brand logo
logo
ජනාධිපතිතුමාගේ මන්දිර පාරමිතාව

ජනාධිපතිතුමාගේ මන්දිර පාරමිතාව

01 August 2026 | සුන්දර නිහතමානි ද මැල්

අගෝස්තු 2 වැනිදා,

කොළඹදී.

ප්‍රිය අකුදි,

මේ ලියුමට එබිල බලපු මගේ බිරිඳ කිව්වා ඇයි හැමදාම ජනාධිපතිතුමායි, ආණ්ඩුවයි ගැනම ලියන්නෙ, ලියන්නකො වෙනසකටත් එක්ක විපක්ෂෙ ගැනත් කියල. මානිගෙ තීරුවට විපක්ෂෙ කියන්නෙ නිරුදක කතරක් නම් ආණ්ඩුව කියන්නෙ රස සාගරයක් කියල, ඉඳ ඉඳ එක ගෙදරත්, උන්දැට තේරෙන්නෙ නෑ තුමනි.

ඔයැයි මතු බුදුවීමට පෙරුම් පුරන (සමාජවාදී) බෝධිසත්ත්වයෙක්⁣ කියලනෙ ජෙප්පො අපිට (නොකියා) කියන්නෙ. මම නම් ඒක විශ්වාස කරේ නෑ ඊයෙ පෙරේදා වෙනතුරු. හැබැයි රට පුරා තියෙන ජනාධිපති මන්දිරවලට නොයන තමුන්නැහැ, ගිය අවුරුද්දෙ ගෝලයො 3089 කට එව්වයෙ ලැගුම් දීල කියල දැනගත්තම තමයි මට තේරුණෙ මං වැරදියි කියල. බෝසතෙක් පුරන්න ඕන දස පාරමිතාවෙන් දාන පාරමිතාව පුරන්නෙ නෑනෙ තමුන් අපි වගේ පෘථග්ජනයෙක් නම්. විගණකාධිපති වාර්තාවකින්නෙ ඔය 3089 දාන පාරමිතාව එළි දැක්කෙ. එතකොට තමයි මට මතක් වුණේ ඔයැයිගෙ දූරදර්ශීකම. (පහුගිය කාලෙ තමන්ට ඕන විගණකාධිපතිවරයෙක් දාගන්න හැදුවෙ) අණබෙර ගහන්නෙ නැතුව ඔය වගේ දාන පාරමිතා පුරන්න වෙන්නැතිනෙ.

3089 දාන පාරමිතාව ගැන සිරස්තලය ගිහින් දවස් දෙකයි.⁣ ඔයැයි දන්දීමක් දුන්නනෙ අනේපිඬු සිටාණොත් කොරවෙන්න. රට පුරා තියෙන ජනාධිපති මන්දිර අටෙන් පහක්ම "මට වැඩක් නෑ මේ බම්බු" කියල ටුවරිස්ට් කොම්පැනිවලට දීල දැම්මනෙ ටුවරිස්ට් හෝටල් දාගන්න කියල. ඒ ඉතින් තමුන්නැහැගෙයි, තමුන්නැහැගෙ පක්ෂෙයි අල්පේච්ඡතාව මිසක් වෙනින් මොකක්ද නේ? ඒත් දන් දෙන කොට අනුරාධපුරය, මහියංගණය, ඇඹිලිපිටිය, කතරගම, බෙන්තොට මන්දිර දීල කොළඹ, මහනුවර, නුවරඑළිය මන්දිර තුන තියාගත්ත තමයි. ඇල්ටො දන් දෙනව වගේ රෝල්ස් රොයිස්, බුගාටි, ලැම්බොගිනි දන් දෙන්න බෑනෙ නේ? සියඹලා ටොපි දීල දැම්මට රිච් කේක් දෙන්නෙ මොන හිතකින්ද නේද තුමෝ?

ඔය ජනාධිපති මන්දිර දන් දුන්නම රටේ පොදු ජනතාවට ඇති සෙතේ මොකක්ද කියල ගොන් ප්‍රශ්නත් අහයි දැන් මේකෙ ඉන්න උන්. ඇයි දෙයියනේ දැන් ගොයියොන්ට වී කිලෝව රුපියල් 80 ගානෙ මෝලට දීල අඹුව එක්ක ගිහින් ඔය ජනාධිපති හෝටලේක ප්‍රසිඩන්ෂල් ස්වීට්ටෙකේ (presidential suite) ඉන්න ඉඩ සලසන්නනෙ එච්චර හරියක් කරේ. මේ ආණ්ඩුව පච කෙළිනව මිසක් කරපු සංවර්ධනයක් නෑ කියන එවුන්ට ඔය දුන්නෙ උත්තර. ඡන්දෙන් පත්වෙන්නෙත් නැතුව (අරගලේකුත් නැතුව) ජනාධිපති හෝටලේක ජනාධිපති කාමරේ ඉන්න පොදු ජනතාවට ඉඩ සලසන්න මේ වගේ ජනතා ආණ්ඩුවක්ම එන්න ඕනනෙ, නැද්ද තුමෝ?

ජනාධිපති මන්දිරවල ඉඳන් සමහරු මහවැලිය හැදුවා, ජනසවිය දුන්නා, යුද්දෙ ඉවර කරා. ඒත් තමුන්නැහැ එව්වට නොගියෙ ස්ථානෝචිත ප්‍රඥාව නිසානෙ. එතකොට ඒවයෙ හිටපු ඈයෝ, ඒවයෙ ඉඳන් කරපු වැඩ කරන්න විදිහක් නෑනෙ තමුන්නැහැට. කරන්න ඕනත් නෑනෙ. මේ ආණ්ඩුව මොනවද කරේ කියල අහන මෝඩයින්ට නොතේරෙන්නෙ අන්න ඒ ටික. දැන් ජනාධිපති මන්දිරවලින් ජනාධිපති හෝටල් හදනවා වගේ සමාජවාදී සංකල්පයක්ම ඇතිනෙ ඔයැයිගෙ අල්පේච්ඡ භාවය, විදග්ධභාවය හා ජනහිතකාමී භාවය ප්‍රදර්ශනය වෙන්න.

ජනාධිපති මන්දිර අයිති රටට (රජයට) මිසක් මේ ආණ්ඩුවට නෙවෙයි කියලත් කවුද කියල තිබුණා. මෝඩ කතානෙ! මේ ආණ්ඩුව ආවෙ යන්න නෙවෙයි කියනවවත් ඇහිල නැද්ද මේ යක්කුන්ට. එහෙම වුණාම ආණ්ඩුව විතරක් නෙවෙයි රජයත් ඔයැයිලමනෙ. ප්‍රංශෙ හිටපු 16 වැනි ලුවී රජ්ජුරුවො වගේ ඔයැයිටත් තියෙන්නෙ "මම තමයි රජය" (I am the state) කියල කියන්න මුන්ගෙ කටවල් වැහෙන්න.

මම,

මානි

ප:ලි

ඔයැයිට කියන්න ඔයැයිල වගේ සිරස්තල මවන්න දක්ෂ ආණ්ඩුවක් කවදාවත් රටේ තිබුණෙ නෑ කියල, ඔයැයිලගෙ හතුරො වුණත් පිළිගන්නවනෙ. සිරස්තලවලින් විදුලි බලය නිෂ්පාදනය කරන්න පුළුවන් වුණා නම් ඔයැයිල මවන සිරස්තලවලින් අපිට ඉන්දියාවටත් විදුලි බලය දෙන්න තිබුණ. 

 

More News..