brand logo
logo
නෙත්මි අහිංසාට ආසියානු ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම් බලාපොරොත්තුවක්

නෙත්මි අහිංසාට ආසියානු ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම් බලාපොරොත්තුවක්

03 October 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ- ජපානයේ නගෝයා සිට


දැන් ක්‍රියාත්මක ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා කිලෝග්‍රෑම් 57 නිදහස් ආර මල්ලවපොර ඉසව්වේ ලෝකඩ පදක්කම වෙනුවෙන් තරග වැදීමේ තීරණාත්මක අවස්ථාව උදාකර ගැනීමට ශ්‍රී ලංකාවේ නෙත්මි අහිංසා ප්‍රනාන්දු අද (ඔක්තෝබර් 03) සමත් වූවාය.


ඒ් අනුව ආසියානු ක්‍රීඩා උළෙලේ ද්වන්ධ සටන් තරග අංශයකින් ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කම් තරගයකට සුදුසුකම් ලැබූ ඉතිහාසයේ පළමු අවස්ථාව ලෙසින් මෙය සනිටුහන් වනු ඇත.


අදාළ තරග අංශයෙන් 16 දෙනාගේ මූලික වටයේදී නෙත්මිව පරාජයට පත්කළ චීනයේ ප්‍රබල ක්‍රීඩිකා හොං කෙක්සින් රන් පදක්කම සඳහා වන තරගයට සුදුසුකම් ලැබීමත් සමඟ, ජාත්‍යන්තර මල්ලවපොර නීතිරීතිවලට අනුව නෙත්මිට, නැවත දක්ෂතාවය උරගා බැලෙන 'රෙපෙචාජ්' වටයේ තරග කිරීමට අවස්ථාව හිමිවිය.


අදාළ රෙපෙචාජ් තරගයේදී චීන තායිපේ එමා ටිසිනා හමුවේ විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළ නෙත්මි, මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම සඳහා පැවැත්වෙන තරග දෙක අතුරින් පළමු තරගය සඳහා සිය ස්ථානය තහවුරු කරගත්තාය.


ඒ අනුව අද පස්වරුවේ පැවැත්වෙන ලෝකඩ පදක්කම උදෙසා වන තරගයේදී නෙත්මි අහිංසා, මොන්ගෝලියාවේ ප්‍රබල ක්‍රීඩිකා ට්සේරෙන්චිමෙඩ් සුඛී සමගින් අද ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 4.10ට තරග වැදීමට නියමිතය.

 

More News..