brand logo
logo
 අධිකරණයට ඉදිරිපත් කළ පද්මේගෙන් කරුණු රැසක් හෙළිවෙයි

අධිකරණයට ඉදිරිපත් කළ පද්මේගෙන් කරුණු රැසක් හෙළිවෙයි

25 August 2026


ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන ඒමෙන් පසු මෙතෙක් රැඳවුම් භාරයේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ සහ කුඩු නිලංග නමැති සැකකරුවන් පළමුවරට අද (25) අධිකරණයට ඉදිරිපත් කෙරුණි.


එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කළේ, කෙහෙල්බද්දර පද්මේ බන්ධනාගාර නිලධාරීන් 13 දෙනෙකු සමඟ සමීප සබඳතා පවත්වා ඇතැයි දුරකථන වාර්තාවලින් හෙළිවූ අතර දේශපාලනඥයින් 09 දෙනෙකු පිළිබඳ ඡායාරූප හා සංවාද ද සොයාගත් බවය.


ගණේමුල්ල සංජීව ඝාතනය ඇතුළු මනුෂ්‍ය ඝාතන රැසකට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත ඇතුළු 05 දෙනෙකු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පසුගිය වසරේ අගෝස්තු 30 වැනිදා මෙරටට රැගෙන එනු ලැබීය.


අනතුරුව රැඳවුම් නියෝග මත සිටි කෙහෙල්බද්දර පද්මේ සහ කුඩු නිලංග යන සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට පෙර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කෙරුණි.


පසුව, කෙහෙල්බද්දර පද්මේ සහ කුඩු නිලංග කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ අද පස්වරුවේය.  


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැඩි ආරක්ෂක විධිවිධාන මැද රැගෙන එනු ලැබූ සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කෙරිණි.


එහිදී සැකකාර කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙලෙස පැවසීය


"ස්වාමීනි... මෙම සැකකරු භාරයේ තිබී ජංගම දුරකථන 08ක් සොයාගත්තා. ඒවායේ දත්ත මකා තිබුණා. පසුව එම දත්ත ප්‍රතිඋත්පාදනය කරගත්තා. එම ජංගම දුරකථනවල තිබී දුරකථන ඇමතුම් 8,841ක් පිළිබඳ තොරතුරු අනාවරණ වුණා. ඡායාරූප 326,671ක් අනාවරණය කරගත්තා. දුරකථන පටිගත කිරීම් 1,101ක් සොයාගත්තා. වීඩියෝ දර්ශන 5,039ක් හමුවී තිබෙනවා." යනුවෙන් සඳහන් කළේය.


වැඩිදුරටත් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්.


"ස්වාමීනි... එම ජංගම දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේදී ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20ක් පිළිබඳ තොරතුරු අනාවරණ වුණා. ඒ පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දැනුවත් කළා. ඔහුගේ දුරකථනවල තිබී බන්ධනාගාර නිලධාරීන් 13 දෙනෙකු සමග සමීප සබඳතා පවත්වා ඇති බවට අනාවරණ වුණා. ඒ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දැනුවත් කළා. නිළියන් සහ නිරූපන ශිල්පිනියන් 07 දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණ වුණා. දේශපාලකයින් 09 දෙනෙකු පිළිබඳ ඡායාරූප සහ දුරකථන සංවාද හමුවී තිබෙනවා. ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනවා" යනුවෙන් සඳහන් කළේය.  


"මෙම සැකකරුගේ ජංගම දුරකථනයේ තිබී සොයාගත් ඡායාරූප අතර විවිධ අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින්ගේ විදේශ ගමන් බලපත්‍ර 19ක ඡායාරූප හමුවී තිබෙනවා. ඊට අමතරව බැංකු ගිණුම් 17ක් ගැන විමර්ශන කරනවා. මෙම සැකකරු 2021 මැයි 21 සිට නීත්‍යානුකූල විදේශ ගමන් බලපත්‍රයෙන් විදේශගතවී තිබෙනවා. ඔහු ඩුබායි, ජපානය, ඉන්දුනීසියාව, රුසියාව, සිංගප්පූරුව, මැලේසියාව, ලාඕසය ඇතුළු රටවල් 13කට අවස්ථා 15කදී පමණ ගොස් තිබෙනවා. සැකකරු සතුව ගිනිඅවි 21ක් තිබී ඇති අතර ඉන් 19ක් විවිධ අවස්ථාවලදී වෙනත් විමර්ශන කණ්ඩායම් මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා."


ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින බව විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේය.


මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරළ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, වැලිසර බන්ධනාගාරය තුළ මෙම සැකකරුගේ විරුද්ධවාදීන් සිටින බැවින් මෙම සැකකරු වැලිසර හැර වෙනත් ඕනෑම බන්ධනාගාරයක රඳවා තැබීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.


පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සැකකරුගෙන් විමසා සිටියේ අසනීප තත්ත්වයන් තිබෙනවාද යන්නයි.


ඊට පිළිතුරු ලබාදෙමින් කෙහෙල්බද්දර පද්මේ මෙලෙස සඳහන් කළේය.


"ස්වාමීනී මගේ අක්මාවේ අසනීප තත්ත්වයක් තිබෙනවා. මේදය ඇවිත් සමේ තැම්පත් වෙනවා. පිටරට ඉන්න කොටනම් මම බෙහෙත් ගත්තා. මෙහෙදිනම් බෙහෙත් ගත්තේ නැහැ" ලෙසය.


පසුව කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ , මොහු ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේ 18 වැනි සැකකරු හෙවත් ප්‍රධාන සැකකරු බවය.


විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකරුට සන්නිවේදන උපකරණ ලැබුණහොත් විමර්ශනවලට බාධා එල්ලවිය හැකි බැවින් ඔහුව වැලිසර බන්ධනාගාරයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින බවය.


ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.


එහිදී සැකකරු වඩාත් ආරක්ෂිත සුදුසු බන්ධනාගාරයක රඳවා තැබීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.


මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු ලබන 04 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින වෙනත් නඩු කටයුත්තක් සඳහා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කෙරිණි.


එමෙන්ම ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන විමර්ශන සිදු කළ නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුර නිලංග නමැත්තා ද අද අධිකරණයට ඉදිරිපත් කරනු අතර, ඔහුවද ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියම කළේය.

 

More News..