brand logo
logo
ඩෙංගු මරණ ගණන 72ක් දක්වා ඉහළට

ඩෙංගු මරණ ගණන 72ක් දක්වා ඉහළට

26 August 2026

ඩෙංගු රෝගය හේතුවෙන් සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 72 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.


වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 94,292ක් වන අතර ඉන් රෝගීන් 29,962ක් ම වාර්තා වී ඇත්තේ ජූලි මාසයේ ය.


එමෙන්ම අගෝස්තු මාසයේ ගත වූ දින කිහිපය තුළ පමණක් ඩෙංගු රෝගීන් 8,956දෙනෙකු හඳුනාගෙන ඇත.


සමස්ත රෝගීන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් එනම් සියයට 52.92ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 49,901කි.


මීට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 13,779ක්ද, මධ්‍යම පළාතෙන් රෝගීන් 8,551ක් ලෙස ද රෝගීන් වාර්තා වී ඇත.


දිස්ත්‍රික්ක මට්ටමින් සලකා බැලීමේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 20,081කි.


කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,709ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 6,846ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 6,099ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 6,093ක් ලෙස රෝගීන් හඳුනාගෙන තිබේ.


මේ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 76ක් තවදුරටත් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.

 

More News..