ජාන වෙනස් කළ සහල් දොරකඩටම ඇවිත්
07 November 2026 | සනත් එම්. බණ්ඩාර
ජාන වෙනස් කළ සහල් දොරකඩටම ඇවිත්
07 November 2026 | සනත් එම්. බණ්ඩාර
මුහුණුපොතට පසුගිය දිනෙක රිංගාගත් පෝස්ටුවක් සහල් පර්යේෂකයන් අතර මෙන්ම, විද්‍යාත්මක නව සොයාගැනීම් ගැන උනන්දුවක් දක්වන උදවියගේ ජංගම දුරකථන හරහා ‘ෂෙයා’ වූයේ බට කැලයට ගිනිගත්තා වැනි වේගයෙනි. පිලිපීනයේ පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය මගින් නිපදවූ ‘ජාන වෙනස් කළ සහල්’ ප්‍රභේදයක් වාණිජව වගාකිරීමට, ශාක කර්මාන්ත පිළිබඳ පිලිපීන කාර්යාංශය අවසර ලබාදී ඇත යන්න එම පුවතයි. HIZ039 ලෙස නම් තබා තිබූ මෙම ප්‍රභේදය යකඩ සහ සින්ක් යන පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් බලගන්වා නිර්මාණය කරන ලද්දකි.
මෙරට ජනප්‍රිය කිරිපිටි වර්ගයන්ට යකඩ, කැල්සියම් යනාදිය පිටතින් එකතුකරමින් බලගන්වනවා මෙන් නොව, සහල් ඇටයට මේවා එකතුකරන්නේ ගොයම් ශාකය මගින්ම පසෙන් උරාගන්නට සැලැස්වීමෙනි. එය කළහැකි ජානයක් කොතැනකින් හෝ සොයාගෙන ගොයමේ ජාන සිතියමට අමුණන්නේ විද්‍යාඥයන් විසිනි. එතැන් සිට එම ප්‍රභේදය වැඩේ දිගටම කරගෙන යෑමේ හැකියාව ලබන අතර රටේ ජනතාවගේ ක්ෂුද්‍ර පෝෂක ඌනතාවය මගහැරවීම අතින් බැලූකළ මෙය වැදගත් පියවරකි.
ඌරු මස් කැබැල්ලක් කටේ ගාගන්නේ නැතිව කෑම වේලකට වාඩිවෙන්නට බොහොමයක් පිලිපීනුවන් ‘අදිමදි කෙරුවත්’, ඔවුන්ගේ ප්‍රධාන පෝෂණ ප්රභවය වන්නේ ද බත් අනුභවය බව වසර තුනක් පමණ එරට වාසයකර ඇති අපට රහසක් නොවේ. ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අලුත්ම දත්තවලට අනුව වසරක ඒකපුද්ගල සහල් පරිභෝජනය වශයෙන් කිලෝග්‍රෑම් දෙසීයක් සටහන් කරගනිමින් ඔවුන් සිටින්නේ ලෝක ලැයිස්තුවේ අටවෙනියා හැටියටය. කිලෝ 193ක බත් කන ලාංකිකයා රැඳී ඇත්තේ ද ඔවුනට පියවරක් පිටුපසින් නමවෙනියා වශයෙනි. එබැවින් අපට වඩා සත්ත්ව මාංශ කෑවත්, බතට ඇති ලැදියාව නිසාම පිලිපීනුවන්ගේම යහපතට එහි පිහිටි ජාත්‍යන්තර සංවිධානය ජාන වෙනස් කළ සහල් හැදුවා වන්නටත් පුළුවන.
