අපට කෑම අහේනියක් නැතත් කන විදිහේ හානියක් තියෙනවා
21 July 2026 | සටහන - ශ්‍රියානි විජේසිංහ
අපට කෑම අහේනියක් නැතත් කන විදිහේ හානියක් තියෙනවා
21 July 2026 | සටහන - ශ්‍රියානි විජේසිංහ
මේ වන විට අපේ රටේ ජනතාවගෙන් බහුතරයක් විවිධාකාරයේ බෝවන සහ බෝනොවන රෝගවලින් පීඩා විඳිමින් සිටින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එමෙන්ම පුද්ගලයන්ගේ ආයු කාලය කොපමණ දීර්ඝ වුවත් එම පුද්ගලයන්ගෙන් බොහෝ දෙනෙක් යම් රෝගයකට හෝ රෝග කිහිපයකට ගොදුරු වී ඇති බව ද කියැවෙයි. වැදගත් වන්නේ වැඩි කාලයක් ජීවත් වීම යැයි ඇතැමුන් පැවැසුවද වඩාත් වැදගත් වන්නේ නිරෝගීව වැඩි කාලයක් ජීවත්ව සිටීම බව වෛද්‍යවරුන්ගේ අදහසයි. බුදු දහම පවා නිරෝගිකම පරම ලාභය ලෙස පෙන්වා දී ඇත්තේ එබැවිනි. නිරෝගීකම ආරක්ෂා කරගනිමින් වැඩි කාලයක් ජීවත් වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ පෝෂණ අංශයේ අංශාධිපති, විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර සමග "අරුණ" කළ සාකච්ඡාවකි මේ.
මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙක් බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ අවදානමක් පවතින බව කියැවෙනවා. මොනතරම් දැනුම්වත් කළත්, කෙතරම් ඖෂධ ප්‍රතිකාර දුන්නත් බෝ නොවන රෝගවල අඩුවක් පෙන්නුම් කරන්නේ නැහැ කියලා සෞඛ්‍ය අංශ පවා කියනවා. මොකක්ද එහෙම වෙන්න හේතුව?
අපේ ශරීරයේ පරිවෘත්තීය නම්‍යතාවය නමින් හඳුන්වන ජීව විද්‍යාත්මක සංසිද්ධියක් තියෙනවා. අප ගන්නා ආහාරවල පවතින සීනි, තෙල් හා ප්‍රෝටීන අපේ ශරීරය තුළ ශක්තිය ලෙස ගබඩා කර තැබීමයි එහිදී වෙන්නේ. අපට අවශ්‍ය වෙලාවට ශක්තිය ගැනීමට ගබඩා කර ඇති මෙම ප්‍රභවයන් මාරුවෙන් මාරුවට භාවිත කරනවා.
මේ ක්‍රියාවලිය හඳුන්වන්නේ පරිවෘත්තීය නම්‍යතාව ලෙසයි. මේ පරිවෘත්තීය නම්‍යතාව බිදී ගිය විට අවශ්‍ය ශක්තිය නිපදවා ගැනීමට ගබඩා කර ඇති ප්‍රෝටීන හා මේදය භාවිත නොකර කාබෝහයිඩ්ඩ්‍රේට්ම භාවිත කිරීමට ශරීරය පෙළඹෙනවා. මේ නිසා හැම විටම ශරීරය වැඩි වැඩියෙන් සීනි භාවිතයට ගන්නවා. මෙහිදී මම අර මුලින් සඳහන් කළ පරිවෘත්තීය නම්‍යතාව බිඳ වැටෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ට්‍රෝල්, පිළිකා වැනි බෝනොවන රෝගවලට මිනිසුන් සීඝ්‍රයෙන් ගොදුරු වීමයි.
පරිවෘත්තීය නම්‍යතාව නැතිවෙලා බෝනොවන රෝගවලට ගොදුරු වන පුද්ගලයන්ගේ පවා ආයු කාලයේ අඩුවක් පෙන්නුම් කරන්නේ නැහැ කියන කතාව මොකක්ද?
