brand logo
logo
අර්බුදයට විසඳුම දිල්ලි සහ වොෂින්ටන් ආධිපත්‍යයෙන් මිදීමයි !

අර්බුදයට විසඳුම දිල්ලි සහ වොෂින්ටන් ආධිපත්‍යයෙන් මිදීමයි !

05 November 2026


මැද පෙරදිග යුද ගැටුම තවම අවසන් නැත. යුද මානසිකත්වයකින් ඉරානයට එරෙහිව යුද ප්‍රකාශ කළ ඊශ්‍රායල සහ ඇමරිකානු නායකයන් තීරණාත්මක පරීක්ෂණයකට ලක් වෙමින් සෘණාත්මක ප්‍රතිඵල ලබමින් තිබේ. නායකයන් දෙදෙනාම ලබා තිබෙන ප්‍රතිඵල ඔවුන්ට සෑහීමට පත්විය නොහැකි බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. පසුගිය පෙබරවාරි 28 වැනි දා ඇවිළිණු යුද ගිනි රාජ්‍යතාන්ත්‍රිකව නිවා දැමීමට විවිධ පාර්ශ්ව ඒකාබද්ධව ගනු ලැබූ ප්‍රයත්න අපේක්ෂිත ආකාරයට සාර්ථක වී නොමැත.


මැදපෙරදිග ගිනියම් කරන ප්‍රහාරවල බලපෑම ලංකාව වැනි රටවලට පමණක් නොව පළමු ලෝකයේ යැයි වර්ගීකරණය කර තිබෙන රටවලටද හොඳටම දැනී තිබෙන බව ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ මැතිවරණ ප්‍රතිඵලවලින් පැහැදිලිවෙයි. එහෙත් මෙකී බොහෝ රටවල් ආර්ථිකය නිසි පරිදි කළමනාකරණය කරමින් ප්‍රතිපත්තිමය තීන්දු මත කටයුතු කරන හෙයින් තවමත් ඔරොත්තු දෙන තත්ත්වයක් තිබෙන බව පෙනේ.


එහෙත් අපේ රටට මුල සිට නොතිබුණේ දැනුදු නොමැත්තේ එවැනි විධිමත් ආර්ථික කළමනාකරණයකි. ජාත්‍යන්තර ආයතන මගින් නිකුත් කරනු ලැබූ වාර්තා කිහිපයකම දක්වා තිබෙන්නේ මැද පෙරදිග යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි රටවලට ඉතා නරක ප්‍රතිඵලවලට මුහුණ පෑමට සිදුවන බවය. එකී ප්‍රතිඵල ගල්ෆ් කලාපය හරහා අපනයන ආර්ථිකයක් ගොඩනගා ගත් බංග්ලාදේශය සහ පාකිස්තානය වැනි රටවලටද හොඳටම දැනී තිබෙන බව පෙනේ.


විදෙස් විනිමය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මූලික වශයෙන් විශ්වාසයේ තබා තිබෙන්නේ විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තය කෙරෙහිය.


මේ වසරේ මුල් මාස කෙරෙහි අවධානය යොමු කරන විට අපට දක්නට ලැබෙන්නේ සංචාරක කර්මාන්තයෙහි යම් පසුබැසීමකි. සාමාන්‍යයෙන් දිනකට සංචාරකයන් 9976 දෙනකුගේ පමණ පැමිණීම අපේක්ෂා කළ ද මාර්තු මාසය වන විට වාර්තා වූයේ සංචාරකයන් 5956 ක් වැනි අඩු ප්‍රමාණයකි. එය දළ වශයෙන් සියයට හතළිහක පමණ අඩුවක් බව සඳහන් කළ යුතුය. තේ අපනයනය බිඳවැටීම හේතුවෙන් සතියක පමණ ඇස්තමේන්තුගත පාඩුව ඩොලර් මිලියන 10-15 කි.


මෙවැනි අර්බුදවලට මුහුණ දීම සඳහා ලංකාවේ ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීම කෙරෙහි ප්‍රතිපත්තිමය තීන්දු ගත යුතු වුවද බොහෝ විට ආණ්ඩු කළේ ගැලරිය පිනවීමය. ප්‍රතිපත්තිමය තීන්දු ගනු ලැබූ අවස්ථාවලදීද විවිධ දේශපාලන කණ්ඩායම් ඒවාට එරෙහිව මහජනතාව ප්‍රකෝප කරනු ලැබූහ. එහි ප්‍රතිඵල අපට භුක්ති විඳීමට සිදුව ඇත.