ගොයම් ගස තුළට ඇතුල්කරවීම සඳහා පසේ සිට සින්ක් සහ යකඩ පදාර්ථ අවශෝෂණය ‘උසිගන්වන’ ජානයක් ඔවුන් තෝරාගෙන ඇත්තේ ‘මාලුස් බැකාටා’ (Malus baccata) නමැති ආසියානු ‘වල් ඇපල්’ ශාකයෙනි. පාසල් දරුවන්, ගර්භිණී කාන්තාවන් සහ කිරිදෙන මවුවරුන් වැනි අයගේ දෛනික යකඩ සහ සින්ක් අවශ්‍යතාවයෙන් 30% - 50% අතර ප්‍රමාණයක් සහල් හරහා ලබාදිය හැකි බැවින් සහල් විද්‍යාඥයන් මෙවර අල්ලා ඇත්තේ නම් ලොකු අඩව්වක් බව පෙනේ. කෙසේවෙතත් ගොවියා වෙතට යෑමට පෙරාතුව ජාන වෙනස්කළ මෙම පිලිපීන සහල් ප්‍රභේදයට ලියාපදිංචිය, බීජ ගුණනය හා සහතික කිරීම යන පියවර නිල මට්ටමින් පසුකළ යුතුව ඇත.
මෙවැනි අලුත් නිපැයුමක තොරතුරු අසද්දී අපගේ මතකයට එන්නේ, මෙරට සහල් විද්‍යාඥයන් නිපදවූ අලුත් වී ප්රභේදයන්ට ජාන වෙනස් කළ ඒවායයි හංවඩු ගසන්නට වසර කීපයකට පෙර ‘උගතුන්’ පිරිසක් දැරූ උත්සාහයයි. ශාකවල සිදුවෙන ලිංගික ප්‍රජනන ක්රියාවලියවත් හරියට නොදන්නා ඔවුන්, මවුපියන් නිශ්චිතව තෝරාගෙන ඒ අතර සිදුකෙරෙන අන්තරාභිජනනයෙන් බිහිවෙන දරුපැටවුන් හැඳින්වූයේ ‘ජාන වෙනස්කළ’ පරපුරක් හැටියටයි. හයහතර නොදැන අගමුල පටලවාගත් ඇතැම් රූපවාහිනී ආයතනත් මේ පිරිස මැදිරිවලට කැඳවා, අසත්‍යය වැපිරීම උදෙසා වේදිකා තනාදුන්හ. කරුණු කාරණා දන්නා උදවිය පවා මුනිවත රැක්කේ බයට ද, නෝංජල්කමට දැයි අප දන්නේ නැත.
ඒ වනවිටත් වෙනත් ‘ජාතියක’ ජීවියෙක්ගෙන් ලබාගත් ජානයක් බලෙන් ඔබ්බවා නිර්මාණය කරන ලද ජාන වෙනස්කළ තක්කාලි, බඩඉරිඟු, සෝයාබෝංචි වැනිදෑ ලෝකයේ වගාකරමින් තිබුණ ද, ඒදෙස බලා හෝ මෙම සිදුවීම ගැන යමක් ඉගෙනගන්නට අපේ ‘උගතුන්ට’ බුද්ධිය පහල නොවිණි. ජාන ඉංජිනේරු විද්‍යාව නමැති සුවිශේෂී හැදෑරීම ලොව බිහිවීමට පෙරාතුව පවා, ගොයමේ ගතිගුණ වෙනස්කිරීමේ උවමනාව නම්, හතළිහේ දශකයට කලින් මෙරට පාලනය කළ බ්‍රිතාන්‍යයන්ට පවා තිබුණු හදිස්සියක් බව ද පිළිගත යුතුය. ඒ කිසිවක් නිසා නොව රට්ටුන්ට කන්නට ප්‍රමාණවත් සහල් තොගයක් රට තුළ නිපදවන්නට එකල වගාකළ ගොයම් ප්‍රභේද අසමත් වූ බැවිනි.
