brand logo
logo
 විහාර මහාදේවී උද්‍යානයේදී භික්ෂූන් වහන්සේලාට එල්ල වූ ප්‍රහාරය සජිත් හෙළා දකියි

විහාර මහාදේවී උද්‍යානයේදී භික්ෂූන් වහන්සේලාට එල්ල වූ ප්‍රහාරය සජිත් හෙළා දකියි

17 October 2026


විහාර මහා දේවී උද්‍යානයේදී පිරිත් දේශනා කරමින් සිටි භික්ෂූන් වහන්සේලාට එල්ල වූ ප්‍රහාරය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබේ.


විපක්ෂ නායකවරයා අදාළ නිවේදනය මගින් සඳහන් කර ඇත්තේ තමන් මෙම ප්‍රහාරය දැඩිව හෙළා දකින බවත් භික්ෂූන් වහන්සේලාගේ සාමකාමී සත්‍යග්‍රහය පිළිබඳව මුල සිටම රජය කටයුතු කළ ආකාරයද තමන් පිළිකුලෙන් යුතුව හෙළා දකින බවය.


භික්ෂූන් වහන්සේලාගේ සනීපාරක්ෂක පහසුකම් පවා අහුරා පිරිත් දේශනා කරන භික්ෂූන් වහන්සේලාට වර්ෂාවෙන් ආරක්ෂා වීමට තිබූ ආවරණ පවා බලහත්කාරයෙන් ඉවත් කළ ආකාරය පිළිබඳව විපක්ෂ නායකවරයා සිය අප්‍රසාදය පළ කර තිබේ.


එමෙන්ම රටේ මහජනතාවගේ, භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව සහතික කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් බවත් එම වගකීමෙන් බැහැරව අපරිණත ලෙස හැසිරීමට ජනාධිපතිවරයාට අයිතියක් නොමැති බවත් විපක්ෂ නායකවරයා සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත.


මේ හේතුවෙන් වහාම රටේ ආගමික සමගිය සහ සාමය බිඳ වැටීමට ඉඩ නොදී මහජනතාවගේ සහ භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව සැලසීම ජනාධිපතිවරයා වහා කටයුතු කළ යුතු බවද අදාළ නිවේදනය මගින් විපක්ෂනායකවරයා අවධාරණය කර තිබේ.


එමෙන්ම මෙවන් තත්ත්වයක් තුළ ආගමික සමගිය සහ සහජීවනය ප්‍රදර්ශනය කරමින් භික්ෂූන් වහන්සේලාගේ සනීපාරක්ෂක අවශ්‍යතා සඳහා ඉඩ සලසා දුන් දවටගහ මුස්ලිම් පල්ලියේ පාලනාධිකාරියටද තමන්ගේ ස්තූතිය පුද කරන බවද විපක්ෂ නායකවරයා සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

More News..