brand logo
logo
 වැඩිහිටියන්ට පොලිස් ඒකකයක් ඉල්ලයි

වැඩිහිටියන්ට පොලිස් ඒකකයක් ඉල්ලයි

05 October 2026


2030 වසර වන විට මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 25 ක් වැඩිහිටියන් බවට පත්වීමත් එම ප්‍රජාව වෙනුවෙන් වෙනම පොලිස් ඒකකයක් තිබීමත් සැලකිල්ලට ගනිමින් මෙම ඉල්ලීම කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණියගේ ‘‘අරුණ’’ ට පැවැසීය.


සමාජ ආර්ථික මෙන්ම වෙනත් හේතු මත මෙරට වැඩිහිටි ප්‍රජාව මුහුණ දෙන ගැටලු මෙන්ම ඒ අයගේ මානව අයිතීන් උල්ලංඝනයවීම් ආදිය කලක සිට නිරීක්ෂණය වෙමින් පවතින බවද සභාපතිවරයා සඳහන් කළේය. ඒ අනුව මීට වසර තුනකට පමණ පෙරාතුව ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම එවකට සිටි පොලිස්පතිවරයා වෙතද මෙම යෝජනාව කරමින් ලිපියක් යොමුකර තිබූ බවද ඔහු පැවැසීය.


ආයතන මට්ටමින් මෙන්ම ගෘහස්ථව ජීවත්වන වැඩිහිටියන් මුහුණ දෙන යම් යම් ගැටලුකාරී තත්ත්වයන්වලදී වැඩිහිටියන්ට වෙන් වූ පොලිස් කාර්යාංශයක් තිබෙන්නේ නම් මේ ප්‍රජාවගේ ගැටලුවලට සාධාරණ මෙන්ම කඩිනම් විසඳුම් ලබාදීමට හැකි වනු ඇතැයි ද කොමිසම විශ්වාස කරයි.


දරුවන් සහ කාන්තාවන් වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව තුළ වෙනම කාර්යාංශයන් වෙන් කර ඇති පරිදි නිසි පුහුණුවක් ලබන නිලධාරීන් යොදවා වැඩිහිටි පොලිස් ඒකකයක් පිහිටුවීම කාලෝචිත වනු ඇතැයි ද සභාපතිවරයා පෙන්වා දෙයි.


මේ අතර මහබැංකුව නිකුත් කළ අලුත්ම වාර්තාවකට අනුව මෙරට වයස අවුරුදු 55 ට හෝ ඊට වැඩි ජනගහනය ලක්ෂ පනහ ඉක්මවා ඇතැයි සඳහන් කර ඇත. එම වාර්තාවට අනුව 2025 වන විට එම වයසේ පසුවන පිරිස පනස් එක් ලක්ෂ අනූදහසකි. (5,190,000) 2024 සාපේක්ෂව වැඩිහිටි ජනගහනය දහතුන් ලක්ෂ හතළිස් පන්දහස දක්වා (1,345,000) වැඩිවී තිබේ.

 

More News..