ථෙරවාදී භික්ෂු පනත් කෙටුම්පත අද නොවේ හෙට
25 November 2024
ථෙරවාදී භික්ෂු පනත් කෙටුම්පත අද නොවේ හෙට
25 November 2024
පසුගියදා ඇමැති විජිත හේරත් අස්ගිරි පාර්ශ්වයේ නායක හිමිවරුන් හමුවූ අවස්ථාවේ උන්වහන්සේලා ශාසන විරෝධීව සහ නීති විරෝධීව හැසිරෙන, කටයුතු කරන භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ නෛතික පදනමක අවශ්‍යතාව ඇමැතිවරයා සමග සාකච්ඡා කර තිබේ. එම අවස්ථාවේදී නායක හිමිවරුන් පෙන්වා දී තිබෙන්නේ විහාර හා දේවාලගම් පනතේ සමහර වගන්ති බලාත්මක කිරීමේ අවශ්‍යතාවයි. අසාසනිකව, අසෝබන ආකාරයට කටයුතු කරන සමහර යතිවරුන්ගේ ක්‍රියාකලාපයන් බෙහෙවින් මතභේදාත්මක වූ අවස්ථාවන් තිබුණේ එකක් දෙකක් නොවේ. එවැනි විනය විරෝධී සහ පිළිකුල් සහගත හැසිරීම් හේතුවෙන් භික්ෂු සමාජය පමණක් නොව සමස්ත බෞද්ධ සමාජයම අපහසුතාවට පත් වූ බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.
ලංකාවේ ශාසන ඉතිහාසය දෙස බලන විට අපට පෙනෙන්නේ භික්ෂු සමාජය තුළ විවිධ අර්බුද ඕනෑ තරම් ඇති වී තිබෙන බවය. භික්ෂු සංස්ථාව යනු සමාජයීය ආයතනයකි. එය මහා සමාජය වන ගිහි සමාජය තුළ තිබෙන ක්ෂුද්‍ර සමාජයකි. එසේම එක්තරා බලාත්මක උප සංස්කෘතියකි. වනවාසීව ජීවත්වන භික්ෂුහු අල්පතරයක්ම සිටිති. බොහෝ භික්ෂුහු ග්‍රාමවාසීහුය. නගරවාසීහුය. ජාත්‍යන්තර වාසීහුය. එදා තතු ද එසේමය. බුදුන් වහන්සේ ද නාගරික සමාජය ඇසුරු කරමින් බෙහෙවින් ජීවත් වූ බව ත්‍රිපිටක මූලාශ්‍ර හැදෑරීමෙන් තේරුම් ගත හැකිය. එසේ මහා සමාජය ඇසුරු කිරීමෙන් කටයුතු කරන විට විවිධ ගැටලු ඇතිවීම පුදුමයක් නොවේ. ඕනෑම සමාජයක ගැටලු ඇතිවීම අනිවාර්ය සංසිද්ධියකි. එහෙත් ඒ ගැටලු විසඳා ගැනීමට සමාජයට යම්කිසි ශක්තිමත් යාන්ත්‍රණයක්, වැඩපිළිවෙළක්, යුක්තිය පසිඳලීමේ පිළිවෙතක් තිබිය යුතුය.
අප දකින හැටියට පසුගිය දශකවල භික්ෂු සමාජය තුළ යම් අරාජික බවක් ඇති විය. එක් පැත්තකින් ශාසන ඉතිහාසය තුළ මුල සිටම දැකගත හැකි පරිදි ප්‍රතිබල සම්පන්න මහ යතිවරුන්ගේ මග පෙන්වීම සහ බලපෑම හේතුවෙන් භික්ෂු සමාජය තුළ යම් පාලනයක් ඇති විය. එහෙත් දැන් එවැනි මහ යතිවරුන්ගේ ධර්ම විනයධර මහා තෙරුන් වහන්සේලාගේ හිඟයක් දැකිය හැකිය. භික්ෂු සමාජය අරාජික වීමට එය ප්‍රධාන හේතුවකි. බුදුන් වහන්සේ සාසනය පිහිටුවා වසර විස්සක් යනතෙක් ධර්ම විනය පිළිබඳ ගැටලු ඇති නොවීය. එයට හේතුව සමාන අදහස් සහ එක් පැහැදිලි අරමුණක් මුල් කරගත් පිරිසක් හැටියට මුල් කාලීන භික්ෂු සමාජය කටයුතු කිරීමය. එහෙත් පශ්චාත් කාලීනව එම තත්ත්වයන් වෙනස් විය. විටින් විට ඇතිවූ සංගායනාවන් දෙස බැලීමෙන් වුවද අපට එය තේරුම් ගත හැකිය.
