මිල සහ ඇසුරුම් තොරතුරු නොමැතිව තායි සිවුරු අලෙවිකළ වෙළෙඳසැලකට ලක්ෂයක දඩයක්
13 September 2026
මිල සහ ඇසුරුම් තොරතුරු නොමැතිව තායි සිවුරු අලෙවිකළ වෙළෙඳසැලකට ලක්ෂයක දඩයක්
13 September 2026
නීතියෙන් නියම කර ඇති අනිවාර්ය පාරිභෝගික තොරතුරු සඳහන් නොකර අලෙවිය සඳහා තිබූ තායි සිවුරු 06ක් සොයාගැනීමේ සිද්ධියකට අදාළව, මරදානේ පෞද්ගලික ආයතනයකට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබේ.
2026 අගෝස්තු 10 වන දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදුකරන ලද වැටලීමකදී, අදාළ වෙළෙඳ ආයතනයේ තිබී උපරිම සිල්ලර මිල, නිෂ්පාදකයාගේ හෝ ආනයනකරුගේ ලිපිනය, දුරකථන අංකය සහ නිෂ්පාදිත දිනය ඇතුළත් කර නොතිබූ ඇසුරුම් කරන ලද තායි සිවුරු 06ක් අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබියදී අනාවරණය කරගෙන තිබේ.
2015 ජූනි 11 දිනැති අංක 1918/20 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් විධාන අංක 55 උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම නඩුව පවරා ඇති අතර, නඩුව විභාගයට ගත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය 02වන දින විත්තිකාර සමාගමට මෙම දඩ මුදල නියම කළේය.
මූලාශ්‍රය පැහැදිලි නැති සහ බාල ගුණාත්මකභාවයෙන් යුත් පිරිකර භාණ්ඩ වෙළෙඳපොළට පැමිණීමේ ප්‍රවණතාවක් පවතින බැවින්, ඒවා භාවිත කරන භික්ෂූන් වහන්සේලා ගැටලු රැසකට මුහුණ දෙන බවට පැමිණිලි ලැබී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි.
ඇතැම් ඇසුරුම් තුළ භාවිතයට නුසුදුසු හෝ අදාළ නොවන භාණ්ඩ අඩංගුකර ඇති අවස්ථාද වාර්තා වී ඇත.
එබැවින් අටපිරිකර සහ සිවුරු මිලදී ගැනීමේදී ඇසුරුමෙහි අනිවාර්ය පාරිභෝගික තොරතුරු (මිල, නිෂ්පාදිත දිනය, නිෂ්පාදක/ආනයනකරුගේ තොරතුරු) පැහැදිලිව සඳහන් කර ඇත්දැයි පරීක්ෂා කිරීම.
හැකි සෑම අවස්ථාවකම ඇසුරුම විවෘත කර ඇතුළත ඇති භාණ්ඩවල ගුණාත්මකභාවය සහ සුදුසුබව තහවුරු කර ගැනීම.
නිවැරදි තොරතුරු ඇතුළත් බිල්පතක් ලබාගෙන සුරක්ෂිතව තබා ගැනීම යන කරුණු සම්බන්ධයෙන් සැළකිලිමත්ව කටයුතු කරන ලෙස එම අධිකාරිය මහජනතාවට දැනුම්දෙනු ලබයි.

