කොකේන් මත්ද්‍රව්‍ය සමග විදෙස් කතක් අත්අඩංගුවට
18 July 2026
කොකේන් මත්ද්‍රව්‍ය සමග විදෙස් කතක් අත්අඩංගුවට
18 July 2026
රුපියල් මිලියන 10කට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 237ක් ළඟ තබාගෙන සිටි ඇන්ගෝලා ජාතික කාන්තාවක රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් වූ කාන්තාව 54 හැවිරිදි වියේ පසුවන්නියකි. ඇය ඇන්ගෝලාවේ සිට ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවරට පැමිණ, එතැන් සිට කටාර් රාජ්‍යයේ දෝහා හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ගුවන් යානයෙන් බැසීමෙන් අනතුරුව ඇය රෝද පුටුවක ආධාරයෙන් ගුවන්තොටුපොළ පර්යන්තය වෙත ගමන් කර ඇති අතර, එහිදී ඇයගේ හැසිරීම කෙරෙහි රේගු නිලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.
එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය විසින්ම තමන් සන්තකයේ තිබූ කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු කරල් 14ක් ස්වේච්ඡාවෙන්ම රේගු නිලධාරීන් වෙත භාර දී ඇත.
මීට අමතරව, තවත් මත්ද්‍රව්‍ය කරල් කිහිපයක් තමන් විසින් ගිල දමා ඇති බව ද එම කාන්තාව රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් ඉදිරියේ පිළිගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි.