ආර්ථික විශේෂඥයන් බෙහෙවින් අවධාරණය කළ කරුණක් නම් අපගේ අපනයන විවිධාංගීකරණය කළ යුතු බවය. එසේම අපනයන භාණ්ඩ සහ සේවා පුළුල් කළ යුතු බවද ඔවුන් මතු කළ අදහසකි. එසේ වුවද ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට රට කර වූ ආණ්ඩු අසමත් වූ බව 2022 වසරේ සිට රට මුහුණ දෙන ආර්ථික අර්බුදයෙන් පැහැදිලි වෙයි. අපට තවම තේ අපනයනයෙන් එහාට පුළුල් විසඳුමකට යාමට නොහැකි වී තිබේ. එසේම තවම අප බෙහෙවින් විශ්වාසය තබා තිබෙන්නේ මැද පෙරදිග ශ්‍රම වෙළෙඳපොළ කෙරෙහිය. මැද පෙර දිග කෙරෙහි විශ්වාසය තබා ගැනීම බෙහෙවින් අවදානම් බව දැන් මැනවින් පැහැදිලි වී තිබේ. යුරෝපීය ශ්‍රම වෙළෙඳපොළ ට සරිලන ආකාරයට පුහුණු නිපුණ ශ්‍රමිකයන්, වෘත්තිකයන් බිහිකිරීම කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් හෝ වැඩපිළිවෙළක් අපට තිබේද ? පසුගිය කාලයේ අපට දැන ගැනීමට ලැබුණේ යුරෝපීය රටවලට හෙදියන් සේ යාමට සුදුසුකම් ලැබූ සමහර හෙදියන් ඉංග්‍රීසි භාෂා පරීක්ෂණයෙන් අසමත් වූ බවය. එසේම දකුණු කොරියාව, ජපානය සහ මැලේසියාව වැනි රටවල ශ්‍රම වෙළෙඳපොළ කෙරෙහිද අපගේ අවධානය යොමු විය යුතුය. එම රටවල් අපගෙන් බලාපොරොත්තු වනුයේ පුහුණු නිපුණ ශ්‍රමිකයන්ය. එම ඉල්ලුමට සරිලන ආකාරයේ පුහුණු ශ්‍රමිකයන් සැපයීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුය. මේ සියල්ල සේම රට තුළ ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය. එවැනි පියවරකදී පුනර්ජනනීය බල ශක්තිය කෙරෙහි බෙහෙවින් අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය පියවරක් වනු ඇත. බොහෝ විට අපට තෙල් ආනයනය කිරීමට සිදුවනුයේ බලාගාරවලටය. ලොව ඉදිරිගාමී දැක්මක් සහිත රටවල් පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කර තිබේ. එහෙත් අප සිටිනුයේ කොතැනද ? රටේ ජනතාවට අවශ්‍ය ආහාරපාන සහ බෙහෙත් හේත් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රට තුළම නිෂ්පාදනය කර ගැනීම ට ප්‍රමුඛතාව දිය යුතුය. විදෙස් වෙළෙඳපොළ මත යැපෙන ප්‍රමාණය අඩුකර ගන්නා තරමට අපට ගෝලීය වශයෙන් මතුවන අර්බුදවලට සාර්ථකව මුහුණ දිය හැකි වනු ඇත. එසේම අප තවම පය ගසා සිටින්නේ ගරා වැටෙමින් තිබෙන ගෝලීය උතුර සමග විනා ගෝලීය දකුණ සමග නොවන බව ද සඳහන් කළ යුතුය. එහි නරක ප්‍රතිවිපාක විඳීමට සිදුව තිබෙන්නේ මහජනතාවටය. වොෂින්ටන් සහ දිල්ලි ආධිපත්‍යයෙන් ආණ්ඩුව මිදී පුළුල් ප්‍රවේශයකින් ලෝකය සමග කටයුතු කළ යුතුය. දැනට රට පුරා උද්ගත වී තිබෙන ගෑස් හිඟය ඇතුළු ගැටලුවලට හේතුව මෙකී ආධිපත්‍යය බව ජාත්‍යන්තර තතු දන්නෝ සඳහන් කරති.

 

More News..