අයවැයෙන් බද්ද අඩු කළත් මිරිස්වල සැර බහින්න කල් යයි
14 November 2026 | සාලිය කුමාර ගුණසේකර
අයවැයෙන් බද්ද අඩු කළත් මිරිස්වල සැර බහින්න කල් යයි
14 November 2026 | සාලිය කුමාර ගුණසේකර
අය වැය මගින් ආනයනික හාල්මැස්සන්, උම්බලකඩ සහ වියළි මිරිස්වලට පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කළද ජනතාවට එම සහනය යටතේ ආහාර ද්‍රව්‍ය ලබාදීමට තවත් සති කීපයක් ගතවනු ඇතැයි ආනයනකරුවන් සහ පිටකොටුව තොග වෙළෙන්දෝ කියා සිටිති.
2027 අය වැය ලේඛනය යටතේ හාල් මැස්සන් කිලෝග්‍රෑමයක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10 ක් දක්වාද, උම්බලකඩ කිලෝග්‍රෑමයක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10ක් දක්වාද, වියළි මිරිස් කිලෝග්‍රෑමයක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 ක් දක්වාද අඩු කරනු ලැබීය.
නමුත්, ආනයනකරුවන් කියා සිටින්නේ ඉරාන යුධ තත්ත්වය හේතුවෙන් හාල් මැස්සන් එරටින් ආනයනය කිරීමට තිබෙන බාධා නිසා තායිලන්තයෙන් ආනයනය කිරීමට සිදුවී තිබෙන බවය. තායිලන්තයේ හාල් මැස්සන් සමය ආරම්භ වන්නේ තවත් සතියකින් පමණ බවත්, එම තොග මෙරටට ආනයනය කිරීමට දින 20 ක පමණ කාලයක් ගතවන බවද ආනයනකරුවෝ පවසති. මේ නිසා ජනතාවට හාල් මැස්සන් සඳහා අය වැයෙන් ලබාදුන් සහනය ජනතාවට ලබාදීමට තවත් සති කීපයක් ගතවන බවද ඔවුන් පවසති. ලංකාවේද හාල්මැස්සන් අස්වැන්න අඩු බව ඔවුහු කියා සිටිති.
ඉරාන යුධමය තත්ත්වය නිසා උම්බලකඩ ආනයනයද එරටින් ආනයනය කිරීම ගැටලු දායක බැවින් මාලදිවයිනේ සිට අලුත් උම්බලකඩ තොග ආනයනය කිරීමට සතියක පමණ කාලයක් ගතවනු ඇතැයිද ආනයනකරුවෝ සඳහන් කරති.
ආනයනික වියළි මිරිස් සඳහාද විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කළද, වියළි මිරිස් ආනයනය සම්බන්ධයෙන් බරපතළ අර්බුදකාරී තත්ත්වයක් පැනනැගී තිබෙන බව ආනයනකරුවෝ පවසති. ඉන්දියාවේ සිට ආනයනය කරන ලද වියළි මිරිස් සහිත බහලුම් 120 ක් පමණ සති කීපයක් තිස්සේ වරායෙන් නිදහස් කරගැනීමට නොහැකිව පවතින බවද ඔවුහු පවසති. තෙතමන ප්‍රතිශතය සම්බන්ධ ගැටලුවක් නිසා මෙලෙස වියළි මිරිස් බහලුම් වරාය පරිශ්‍රයේ සිරවී තිබීම නිසා ආනයනකරුවෝ වියළි මිරිස් ගෙන්වීමට අතමැත්තක් දක්වන බවද පිටකොටුව තොග වෙළෙඳුන් සහ ආනයනකරුවන් කියා සිටිති.
මෙම අර්බුදය නිසා ඉන්දියාවේ වියළි මිරිස් අපනයනකරුවන්ද සිය සාමාජිකයන්ට දැනුම්දී ඇත්තේ ලංකාවට වියළි මිරිස් තොග අපනයනය නොකරන ලෙසය.
ආනයනික සීනි සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10 කින් ඉහළ දැමීමට අය වැය වාර්තාව මගින් කටයුතු කෙරිණි.
සීනි කිලෝවක් ආනයනය කිරීමට රුපියල් 260 ක මුදලක් වියදම් වන බවත්, මේ වනවිට වෙළෙඳ පොළේ සීනි කිලෝවක් රුපියල් 230 කට අලෙවි කරනු ලබන්නේ රුපියල් 30 ක පාඩුවකට බවද ආනයනකරුවෝ පවසති. සීනි බද්ද තවත් රුපියල් 10 කින් ඉහළ දැමීම නිසා තමන්ට සීනි කිලෝවකින් සිදුවන පාඩුවද රුපියල් 10 කින් ඉහළ යන බව ආනයනකරුවන් පවසති.


