brand logo
logo
ගෑස් නැත-විදුලිය නැත-බදු නම් ඇත

ගෑස් නැත-විදුලිය නැත-බදු නම් ඇත

20 October 2026

ජයග්‍රහණයට අයිතිකාරයෝ බොහෝ දෙනෙක් සිටිතැයි කතාවක් තිබේ. 2022 ගෝල්ෆේස් අරගලයටද එසේමය. කවුරු කවුරුන් එහි ප්‍රතිපල භුක්ති විඳිතත් අරගලයට මුල පිරුවේ කොළඹ තදාසන්න ප්‍රදේශවල මධ්‍යම පාංතිකයන් බව දන්නා කියන උදවියට හංගන්නට බැරිය.


කාර්වලින් ගමන් කරන, ගෙදරද වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කරගෙන හීල් හෙවනේ සිටින, චිත්‍රපටවලින් පමණක් දර ළිප් දැක ඇති නාගරික මධ්‍යම පංතියටද එදවස පැට්‍රල් හා ගෑස් පෝලිම්වල හිඳින්නට සිදු වූයේය. කොරේ පිටට මරේ කීවාක් සේ දවසේ පැය විසිහතරෙන් අඩකටත් වඩා විදුලිය විසංධි වෙන්නටද පටන් ගත්තේය. රටේ ජනාධිපති පාරේ යන විට පෝලිම්වල සිටින මධ්‍යම පාංතිකයන් ඔහුට හූ කියන තැනට කාරණා කටයුතු නරක අතට හැරුණේය.


අනතුරුව ඔවුහු රෑ බෝවන විට ඉටිපන්දම් දල්වාගෙන පාරට බැස සිය විරෝධය දක්වන්නට පටන් ගත්හ. ඒ ගෝල්ෆේස් අරගලයේ ආරම්භයයි. ජාතික ජන බලවේගයට 2024 දී ආණ්ඩුව අතට ගැනීමට හැකිවන තැනට රටේ තත්ත්වය වෙනස් වූයේ නාගරිකයන්ගේ මූලික අවශ්‍යතා විසඳීමට රට කරවූවන් අසමර්ථ වීමත් සමගය.


එදා තිබුණු තත්ත්වය අද නැති බව ඇත්තය. එහෙත් රටට අතීතය මතක් කරන කුඩා, කුඩා වල් පැළෑටි බිමේ වැවෙන්නට පටන්ගෙන තිබේ. එසේ සිදුවන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලබාගෙන වැටී තිබූ ආර්ථිකය ගොඩනැගීමෙන් පසු පළමුවැනි වතාවටය.


පෞද්ගලික සමාගම් ඉන්ධන බෙදාහැරීම සීමා කිරීම නිසා පසුගිය දිනවල දවස් කීපයක්ම රටේ පැට්‍රල්, ඩීසල් හිඟයක් පැවතුණේය. ඒ ප්‍රශ්නය තවමත් හරිහැටි විසඳී නැත.⁣ ඒ කොම්පැණි මිල වැඩි කිරීමට ඉල්ලද්දී ආණ්ඩුවට ඊට ඉඩදීමට පුළුවන්කමක් නැතිකම නිසාය.

මේ දවස්වල ගෑස් හිඟයක්ද පවතී. ලිට්‍රෝ ගෑස් මෙන්ම ලාෆ් ගෑස්ද (පාරිභෝගිකයන්ගේ භාෂාවෙන් කියන්නේ නම් නිල් පාට ගෑස් මෙන්ම කහ පාට ගෑස්ද) හිඟය. ගෑස් නැවක් පැමිණ ඇති නිසා ඉදිරි දිනවලදී ගෑස් හිඟය මගහැරෙනු ඇතැයි යන ප්‍රවෘත්තිය සිහිපත් කළේ 2022 දී මෙන් ගෑස් නැවක් පැමිණීමද පත්තරවල මුල් පිටේ පුවතක් වී ඇති රඟය.


