අඩුවෙන් කෑවත් බඩ වැඩි නම් මේ ගැනත් බලන්න
24 August 2024 | කු
අඩුවෙන් කෑවත් බඩ වැඩි නම් මේ ගැනත් බලන්න
24 August 2024 | කු
බඩ පිපුම හෙවත් බඩ පුරවා දැමීම කායිකව මෙන්ම මානසිකව අපව අපහසුතාවයට පත්වන රෝගී තත්ත්වයකි. මෙවැනි රෝගී තත්ත්වයට මූලිකවම හේතුව වන්නේ ආමාශය වාතයෙන් පිරී යාමයි. ඇතැම් විට මුඛය හෝ ගුද මාර්ගය හරහා වාතය පිටව ගිය විට එය සාමාන්‍ය තත්ත්වයට පත්විය හැකිය. මේ තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා විවිධ ආයුර්වේද ප්‍රතිකර්ම, නිවසේදීම කළ හැකි අත් බෙහෙත් මෙන්ම අප පිළිපැදිය යුතු පිළිවෙත් ද බොහොමයක් පවතී. නමුත් බඩ පුරවා දැමීමට නිශ්චිත හේතුව මුලින්ම වටහා ගත යුතුය. ඇතැම් විට උදරය තුළ වර්ධනය වන ගෙඩියක් හෝ වෙනයම් හේතුවක් නිසා හෝ උදරය පිපීමක් සිදුවිය හැකිය සිදුවිය හැකිය. මේ නිසා බඩ පිපුමට සැහැල්ලු අත් බෙහෙත් භාවිතයට පෙර වෛද්‍යවරයෙක් මුණ ගැසීම වඩාත් සුදුසුය.
වෙනත් රෝගී තත්ත්වයක් නොමැති නම් සාමාන්‍යයෙන් බඩ පුරවා දැමීම ඇති වන්නේ ආහාර ද්‍රව්‍ය ආමාශය තුළ හෝ කුඩා බඩවැල තුළ හෝ පැසවා විවිධ වායු වර්ග නිෂ්පාදනය කිරීම හේතුවෙනි.
ඊට පහත හේතු බලපෑ හැකිය.
මේද සහ පිෂ්ටය බහුල ආහාර අධික ලෙස ගැනීම.
ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීම.
එක් ආහාර වේලක් ජීර්ණ වීමට පෙර තවත් ආහාරයක් ගැනීමක්.
ජලය අඩුවෙන් පානය කිරීම.
අධික ප්‍රෝටීන අඩංගු ආහාර (මාංශමය ආහාර) අධික ලෙස ගැනීම
ආනමාලු වර්ගයේ කෙසෙල් නිතර ආහාරයට ගැනීම
ආමාශයත් කුඩා බඩවැල්වලත් යාන්ත්‍රික චලනය අඩු කරන හේතූන් තිබීම. එනම්
අධික මානසික ආතතිය හෝ ඇතැම් ඖෂධ වර්ග භාවිතය
ඇතැම් පරපෝෂිත අසාදනවලදී. (පණු රෝග )
අධෝ වාත වේග වැළැක්වීම.
බඩ පිපුමක් ඇතිවීමට පෙර එය වළක්වා ගැනීම වඩාත් සුදුසුය. ඒ සඳහා කළ හැකි පිළිවෙත් කිහිපයක් පහත දැක්වේ.
ප්‍රමාණයට ආහාර ගන්න
ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීමෙන් ආමාශයට දිරවා ගැනීමට අපහසුවීම බඩ පිපුමට ප්‍රධාන හේතුවකි. ආහාර ජීර්ණයේදී ආමාශය තුළදී ආහාර ඒ මේ අත පෙරළෙමින් ආමාශික යුෂ එයට එක්වේ. නමුත් ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීමේ දී මෙම ක්‍රියාවලිය නිසියාකාරව සිදු නොවේ. ජීරණය ඒකාකාරී ලෙස සිදු නොවීමෙන් තැනින් තැන ජීර්ණය වීම නිසා වායු බුබුළු එකතු වී පෙන කැටි සකස්වීමට පටන් ගනියි. මේ හේතුවෙන් ආමාශය පිම්බෙයි. එමගින් උදරය පිම්බී ඉදිරියට නෙරා එයි.
ආහාර හොඳින් මෙන්ම සෙමින් සපා කන්න
ඉක්මනින් ආහාර ගැනීමට යෑමේදී ආහාර සැපීමක් සිදු වන්නේ නැත . එවිට ආමාශයට ආහාර කැබැලි කිරීමට අමතර කාලයක් වැය වේ. එමෙන්ම ආහාර ගැනීමේ වේගය වැඩි වූ විට ඒ හා සරිලන වේගයකින් කේටය ශ්‍රාවය වන්නේ නැත. මේ නිසා ආහාර ගන්නා අතරවාරය තුළදී වැඩි වශයෙන් ජලය පානය කරන්නට සිදුවේ. එමගින් ද ජීර්ණය වීම අඩාළ විය හැකිය. වේගයෙන් ආහාර ගැනීමේදී අපට වායුව වැඩි වශයෙන් ගිලීමක් වෙයි. ඒවා එකතු වී ආමාශය තුළ පෙන සකස් වීමක් වේ. එයින් බඩ පිපීමට හේතුවේ.