ඇත්තටම වැදගත් වෙන්නේ පුද්ගලයකුගේ ආයු කාලය වැඩිවීමට වඩා එම ආයු කාලය තුළ පුද්ගලයා කොතරම් නීරෝගීව සිටිනවාද යන්නයි. අද බොහෝ පුද්ගලයන් වැඩි කාලයක් ජීවත් වෙනවා කියලා කිව්වත් ඔවුන් සියලු දෙනාම වගේ රෝගීන්. එක් රෝගයකින් හෝ රෝග කිහිපයකින් ඔවුන් පීඩා විඳිනවා. ආයු කාලය වැඩිවීම හොඳ නැහැ කියලා නොවෙයි මම මේ කියන්නේ. නිරෝගිව වැඩි කලක් ජීවත් වෙන්න ලැබෙනවා නම් ඒක තමයි මිනිසෙක්ට තියෙන ලොකුම සතුට.
ඔබ ඔය කියන පරිවෘත්තීය නම්‍යතාව යථා තත්ත්වයට පත්කරගෙන නිරෝගී බව ආරක්ෂා කරගනිමින් වැඩි කාලයක් ජීවත් වීම සඳහා මොනවාද කළ හැකිව තිබෙන්නේ?
පරිවෘත්තීය නම්‍යතාව යථා පරිදි සකස් කර පුද්ගලයකුගේ ආයු කාලය නීරෝගීව වැඩිකර ගැනීමට එම පුද්ගලයා දෛනිකව ගන්නා ආහාර ඉතාමත් වැදගත්. පුද්ගලයෙක් වසවිසවලින් තොර හොඳ ආහාර ගන්නවා නම් සහ යහපත් ඇවැතුම් පැවැතුම් රටාවකට යොමු වෙනවා නම්, එම පුද්ගලයාගේ පරිවෘත්තීය නම්‍යතාව යථා පරිදි සකස් වෙනවා. එවිට නීරෝගීව වැඩි කාලයක් ජීවත් වීමේ භාග්‍යත් හිමිවෙනවා.
අද අපේ සමාජයේ බොහෝ දෙනෙක්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීමත් ගැටලුවක් වෙලා කියලා සමහරු කියනවා. ඔබ හොඳ ආහාර වේලක් යන්නෙන් අදහස් කළේ මොකක්ද?
මිනිසාගේ ශරීරයට, වයසට, වගේම ආහාර මාර්ගයටත් ගැළපෙන ආහාර වේලක් ගත යුතුයි. නියමිත ප්‍රමාණයන්ගෙන් නිවැරැදි ආකාරයට පිසින ලද ආහාරයක් නිවැරැදි වෙලාවට ගැනීම හොඳ ආහාර වේලක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ ආහාර වේල ගැන තවත් විස්තර කළොත් සාමාන්‍ය පුද්ගලයකුට එක් වේලකට බත් පීරිසි කෝප්පයක් ප්‍රමාණවත්. නමුත් කය වෙහෙසා වැඩකර කම්කරුවෙක්, ගොවියෙක් හෝ ගර්භණී කාන්තාවකට, වැඩෙන දරුවකුට මෙන්ම ක්‍රීඩා කරන අයෙක්ට නම් එම බත් ප්‍රමාණය පීරිසි කෝප්ප දෙකක ප්‍රමාණය දක්වා පමණක් වැඩිවිය යුුතුයි. ප්‍රධාන ආහාර වේලක එළවළු අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ප්‍රධාන ආහාරවේල ලෙස ධාන්‍ය වර්ගයක්, පාන් හෝ තිරිඟු පිටිවලින් සකස් කළ ආහාරයක් ගන්නවා නම් ඒ ආහාර වේල තුළත් එළවළු වර්ග තිබීම අනිවාර්යයි. සාමාන්‍යයෙන් කෙනෙක් බත් පීරිසි කෝප්පයක් ආහාරයට ගන්නවා කියලා හිතමු. එතකොට එළවළු මේසහැඳි හයක්වත් අවම වශයෙන් තිබිය යුතුයි.
