Best News Website award
brand logo
logo
අනුරාධපුර පූජාභූමි සංවර්ධන වැඩසටහන ගැන වැඩබලන අටමස්ථානාධිපති හිමිගෙන් ඉල්ලීමක්

අනුරාධපුර පූජාභූමි සංවර්ධන වැඩසටහන ගැන වැඩබලන අටමස්ථානාධිපති හිමිගෙන් ඉල්ලීමක්

16 November 2026


යෝජිත අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් නොකර ඒ සඳහා අවශ්‍ය උපකාර සිදුකරන ලෙස වැඩබලන අටමස්ථානාධිපති, රුවන්වැලි චෛත්‍යරාමාධිකාරි පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක හිමියන් ඉල්ලීමක් කර තිබේ.


උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අද (16) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.


අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් පත්කෙරුණු ජනාධිපති උපදේශක සභාවේ රැස්වීමක් බුද්ධ ශාසන අමාත්‍යාංශයේදී අද (16) පෙරවරුවේ පැවැත්විණි.


ඒ, එහි සම සභාපතිවරු වන වැඩබලන අටමස්ථානාධිපති, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක හිමියන් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙනි.


එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ සඳහන් කළේ යෝජිත සංවර්ධන සැලැස්ම පිළිබඳ ඇතැම් කරුණු සම්බන්ධයෙන් ජනතාව නිසි පරිදි දැනුවත් කිරීමට නොහැකි වීම ගැන කනගාටුව පත්වන බවය. 


එමෙන්ම පූජාභූමිය වටා ඉදිකිරීමට යෝජනා වී තිබූ වැට සම්බන්ධයෙන් ද ජනතාව තුළ වැරදි අවබෝධයක් ඇති වී තිබූ බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.


උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කර සිටියේ පූජා නගරය තුළ පදිංචි ජනතාව ඉවත් කිරීමේ කිසිදු අදහසක් හෝ සංකල්පයක් නොමැති බවය.


එහිදී අදහස් දැක්වූ වැඩබලන අටමස්ථානාධිපති, රුවන්වැලි චෛත්‍යරාමාධිකාරි පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක හිමියන්,


“ජන විඥානය තේරුම් අරගෙන යමක් සමාජගත කරන්නට බැරි වීම ගැන ඇත්තටම කනගාටු වෙනවා. අපට මේකේ තිබුණු යම් යම් කරුණු කාරණා පිළිබඳව මුලදීම ජනතාව දැනුවත් කරන්න බැරි වුණා. උදාහරණයක් විදිහට මේ වැට සම්බන්ධයෙන් කතාබහක් ඇති වුණා. මීට දශක එකහමාරකට පමණ පෙරත් මෙහි වැටක් ඉදිකර තිබුණා. එම වැටේ ඉතිරි කොටස සංරක්ෂණය කරමින් නැවත නිර්මාණය කිරීමේ ඉල්ලීමක් අපවත් වී වදාළ නායක ස්වාමීන් වහන්සේගෙන් ඉදිරිපත් වී තිබුණා. මේ වැට ඉදිකිරීමට යෝජනා කළේ වෙනත් අරමුණක් වෙනුවෙන් නෙමෙයි. ගවයන් ඇතුළුවීම, මල් සහ කුරුම්බා දැමීම, පුරාවිද්‍යා ස්මාරක මත වාහන නැවැත්වීම සහ අනවසර ඉදිකිරීම් වැනි කටයුතු නිසා මෙම ස්මාරක විනාශයට පත්වන නිසයි වැටක් ඉදිකිරීමට යෝජනා කර තිබුණේ. ඇත්තටම එම වැට ඉදිකිරීමට නියමිතව තිබුණේ පූජාභූමියට බොහෝ ඈතින්. කෙසේ වෙතත්, දැන් මේ වැට සම්බන්ධයෙන් අපේ අදහසක් නැහැ. ඒක අතහැරලා ඉවරයි.


පූජා නගරය තුළ පදිංචිව සිටින ජනතාව ඉවත් කරනවා කියලා කතාවක් තිබෙනවා. නමුත් එවැනි අදහසක්වත්, සංකල්පයක්වත් නැහැ. වර්ග කිලෝමීටර් 28ක්ව තිබූ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 38ක් වුණේ ඇයි කියලා ජනතාවට විශාල ප්‍රශ්නයක් ඇති වුණා. ඇත්තටම ලක්ෂයක ජනතාවක් පැමිණෙනවා නම් කාර් 25,000ක්, වෑන් රථ 10,000ක් හෝ බස් රථ 5,000ක් පැමිණිය යුතුයි. එලෙස විශාල පිරිසක් පැමිණි පසු ඔවුන් නිසි පරිදි කළමනාකරණය කරගැනීමත් ඉතාම අපහසු කාර්යයක්. උදාහරණයක් විදිහට පොසොන් උත්සවයට සාමාන්‍යයෙන් ලක්ෂ 13කට ආසන්න ජනතාවක් සහභාගි වෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා.


රජවරු එකසිය හතර දෙනෙක් මේ නගරය ආරක්ෂා කරා.. ඒ නිසා අනාගතයටත් එහෙම වෙනවා. කවදාවත් අයහපත් චේතනාවක් මේ සම්බන්ධව තියාගන්න නම් එපා. මොකද හේතුව, මේකේ තියෙන වැලි ඇටයක්, ගල් ඇටයක් ගානේ බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලාගේ ස්පර්ශය ලබපු ශුද්ධ භූමියක්. මේ භූමිය රකින්න, ආරක්ෂා කරන්න, මේ බෞද්ධයෝ විතරක් නෙමෙයි, අබෞද්ධයෝ පවා කැපවෙලා තියෙනවා. ඒ නිසා, අපි හැම කෙනෙකුගේම යුතුකම, වගකීම තියෙන්නේ, මේවා රැකගන්න.. ආරක්ෂා කරගන්න.. මේවා ප්‍රතික්ෂේප කරලා, මේවා කඩාකප්පල් කරන්න එපා.මේවාට උදව් කරන්න, ඔබතුමාලගේ අදහස් දෙන්න.''

 

More News..