සුද්දන් ප්‍රධාන ආහාරය හැටියට වැඩිපුර කෑවේ අර්තාපල් සහ පාන් වැනි ආහාරයක් වුවත්, ලාංකික වී ගොවියා ලබන දුර්වල වී අස්වැන්න සම්බන්ධයෙන් ඔවුන් සිටියේ කනස්සල්ලෙන්ය. ඵලදාව අක්කරයකට බුසල් පහළොවක් වැනි සොච්චමක තිබීමත්, ඔවුන් වගාකළ වී ප්‍රභේද උසින් වැඩි, ඒ නිසාම ඉක්මනින් ඇදවැටෙන, රෝගාබාධයන්ට පහසුවෙන් ගොදුරුවෙන ඒවා නිසාත් ඔවුනට උවමනා වූයේද ‘හොඳ එකක්’ මෙරටදීම හදාගන්නටය. ඒ හරහා රටින් ගෙනෙනා සහල් ප්‍රමාණය අඩුකරගන්නටය. දේශීය සහල් ජාති කෙතරම් තිබුණා ද කියනවානම්, 1902දී නුගවෙල දිසාව විසින් මහනුවර පැවති කෘෂි-උද්‍යාන භෝග සහ කර්මාන්ත ප්‍රදර්ශනයක දී එකල මෙරට වගාකරන ලද, අද දවසේ සම්ප්‍රදායික වී වශයෙන් හඳුන්වන වී ප්‍රභේද 300ක් ප්‍රදර්ශනයට තබා තිබේ.
“ට්‍රොපිකල් ඇග්රිකල්චරිස්ට්” (Tropical Agriculturist) නමින් අදටත් ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත්වෙන පැරැණි කෘෂිකර්ම සඟරාවට 1924දී මේ බව ලියා තිබෙන්නේ මොලගොඩ නමැති නිලධාරියෙක් විසිනි. සම්ප්‍රදායික වී සම්බන්ධයෙන් අපට තිබෙන පැරැණිතම වාර්තාව ද මෙයයි. රටේ ජනගහනයෙන් තුනෙන් දෙකකට උවමනා සහල් ප්‍රමාණය පිටරටවලින් රැගෙන එන්නට 1940 සමයේ දී රජයට සිදුවූ බව ‘ට්‍රොපිකල් ඇග්රිකල්චරිස්ට්’ වෙළුම් අංක 3, (1945 ජූලි - සැප්තැම්බර්) හි පළකර තිබීම, එකල වූ සහල් අහේනිය කියාපෑමට හොඳ උදාහරණයකි.
වී ප්‍රභේද වැඩි දියුණුකිරීම උදෙසා නුමුහුම් පෙළපත් තේරීම 1920 පමණ සිට පටන්ගෙන තිබේ. 1943 වනවිට නුමුහුම් වී මාදිලි 21ක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලැයිස්තු ගතකර, බිත්තර වී නිපදවීම සඳහා නිකුත්කර ඇති බව 1948 අප්‍රේල් මස 15 වැනිදා කෘෂිකර්ම අධ්යක්ෂ ඩී. රින්ඩ් නිකුත්කර ඇති අංක 156 දරණ දෙපාර්තමේන්තු චක්‍රලේඛයේ ද සඳහන්ව ඇත. පසුකාලීනව තමාගේ මහඉලුප්පල්ලම සේවය නිමාකරමින්, බතලගොඩ දී වී වගාව සඳහා පර්යේෂණායතනයක් ද පිහිටුවාගෙන වැඩට බැස්ස ආචාර්ය හෙක්ටර් වීරරත්න විසින් නිපදවූ එච් - 4 නමැති වී ප්‍රභේදය හරහා වැඩිදියුණු කළ සහල් වංශකතාවේ මෙරට ආරම්භය සනිටුහන් විය. එතැන් සිට මේ දක්වා බිහිකළ වී ප්‍රභේද ගණන සියයකට වැඩිය. ඒ කිසිවක් ජාන වෙනස්කළ ඒවා නොව, ගොයම සතු ජාන එය තුළම කලවම්කිරීමෙන් ලබාගත් ‘හොඳ’ ප්‍රභේදයන්ය. අක්කරයකට බුසල් සියයකට එහා යන සාමාන්‍ය අස්වැන්නක් දෙමින්, ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත දේශයක් දක්වා රැගෙන යනු ලැබුවේ මෙම දේශීය වැඩිදියුණු කළ වී ප්‍රභේද විසිනි.