ප්‍රධාන ආහාර වේලට එළවළු කර ගැනීම අනිවාර්යයි කියලා කිව්වත් විවිධ හේතු නිසා අද බොහෝ දෙනෙක්ට ඒ අවස්ථාව මඟ හැරෙනවා නේද?
අපේ ප්‍රධාන ආහාරය වන බත් හෝ කාබෝහයිඩ්ඩ්‍රේට අඩංගු කෑමවල ඇතැම් විට විටමින් වර්ග අන්තර්ගත වෙන්නේ නෑ. ඒ වගේම තන්තු අඩංගු වී තියෙන්නෙත් ඉතාමත් සුළු වශයෙන්. ඔබ කියවූ පරිදිම අද බොහෝ දෙනෙක්ගෙ උදෑසන ආහාර වේලට එළවළු අඩංගු නොවීම බොහෝවිටම දක්නට ලැබෙන දෙයක්. එය අපේ සෞඛ්‍යයට ඉතාමත් අහිතකර වටපිටාවක් නිර්මාණය කරන බව සිහිපත් කළ යුතුමයි. මේක අද ආහාර සඳහා එළවළු එකතු කරගන්නා අය වුණත් ඒ එළවළු ආහාරයට එකතු කරගන්න ආකාරයේත් වැරදි බොහොමයක් තියෙනවා.
මොකක්ද ඒ කතාව?
එළවළු ආහාරයට එකතු කර ගතයුත්තේ එළවළු රසටයි. නමුත් අද බොහෝ දෙනෙක් එළවළුවල සැබෑ රසය විනාශ වන ආකාරයෙන් ඒවා පිස ගන්නවා. එතකොට අපිට එළවළුවල නියමිත ගුණය හෝ රසය ලැබෙන්නේ නැහැ. මේ ගැන තවත් පැහැදිලි කළොත් එළවළුවල පවතින ස්වභාවික රසය වන්නේ තිත්ත රසයයි. අප ඒවා ආහාරයට එකතු කර ගත යුත්තේත් තිත්ත රසයටමයි. කරවිලවල තිත්ත රසය නොමරා පොඩි කාලේ සිටම දරුවන්ට කන්න පුරුදු කළා නම් දරුවන් අදටත් කරවිල තිත්ත රසටම කන්න පුරුදු වෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් අද වට්ටක්කාවල අන්තර්ගත පෝෂ්‍ය කොටස් සියල්ලම ඉවත් කරලයි ඒවා ආහාරයට ගන්නේ. වට්ටක්කාවල ඇට සහ එහි ශ්ලේෂ්ම වැනි කොටස ඉවත් කරලා ආහාරයට ගන්නයි අපි පුරුදු වෙලා ඉන්නේ. වට්ටක්කා ඇට කියන්නේ මැග්නීසියම් සහ ට්‍රිප්ට්‍රොපෑන් සංඝටකයන් වැඩිවශයෙන්ම අන්තර්ගතව පවතින ආහාරයක්. ට්‍රිප්ට්‍රොපෑන් මගින් මොළයේ මෙලටොනින් නිෂ්පාදනය හොඳින් සිදුවෙන අතර මැග්නීසියම් මගින් අපේ ස්නායු පද්ධතිය සන්සුන් කරනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ පුද්ගලයකුට රාත්‍රියට හොඳ නින්දක් හිමිවීමයි. ඒ විතරක් නොවෙයි ශුක්‍රාණු නිපදවීම වැඩිකිරීමටත් ඩිම්බ නිවැරැදි ලෙස මෝරන්නත් වට්ටක්කා ඇටවල පවතින මැග්නීසියම්වලට හැකියාව තියෙනවා. අපිට ආහාර අවශ්‍ය තරම් තියෙනවා. ඒත් අපි ඒවා ආහාරයට ගන්නා ක්‍රමයේ තමයි වරද තියෙන්නේ.
