ඒ කන්ටේනර 323ත් අයිස්ද?
10 September 2026
ඒ කන්ටේනර 323ත් අයිස්ද?
10 September 2026
දැන් රටේ බෙහෙවින් අහන්නට දකින්නට ලැබෙන මාතෘකා අතර අයිස්වලට ප්‍රධාන තැනක් හිමිවෙයි. මෙයට කලකට පෙර බෙහෙවින් කතාබහ වූයේ හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය පිළිබඳවය. එහෙත් මේ වන විට මත්ද්‍රව්‍ය වෙළෙඳපොළ තුළ අයිස් මුලට පැමිණ තිබේ. අයිස් ගැන නිතර දෙවොලේ අහන්නට ලැබෙන කතා නම් අපේ ගත සිත බියෙන් සීතල කරයි. රට සිව්දෙස අයිස්ය. ලොකු කුඩා, ගිහි පැවිදි පිරිස් ද අයිස් වසංගතයට ගොදුරු වී සිටිති. අයිස්වලට ඇබ්බැහි වූ හිමිවරුන් කිහිපදෙනෙකු පිළිබඳ පසුගිය කාලයේ තොරතුරු හෙළි විය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ඇතුළු ආයතන නිතරම වැටලීම් කරයි. එහෙත් අයිස්වලින් හිඟයක් නොමැත. නගරවල පමණක් නොව ඈත ගම් දනව්වලද අයිස් පැතිරී තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරමේ කෙරුම්කාරයන් කිහිප දෙනකුම අත්අඩංගුවට ගනු ලැබුවද අයිස් ව්‍යාප්තියේ අඩුවක් නැත. මේ තරම් අයිස් රට පුරා ව්‍යාප්ත වී තිබෙන්නේ කෙසේද?
ඒ සඳහා බලපා තිබෙන හේතු සාධක මොනවාදැයි විමසීමේදී දැන් කදිම පිළිතුරක් අපට ලැබී තිබේ. ඒ බොහෝ දුරට අයිස් මත්ද්‍රව්‍ය රටට එන්නේ කොළඹ වරායේ කන්ටේනර මගින් බව තහවුරු වී තිබීමය. එය තහවුරු වූයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු කණ්ඩායමක් කළ වැටලීමකින් පසුගිය දිනෙක අයිස් කිලෝ ග්‍රෑම් 475කට ආසන්න ප්‍රමාණයක් සහිත කන්ටේනරයක් කොළඹ වරායෙන් හමුවීමෙනි. පොලිස් විමර්ශන කණ්ඩායම ජාවාරම්කරුවන් සමග කන්ටේනරය අත්අඩංගුවට ගැනීමට සමත් වූහ. හෙළිවී තිබෙන කරුණු අනුව ජාවාරම පිටුපස දෙමටගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් සිටී. එසේම පාකිස්තාන ජාතිකයෝ ද මේ ව්‍යාපාරිකයා සමග ජාවාරමට හවුල් වී සිටිති. පකිස්තාන ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමට ලංකාව තිප්පොළක් කරගත්තේ කාලයක සිටය. දේශපාලනික වශයෙන් බෙහෙවින් අස්ථාවර වී තිබෙන පකිස්ථානය තුළ විවිධ ත්‍රස්තවාදී කණ්ඩායම්, පාතාල කණ්ඩායම්, මත්ද්‍රව්‍ය ජාවාරම් කණ්ඩායම් ක්‍රියාත්මක වෙති. පකිස්ථාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග හවුල් වී මේ රට විනාශ කිරීම සඳහා අයිස් මත්ද්‍රව්‍ය කන්ටේනර පිටින් ගෙන්වනු ලැබූ ව්‍යාපාරිකයා කවරෙක්දැයි රටට හෙළි කළ යුතුය.