වර්තමානයේ විවිධ ක්ෂේත්‍රවල දක්ෂතා සහිත, විවිධ තරාතිරමේ යතිවරු වෙසෙති. එහෙත් අපට පෙනෙන පරිදි භික්ෂු සමාජය තුළ ඕනෑම කෙනෙකුට තමන්ට කැමති ආකාරයේ රංගනයක් ඉදිරිපත් කිරීමේ ඉඩකඩක් විවර වී තිබේ. එය විධිමත්, ශක්තිමත් සමාජයක් දුර්වල කිරීමට ප්‍රධාන හේතුවක් බව සඳහන් කළ මනා නොවේ. කොහොම නමුදු අස්ගිරි නාහිමිවරුන් සඳහන් කරන අසාසනිකව කටයුතු කරන භික්ෂුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන ඒවා නෛතිකව ක්‍රියාත්මක කළ හැකි පදනමක් තිබිය යුතුය.
එවැනි නෛතික බලයක් නිකායික නායක භික්ෂුන් වහන්සේලාට ලබා දීමේ අරමුණෙන් ඉදිරිපත් කළ සාධනීය පියවරක් සේ 2015 -2016 වසරවලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ථෙරවාදී භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පත සඳහන් කළ හැකිය. මේ පනත් කෙටුම්පතට එරෙහිව සහ පක්ෂව භික්ෂු සමාජය තුළ යම් මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය විය. සමහර භික්ෂුන් වහන්සේලා චෝදනා කළේ එම පනත් කෙටුම්පත මගින් ආණ්ඩුව භික්ෂුන් නෛතිකව කොටු කිරීමේ කුමන්ත්‍රණයක නිරත වන බවය. එසේම එමගින් භික්ෂුන් වහන්සේලාගේ මානව හිමිකම් කඩවන බවටද සමහරු චෝදනා කළහ. මෙකී පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දන්වා තිබුණේ එහි සමහර වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමහර වගන්ති උල්ලංඝනය කරන බවය. ඒ නිසා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව සඳහන් කර තිබුණි. එහෙත් පනත් කෙටුම්පතේ ආණ්ඩු ක්‍රමය අවස්ථාවට පටහැනි වගන්ති පිළිබඳ සංශෝධනයක් කරන්නේ නම් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කරගත හැකි බවද සඳහන් කර තිබුණි.
කොහොම නමුදු මෙම පනත් කෙටුම්පත තුළ යම් එකඟ විය හැකි වගන්ති තිබුණේ නම් ඒවා සංශෝධනය කර එය පනතක් හැටියට සම්මත කර ගැනීමට අවස්ථාව තිබුණි. එහෙත් අපට පෙනෙන, අද නෛතික බලයක් ඉල්ලන සමහර නායක ස්වාමීන් වහන්සේලාම එම පනත් කෙටුම්පත මිහිදන්වන තැනට වැඩ කළහ. එයට දැඩි විරෝධයක් එල්ල කළහ. අමරපුර සහ රාමඤ්ඤ නිකායික නාහිමිවරුන් නම් සඳහන් කළේ එම පනත් කෙටුම්පත පනතක් හැටියට සම්මත කරගත යුතු බවය. එහෙත් අස්ගිරි සහ මල්වතු පාර්ශ්වවලින් ඒ සඳහා සහයෝගයක් නොලැබුණු බවට සමහර භික්ෂුන් වහන්සේලා චෝදනා කළහ. පනත් කෙටුම්පත් වල ගැටලු පුදුමයට කරුණක් නොවේ. එහෙත් ඒවා තිබුණු පමණින් එම කෙටුම්පත් පැත්තකට දැමිය යුතු නැත. සංශෝධන ඉදිරිපත් කර හෝ සම්මත කර ගැනීම සාමාන්‍යයෙන් අප දැක තිබෙන ස්වභාවයයි. එහෙත් ථෙරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත හමස්පෙට්ටියටම යවනතෙක් සමහරුන්ට නින්ද ගියේ නැත. එම පනත් කෙටුම්පත මගින් ඒ නිකායවල කතිකාවත්වල වගන්ති ක්‍රියාත්මක කිරීම සඳහා නෛතික බලයක් ලබාදීම ඇතුළු වැදගත් ප්‍රතිපාදන රැසක් තිබුණි.
එනිසා අප දකින ආකාරයට ශාසනික ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබා ගැනීමේ යාන්ත්‍රණයක් සකස් කර ගැනීමට සම්ප්‍රදායවාදී, පාර්ශ්වවාදී, අධිකාරිවාදී ප්‍රවේශයන්ගෙන් මිදී සාසනික හැඟීමකින් සහ දැක්මකින් භික්ෂුන් වහන්සේලා විශේෂයෙන් මහනාහිමිවරු එකඟතාවයකට පැමිණිය යුත්තෝය. එසේ නැතිව දේශපාලනඥයන්ට ඒ පිළිබඳ වගකීම් පැවැරීමෙන් පමණක් ප්‍රතිඵලයක් නැත.