වී වගාවටත් ජාන වෙනස් කළ කතාව ඇත්තටම ඈඳුන අවස්ථා ද පසුව උදාවිණි. මෙහි පළමු පියවර තැබුවේ 1999දී යුරෝපීය විද්‍යාගාරයක් තුළයි. කහපාට මල් වර්ගයක සහ පාංශු බැක්ටීරියාවක් තුළ වූ ජාන ගොයම් ශාකය තුළට බලහත්කාරයෙන් ඇතුල් කරවීමෙන් සහල් ඇටය තුළ බීටා කැරොටීන් නම් වර්ණකය නිපදවීම උත්තේජනය කිරීමට පර්යේෂකයන් සමත්වූ අතර කහ පාටින් දිලිසෙන ඒවා හැඳින්වූයේ ‘රන් සහල්’ (Golden Rice) වශයෙන්ය. මෙම වර්ණකය විටමින් ඒ නිෂ්පාදන ක්‍රියාවලියේ පූර්වගයෙක් නිසා සහලේ අන්තර්ගත විටමින් ඒ ප්‍රතිශතය ද මේ නිසාම වැඩිවිණි. විසි ගුණයකින් පමණ වැඩිවී බත්පතට එකතු වූ විටමින් ඒ තොගය ලෝකයට පෙන්වමින් රන් සහලේ හිමිකරුවන් ජයඝෝෂා නගද්දී ඇමරිකාව, කැනඩාව ආදී රටවල් පවසනු ලැබුවේ සාමාන්‍ය සහල් මෙන්ම මෙය ආරක්ෂිත ආහාරයක් බවයි. පිලිපීන රජය පවා 2021 වසරේ දී වාණිජ වශයෙන් රන් සහල් ප්‍රචාරණය අනුමත කළේය. එහෙත් මීට දෙවසරකට පෙර 2024 අප්‍රේල් මාසයේ දී ජාන වෙනස් කළ භෝග විරෝධීන් ගොනුකළ පෙත්සම් කීපයක් සලකා බැලූ පිලිපීන අභියාචනාධිකරණය රන් සහල් ප්‍රචාරණ බලපත්‍රයට නැවතීමේ තිත තබා තිබේ.
මීට වඩා සාධාරණ ක්‍රමයකට ජාන වෙනස් කළ සහල් නිපදවන්නට ඉන්දියාව ද කටයුතුකර ඇත්තේය. 2025 මැයි මාසයේ දී ඔවුන් නිදහස්කරනු ලැබූ සහල් ප්‍රභේද දෙකක් ජාන වෙනස් කළ ඒවා වුවත්, පිටස්තර ජානයක ඇතුල් කිරීමක් එහිදී සිදුනොවූ බව පැවැසේ. හයිද්‍රාබාද්හි පිහිටි ඉන්දීය සහල් පර්යේෂණායතනය මගින් නිපදවූ එක ප්‍රභේදයක් වන්නේ DRR Dhan 100 (කමලා) ය. මෙය සාදා ඇත්තේ බාහිර බලපෑමක් කරමින් ගොයම සතු ආවේනික ජාන සැලැස්ම වෙනස් කිරීමෙනි. නව වී ප්‍රභේද 30.4% අමතර අස්වැන්නක් ලබාදෙනවාට අමතරව වී වගාවේ ප්‍රධාන ප්‍රශ්නයක් සේ සැලකෙන, පරිසරයට මීතේන් මුදාහැරීමද 20% කින් පමණ අඩුවෙන බවත් වාර්තාකර තිබේ. පාංශු ලවණතාවය, වියළි පරිසරය යනාදිය දරාගැනීමේ අතිරේක ජවයක් තිබීමත් ජාන සැලැස්ම වෙනස් වූ ජනිතයන්ගේ කැපීපෙනෙන ලක්ෂණ වන්නේය.
