brand logo
logo
මේ වසරේ වැඩි මිලට සහල් විකිණූ වෙළෙඳුන්ට මිලියන 95ක් දඩ ගහලා

මේ වසරේ වැඩි මිලට සහල් විකිණූ වෙළෙඳුන්ට මිලියන 95ක් දඩ ගහලා

15 September 2025

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළදී සහල් වැඩි මිලට අලෙවි කළ ස්ථාන දහසක් වටලා ඇත.


මෙම වැටලීම්වලදී අධිකරණ මගින් රුපියල් මිලියන 95ක දඩ මුදල් පනවා ඇතැයිද එම අධිකාරිය සඳහන් කරයි.


සහල් සඳහා පනවා තිබෙන උපරිම සිල්ලර මිල ඉක්මවා විකිණීම පාරිභෝගික කටයුතු අධිකාරී පනත යටතේ බරපතළ වරදක් වේ. වරදකරුවන් වන පුද්ගලයන්ට අවම වශයෙන් රුපියල් 100,000 සිට රුපියල් 500,000 දක්වා දඩයක් හෝ මාස හයක සිර දඬුවමක් හෝ මෙම දඬුවම් දෙකම හෝ නියම කළ හැකිය. සමාගම් සඳහා, අවම දඩය රුපියල් 500,000ක් වන අතර, අධිකරණයට රුපියල් මිලියන 5ක් දක්වා දඩ මුදල් පැනවීමට බලය පැවරී ඇත.


උපරිම තොග මිල ඉක්මවා වැඩි මිලට සහල් මිලදී ගැනීමෙන් වළකින ලෙසත්, අඩු මිලක් සඳහන් කරන ලද බිල්පත් භාර ගැනීමෙන් වළකින ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය වෙළෙඳුන්ට දැඩි ලෙස අවවාද කර ඇත. මෙවැනි කටයුතු සිදු කරන මෝල් හිමියන් ආරක්ෂා වෙමින් සිල්ලර වෙළෙඳුන් නීතියේ රැහැනට හසුවීමට කටයුතු කෙරෙන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියයි. ගැසට් කළ සහල් මිල යටතේ සහල් අලෙවි කිරීමට නොහැකි නම් වැඩි මිලට වී මිලදී නොගන්නා ලෙස ද මෝල් හිමියන් දැනුවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු යොදා ඇත.


සහල් වැඩි මිලට අලෙවි කිරීම, තොග සඟවා තබා ගැනීම සිදුකරන වෙළෙඳුන් හඳුනා ගැනීම සදහා දිස්ත්‍රික්ක සියල්ලෙහිම වැටලීම් සහ විමර්ශන අඛණ්ඩව සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.


පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ දිවයින පුරා කරන ලද සම්පූර්ණ වැටලීම් සංඛ්‍යාව 14,682ක් වන අතර, ඊට මහෙස්ත්‍රාත් අධිකරණවල ගොනු කරන ලද නඩුවලදී රුපියල් මිලියන 211ක දඩ මුදල් නියමකර ඇත.

 

More News..