විදේශිකයන් වගේ අමුවෙන් හෝ බාගෙට තැම්බූ එළවළු ආහාරයට එකතු කර ගැනීමයි වඩාත් සුදුසු කියලද ඔබ ඔය කියන්නේ?
බටහිර ජාතිකයන් එළවළු ආහාරයට ගන්නේ සලාද ලෙස සකස් කර හෝ බාගෙට තම්බාගෙනයි. එතකොට ඒවායේ නියම එළවළු රසය තියෙනවා. ඒත් අපි එළවළුවල ගුණ කොටස් ඉවත් කරලා රසකාරක, පොල්කිරි හා තෙල් දමා හොඳින් එළවළු පිසගන්නවා. එතකොට එළවළුවල පවතින විටමින් වර්ග විනාශ වෙනවා වගේම තන්තු දියවී යනවා. ඒ අනුව අපි එළවළුවල නියම රසය හා ගුණය මරාදමමිනුයි ඒවා ආහාරයට එකතු කර ගන්නේ. මම මේ කියන්නේ හැම වෙලාවකම එළවළු අමුවෙන් ආහාරයට එකතු කරගන්න කියලා නොවෙයි. සලාද ලෙස සකස් කර ගත හැකි ආහාර හා බාගෙට තම්බා ආහාරයට එකතු කර ගත හැකි ආහාර මෙන්ම මැල්ලුම් ලෙස ගත හැකි එළවළු වර්ගත් තියෙනවා. ඒවා නිසි ආකාරයෙන් ආහාරයට එකතු කර ගැනීම තුළින් පෝෂ්‍ය කොටස් සියල්ලම ශරීරයට එකතු කරගන්න පුළුවන් කියලයි මම මේ කියන්නේ.
නිසි පෝෂණයකින් යුතු ආහාර වේලක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ මොනතරම් ජනතාව දැනුම්වත් කළත් අපේ රටේ ජනතාවගෙන් වැඩි දෙනෙක් ප්‍රෝටීන ඌණතාවෙන් පෙලෙනවා කියලා පෝෂණ විශේෂඥයන් කියනවා.....
ඔව්. එක් වේලකට එක් පුද්ගලයෙක් මස් හෝ මාළු කෑලි දෙකක් නැතිනම් බිත්තරයක් හෝ ආහාරයට එකතුකර ගත යුතුවෙනවා. මෙය තුන්වේලටම ගත යුතුයි. මාංශ ආහාර නොගන්නෙක් නම් ධාන්‍ය වර්ගයක්, සෝයා හෝ කිරිවලින් සකස් කළ ආහාරයක් ප්‍රධාන ආහාර වේල් සමග තුන්වේලටම ගත යුතුයි. ඒ විදිහට ආහාර වේලට අවශ්‍ය දේවල් එකතු කර ගත්තොත් පමණයි ප්‍රෝටීන් ඌණතාව මඟහරවා ගත හැකි වන්නේ.
හොඳ ආහාර වේලක් පෝෂ්‍යදායී විය යුතුයි මෙන්ම මිනිසාගේ ආහාර මාර්ගයටත් ගැළපිය යුතුයි කියලා ඔබ කිව්වා. ඒ ගැන තවත් පැහැදිලි කළොත්?