බබල්ගම් සහ සෝඩා වර්ග එපා
මේවා ආහාරයට ගැනීම තුළින් වන්නේ අපගේ ආමාශය ආම්ලික බව වැඩිවීමකි. බබල්ගම් හැපීමේදී අප ආහාරයක් ගැනීමට සූදානම් වන බවට සිතා ජීර්ණය කිරීමට අවශ්‍ය අම්ල ශ්‍රාවය කිරීමට මොළය ආමාශයට පණිවිඩ නිකුත් කරයි. එවිට ආහාරයක් නොමැති වුවද ආමාශයේ ආම්ලික බව ඉහළ යයි. මෙවැනි තත්ත්වයකදී ආහාරයක් ගත්විට එය ඉක්මනින් ජීර්ණය වීමට පටන් ගන්නා අතර එමගින් ඉක්මනින් වායු බුබුළු මුදා හරි. බුබුළු පිටවන වේගය ඉතා ඉහළ නිසා ඒ වායුවක් ලෙස පිට නොවී ආමාශයේම පෙන කැටි ලෙස එක් රැස් වී බඩ පිපුම ඇති කරවයි.
තන්තුමය ආහාර ගන්න
අප ගන්නා ආහාරවල තන්තු ආමාශයේදී ජීර්ණයට ලක් නොවේ . මේ නිසා එවැනි ආහාර ගැනීමේදී බඩ පිරී ඇති බවට ඉක්මනින් සංඥා නිකුත් කරයි. ඒ නිසා ආමාශයට අපහසු තරම් ආහාර ගැනීම වැළකී යයි. එමෙන්ම තන්තු මගින් වායු බුබුළු පෙන බවට පත් කිරීමට ඉඩ නොදී වායු ලෙසම පිට කර යැවීමට උදව්වේ. නමුත් සිහිතබාගත යුතු කාරණාව වන්නේ තන්තු සහිත ආහාර විශාල ප්‍රමාණයක් එකවර ආහාරයට ගැනීමෙන් වැළකී සිටීමයි.
මෙවැනි චර්යාවලින් වැළකී සිටියද ඇතැම් අවස්ථාවලදී නොසිතූ පරිදි බඩ පිපුමක් සිදුවූ විට කළ හැකි දෑ තිබේ.
ඉඟුරු යෙදූ තේ කෝප්පයක් පානය කිරීමෙන් බඩ පිපුම නවතා ගත හැකිය.
පෙපර්මින්ට් වර්ගයක් ආහාරයට ගැනීමද සුදුසුය.
ක්ෂණික ප්‍රතිකර්මයක් නොවුණත් යෝගට් එකක් ආහාරයට ගැනීමෙන්ද බඩ පිපුම පාලනය කරගත හැකිය.
ඇතැම් විට දිගු වේලාවක් එක තැන වාඩි වී සිටීම නිසාද බඩ පිපුමක් ඇතිවිය හැකිය. මේ නිසා ඇවිදීම ද හොඳ ප්‍රතිකර්මයකි.
මල පහ සහ අදෝවාතය පිට කිරීම තුළින් ද බඩ පිපුමට සුවයක් ලබාගත හැකිය.
බඩ පිපුමට අත් බෙහෙත්
සුදු ලූණු තම්බා පානය කිරීම.
අරත්ත අල සුදුලූනු තම්බා පානය කිරීම.
වරකට ගම්මිරිස් ඇට අටක් පමණ ගෙන තම්බා පානය
සුදු ලූනු බිකක් තලා නටන වතුර අඬු කෝප්පයකට දමා විනාඩි දහයක් පමණ තිබෙන්නට හැර පෙරා මද රස්නෙන් පානය කිරීම.
කබලේ බදින ලද සූදුරු මිටක් සුදු ලූනු බික් දෙකක් සමග තම්බා පානය කිරීම.
මද උණුසුම් ජලයෙන් පෙඟවූ රෙදි කැබැල්ලකින් උදර ප්‍රදේශය තැවීම.
නාභි ප්‍රදේශයේ මද උණුසුම් එඬරු තෙල් ආලේප කිරීම.
මෙවැනි සුළු ප්‍රතිකර්ම ලබාගත හැකි වුවත් බඩ පිපුම දිගින් දිගටම පවතී නම් වඩාත් සුදුසු වන්නේ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීමයි.
ආයුර්වේද ෙවෙද්‍ය ඒෆ්. ශානියා සහමා