නවදිල්ලියේ ඉන්දීය කෘෂිකර්ම පර්යේෂණායතනය මගින් නිපදවූ මෙවැනිම වී ප්‍රභේදයක් වන ‘පූසා DST Rice 1 ප්‍රභේදය 30.4% අමතර අස්වැන්න ලබාදෙන්නේ ලවණතාව වැඩි සහ ක්ෂාරීය පාංශු තත්ත්ව යටතේ වීමද විශේෂය. ලෝකයේම කුඹුරුවලට කරදරකාරී ‘වල් වී’ වලිනුත් යමක් තෝරාගන්නට පිලිපීන සහල් විද්වතුන් සමත් වූ බව අලුත්ම වාර්තා හැටියට පසුගිය සතියේ දී වාර්තා විණි. විසායාස් ප්‍රාන්තයේ වැවෙන වල් වී දර්ශයක්, ගොයමේ බැක්ටීරියා කොළ අංගමාරය සහ කොළපාළුව යන රෝගකාරක මර්දනය කිරීමට සමත් ජාන දරන බව එම ආරංචියයි. උවමනාවක් ඇත්නම් ස්වභාවික රෝග ප්‍රතිරෝධීතාවය ලබාගැනීම වෙනුවෙන් ඒවාත් අමුණාගත හැකිය.
කෙසේවෙතත් මෙරට තුළ තවමත් ජාන වෙනස් කළ භෝග වගාකිරීම හෝ ඒවා ඇසුරෙන් සෑදූ ආහාර භාවිතය තහනම්ය. ලෝකයේ තවත් රටවල් ගණනාවක් ද මෙම ස්ථාවරයේම රැඳී සිටී. මන්දයත් වෙළෙඳ ලාභය තකා කිසියම් ජානයක් වෙනස් කළද, ශාකයේ ජාන සිතියමට සිදුවන අකරතැබ්බය හේතුවෙන් සෞඛ්‍යයට අහිතකර යමක් කාටත් හොරෙන් ශාකය තුළ නිපදවේ දැයි නිශ්චිතව කිවනොහැකි බැවිනි. ආජන්ටිනාව, බ්‍රසීලය, ඇමරිකාව ආදී රටවල් නම් ජාන වෙනස් කර නිපද වූ සෝයාබෝංචි සහ බඩඉරිඟු යනාදිය වගාකරති. ග්ලයිෆොසෙට් වල්නාශකයට ප්‍රතිරෝධී වන පරිද්දෙන් ඒවා සාදා ඇති නිසා ගොවීනට ගොවිතැන පහසුය. භෝගය තෙමෙන්නට ග්ලයිෆොසෙට් ගැසුවත් වල්පැළ මැරෙනවා මිස භෝගයට හානිනොවේ.
එබැවින් ගොවීහු දෙපාරක් නොසිතා වගාවේ වල් පාලනයට ග්ලයිෆොසෙට් යොදාගනිති. නමුත් නිපදවන ආහාරයේ කෙතරම් ප්‍රමාණයක් ග්ලයිෆොසෙට් අවශේෂ ඉතිරිව තිබේදැයි යන්න නිරන්තර පරීක්ෂාවට යොමුකිරීමේ නොහැකියාව නිසාම සමහර රටවල් තවමත් සිටින්නේ තම වෙළෙඳපොළ ඒවා සඳහා වසාගෙනය. අප සිටින්නේ ද එම කණ්ඩායමේම වුවත්, ආනයන තොග ලේබලයේ ලියා ඇති ‘ජාන වෙනස්කළ ද්‍රව්‍ය අඩංගු නොවේ’ යන ප්‍රකාශය මත රසායනාගාරයක දී නොබලා බොහොමයක් තැන්වලින් නිදහස ලැබීම නම් ටිකක් සැහැල්ලු වැඩියි වාගේය. ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ කියා අන්තිමට හූල්ලන්නට වුණොත් වන්දි ගෙවන්නට වන්නේ ඒවා අනුභවකර හැදීවැඩුණු අනාගත දරුවන්ට බව අමතක කළයුතු නොවේ.