විවිධ කලාපවල ජීවත්වන පුද්ගලයන්ගේ ආහාර මාර්ගය නිර්මාණය වෙලා තියෙන්නේ ඒ ඒ කලාපවලට ආවේණික ආහාර රටා, දේශගුණික තත්ත්ව, විවිධ පරිසර සාධක ආදී සියලුම කාරණා පාදක කර ගනිමිනුයි. මේ අනුව ඒ ඒ කලාපවල ජීවත් වන පුද්ගලයන්ගේ ආහාර මාර්ගය තුළ ඔවුන්ටම ආවේණික ක්ෂුද්‍ර ජීවීන් කොටසක් ජීවත් වෙනවා. අපිට බඩගින්න දැනීම, ආහාර රුචිය ඇතිකිරීමට, ආහාර ගැනීමට තිබෙන අකැමැත්ත, ආහාර දිරවීම ආදී සියලුම කාර්යයන් කරනු ලබන්නේ ආහාර මාර්ගයේ ජීවත්වන බැක්ටීරියා නැතහොත් ක්ෂුද්‍ර ජීවීන් විසිනුයි.
අපේ ආහාර මාර්ගය තුළ සිටින ක්ෂුද්‍ර ජීවීන් කියන්නේ අපගන්නා ආහාර කොටස් අනුභව කරලා ජීවත් වීමට හැකි අපටම ආවේණික වූ කොටසක් නමුත් නොගැළපෙන ආහාර රටාවකට මිනිසුන් පෙළඹීම නිසා ආහාර මාර්ගයේ සිටින ක්ෂුද්‍ර ජීවීන්ට ජීවත් වීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. මේ අතර අප ගන්නා අපට නොගැළපෙන ආහාරවලට ඔරොත්තු දිය හැකි ක්ෂුද්‍ර ජීවීන් කණ්ඩායමක් ආහාර මාර්ගය තුළ බිහිවෙනවා. එසේ බිහිවන නවක ක්ෂුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වෙන්නේ අපේ සෞඛ්‍යයට යහපත් ලෙස නොවෙයි. එගි ප්‍රතිඵලය වන්නේ ආහාර රුචිකත්වයේ ප්‍රශ්න, ආහාර ගැනීමේ ප්‍රශ්න, ආහාර ජීර්ණ ක්‍රියාවලියේ ප්‍රශ්න ආදිය මතුවීමයි. මේ නිසා ආහාර ජීර්ණ පද්ධතියේ පමණක් නොවෙයි අපේන් මොළයේ ක්‍රියාකාරිත්වයේ පවා ගැටලු පවා ඇතිවෙනවා.
ආහාර ජීර්ණ පද්ධතියේ සිටින ක්ෂුද්‍ර ජීවීන් හා මිනිස් මොළයේ ක්‍රියාකාරිත්වය අතර පවතින සම්බන්ධතාව ගැනත් මතක් කරමු?
ආහාර මාර්ගයේ ජීවත් වන ක්ෂුද්‍ර ජීවීන් ස්‍රාවය කරන ඇතැම් රසායනික ද්‍රව්‍ය අපේ මොළයේ ක්‍රියාකාරිත්වය පවා වෙනස් කිරීමට හේතුවක් වෙන බව අද සොයාගෙන තිබෙනවා. නොගැළපෙන ක්ෂුද්‍ර ජීවීන් සමග ජීවත් වෙනවා කියන්නේම අපිව ලෙඩ වීම වැඩිවීමයි. ඒ නිසා අපේ ආහාර ජීර්ණ පද්ධතිය අපට ආවේණික ලෙස සකස් කර ගැනීම වැදගත්. අපටම ආවේණික අපේම දේශීය ආහාර නිවැරැදි ලෙස ගැනීම මගින් අපිට මේ තත්ත්වය නිවැරැදි කරගන්න පුළුවන් වෙනවා. ආසියානු කලාපයේ අපේ ජානවලට, අපේ පරිසරයට ගැළපෙන ක්ෂුද්‍ර ජීවීන් ආහාර මාර්ගය තුළ සීටීමෙන් අපගේ පරිවෘත්තීය නම්‍යතාව අපට නැවැත ඇතිකර ගැනීමේ හැකියාව තිබෙනවා.

