රභාකරන්ගේ එම නිවස පැවති ස්ථානය වෙත ගොස් ඇත.


සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුව අදාළ නිවස සම්පූර්ණයෙන්ම කඩා බිඳ පොළොවට සමතලා කර ඇති අතර, වර්තමානයේ එහි ඉතිරිව ඇත්තේ එම ස්ථානය සලකුණු කෙරෙන පුවරුවක් සහිත හිස් ඉඩමක් පමණි.


මෙම සංචාරය දැඩි ලෙස හෙළාදකිමින් භාරතීය ජනතා පක්ෂයේ (BJP) තමිල්නාඩු ප්‍රධාන ප්‍රකාශක නාරායනන් තිරුපති මහතා 'X' සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, මෙය "ලැජ්ජා සහගත සහ සමාව දිය නොහැකි ක්‍රියාවක්" බවයි.


ප්‍රභාකරන් යනු නිදහස් සටන්කරුවෙකු නොව හිටපු ඉන්දීය හිටපු අගමැති රජිව් ගාන්ධි මහතාගේ ඝාතනයට වගකිව යුතු තහනම් ත්‍රස්තවාදී සංවිධානයක නායකයා බවත්, මෙවැනි ස්ථානයකට යාම දෙමළ ජනතාව සමග සහයෝගීතාව දැක්වීමක් නොව රජිව් ගාන්ධිගේ මතකයට කරන ලද අපහාසයක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.


1991 මැයි 21 වන දින එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් කොංග්‍රස් පක්ෂයේ එවක සභාපති ලෙස කටයුතු කළ රජිව් ගාන්ධි මහතාව ඝාතනය කරන ලදී.


කෙසේ නමුත් විජේගේ සන්ධාන රජයේම ප්‍රධාන සාමාජිකයෙකු වන කොංග්‍රස පක්ෂය මේ වනවිට මෙම සිදුවීම සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම පිළිබඳ භාරතීය ජනතා පක්ෂය චෝදනා නගයි.


කෙසේ වෙතත් BJP පක්ෂය එල්ල කරන මෙම චෝදනා සම්බන්ධයෙන් කොංග්‍රස් පක්ෂය මෙතෙක් කිසිදු ප්‍රසිද්ධ ප්‍රතිචාරයක් දක්වා නොමැත.

 

More News..