එහෙත් එකී ජාවාරම්කරුවන්ට එරෙහිව විමර්ශන පවත්වා ඔවුන් නීතිය හමුවට ගෙන එනවා වෙනුවට විමර්ශන පැවැත්වූ නිලධාරීන්ට එරෙහිව දණ්ඩ අතට ගෙන තිබෙන බව දැනගන්නට ලැබේ. පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා පාර්ලිමේන්තුවේ සඳහන් කළ ආකාරයට විමර්ශන පැවැත්වූ නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සැබැවින්ම ලැජ්ජා සහගතය. ලැජ්ජාවට වඩා එය ඉතා බිහිසුණු පියවරකි. ඒ හේතු දෙකක් නිසාය. ඉන් පළමු වැන්න මෙවැනි ජාවාරම්වලට එරෙහිව කටයුතු කිරීමට නිලධාරීන් තවදුරටත් මැළිවීමය. ඉදිරියේදී අයිස් කන්ටේනර පිටින් කොළඹ වරායට ගොඩබෑවද නිලධාරීන් ඒවා නොදැක්කා සේ කටයුතු කරනු ඇත. අඳ, ගොළු, බිහිරි පිළිවෙත අනුගමනය කරනු ඇත. මුනිවත රකිනු ඇත. එකී නිලධාරීන්ට එරෙහිව විමර්ශන පැවැත්වීමට අනුබල දුන් පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීහු ඊට වගකිවයුත්තෝය. වැටලීම් කළ විමර්ශන පැවැත්වූ නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීම බිහිසුණු පියවරක් වීමට බලපා තිබෙන අනෙක් හේතුව රට වනසන, අනාගත පරපුර විනාශ කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආරක්‍ෂා කරන අදිසි හස්ත ද වගකිවයුතු තැන්වල ක්‍රියාත්මක වන බව කල්පනා කිරීමට කරුණු යෙදීමය. තවත් අයිස් මත්ද්‍රව්‍ය කන්ටේනර් කිහිපයක් ලංකාවට ඒවා තිබෙන බවද දැනගන්නට ලැබේ.
වත්මන් ආණ්ඩුව බලයට පත්වූ විගසම රට කැලඹීමට පත්කළ පුවතක් වූයේ නිසි රේගු පරීක්ෂාවකින් තොරව කන්ටේනර් 323කට ආසන්න ප්‍රමාණයක් වරායෙන් පිටතට යවා තිබෙන බවය. ඒ පිළිබඳ නිලධාරීහුද, මැති ඇමැත්තෝද විවිධ කතා කීවෝය. එකී කන්ටේනර් සිද්ධිය පිළිබඳ විමර්ශන පැවැත්වීමට පාර්ලිමේන්තුව කමිටුවක් පත් කළද එහි වාර්තාව තවමත් එළියට පැමිණ නැත. මේ සියල්ල සැක උපදවන කරුණුය. ආණ්ඩුව සත්භාවය සහ විපක්‍ෂයේ නීති විරෝධී කල්ක්‍රියා ගැන කතා කළද මේවා පිළිබඳ අනුගමනය කරන පිළිවෙත නම් අනුමත කළ නොහැකිය. විපක්ෂය චෝදනා කරන්නේ ආණ්ඩුව මෙහෙයවන්නේ පැලවත්තේ යාන්ත්‍රණයක් මගින් බවයි. එහි ඇත්ත නැත්ත අප දන්නේ නැත.
එහෙත් අයිස් මත්ද්‍රව්‍ය අන්තර්ගත කන්ටේනරය වැටලීමට එරෙහිව නිර්භීතව පියවර ගත් නිලධාරීන් දඩයම් කිරීමට පටන් ගැනීමෙන් පෙනෙන්නේ විපක්ෂ චෝදනාවේ පදනමක් නැතුවා නොවන බවය. අයිස් වැනි රටේ දූ දරුවන් පමණක් නොම තරුණ, මහලු අයද බිළිගෙන තිබෙන වසංගතයක් පිළිබඳ ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේද යන බරපතළ සැකය අපට ඇතිවෙයි. එවැනි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ජාවාරම පිටුපස සිටින්නේ ආණ්ඩු හිතවාදීන් දැයි යන ගැටලුවද එහිලා අපට ඇති වෙයි. එනිසා ආණ්ඩුව නොපමාව මේ අයිස් ජාවාරම පිටුපස තිබෙන ඇත්ත කතාව රටට හෙළි කළ යුතුය. අයිස් පිටුපස දේශපාලනයක් තිබේ නම් ඒ හෙළි කිරීමට විපක්ෂ කණ්ඩායම් පියවර ගත යුතුය. සමහර ආරංචි මාර්ග අනුව අයිස් කන්ටේනරය වැටලීමට පියවර ගත් නිලධාරීන්ට එරෙහිව පියවර ගෙන තිබෙන්නේ අභිරහසක් වූ කන්ටේනර පිළිබඳ කතාවද යළි මතුවන නිසාය.