පැට්‍රල්, ඩීසල් හා ගෑස් ප්‍රශ්න මදිවාට ඉකුත් සෙනසුරාදා (ඔක්තෝබර් 17 වැනිදා) දහවල් 11.45 ට මුළු රටටම විදුලිය නැති වී ගියේය. මේ වතාවේත් ට්‍රාන්ස්ෆෝමරයකට වඳුරෙක් පැනලා දැයි දහදිය පිසදමමින් රටුන් ඇසුවේ මීට කලින් වතාවක විදුලිබල අමාත්‍යවරයා විදුලි විසන්ධි වීමකට දැක්වූ විසුළු හේතුව මතක් කරගනිමිනි. ඇතැම් ප්‍රදේශවලට පැය හතරපහකින් විදුලිය ලැබුණද සමහර තැනකට ඒ පැය දහයකට කිට්ටු කාලයක් විසන්ධිව තිබුණේය.


එහෙත් විදුලිබල අමාත්‍යාංශයට අද වනතුරුත් වඳුරෙක් පැනලා ගණයේ නිදහසට කාරණාවක්වත් විදුලිය ඇණහිටීම ගැන මේ වනතුරු දක්වන්නට හැකි වූයේ නැත. ඊ⁣යේ " අරුණ "පුවත්පත වාර්තා කර තිබූ අන්දමට ඔවුන්ට ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන්නට මාසයක් කල්ගත වනු ඇත. අපේ කල්පනාවේ හැටියට ඒ ප්‍රමාදයද නිදහසට කරුණු විමසිය යුතු කාරණාවකි.


මහජනතාව සිය ඡන්ද බලයෙන් ආණ්ඩුවක් පත් කරගන්නේ සිය මූලික අවශ්‍යතාවයන් ඉෂ්ට කිරීම සඳහා වන යාන්ත්‍රණය ඔවුන් හරියාකාරව පවත්වාගෙන යතැයි යන විශ්වාසය ඇතිවය. අන්ත දුගියා පවා තමන් මිලදී ගන්නා සීනි ගොට්ටෙන් හා පරිප්පු ගොට්ටෙන් ආණ්ඩුවට බදු ගෙවන්නේ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීම සඳහාය. ඒ නිසා අවශ්‍ය කටයුතු කලට වේලාවට සිදුවන බවට වගබලා ගැනීම ආණ්ඩුවක වගකීමයි.

තමන් බලයට පැමිණීමෙන් පසු රාජ්‍ය භාණ්ඩාගාරය උතුරා යමින් පවතින්නේ යැයි ආණ්ඩුවේ ප්‍රධානීහු නිතර දෙවේලේ පුරසාරම් කියති. එය බොරුවක්ද නොවේ. ඊට හේතුව අයි.එම්.එෆ්. වැඩසටහන් ක්‍රියාත්මක වීමට පටන් ගැනීමෙන් ආණ්ඩුව ජනතාවට අධික බදු බරක් පටවා තිබීමයි.


විපක්ෂයේ සිටියදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි ලෙස විවේචනය කළද ජා.ජ.බ. බලයට පැමිණීමෙන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඇරඹූ ආර්ථික වැඩපිළිවෙළ එයාකාරයෙන්ම පවත්වාගෙන යයි. අප කියන්නේ එය එසේ නොකළ යුතුව තිබුණේ යැයි කියා නොවේ. 


මහජනතාව ගෙවන බදු මුදල් වෙනුවෙන් ඔවුන්ට හිමිවිය යුතු ප්‍රතිලාභය නොලැබෙන බවය.


2022 දී අතවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය හිඟවූ අවස්ථාවේ මිනිසුන් මේ අන්ද⁣මේ විශාල බදු බරකින් පීඩා වින්දේ නැත. බදු බර නිසා දැන් රටේ වැඩිදෙනාට එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමටද ඉතා අපහසු තත්ත්වයක් පවතියි. එසේ බදු අය කරගන්නා ආණ්ඩුවට ඒ ගැන කටමැත දොඩවමින් සිටිනු විනා රටේ මූලික අවශ්‍යතාවන් සැපිරීමටවත් හැකිවී නැතිවීම ඔවුන්ගේ කයිවාරු සමග නම් නොගැළපෙයි.

 

More News..