brand logo
logo
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනය ගැන තවත් තොරතුරු රැසක්

බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනය ගැන තවත් තොරතුරු රැසක්

26 July 2026



බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනය කළ වෙඩික්කරු යුද හමුදාවෙන් පලා ගිය අයෙකු බවට හදුනාගෙන ඇති අතර ඔහු මින්නේරිය යුද හමුදා කඳවුරෙන් ගිනිඅවි පැන්නූ සිද්ධියේ සැකකරුවෙකු වන බව වාර්තා වේ.


බෙල්ලන්විල අවන්හල් හිමිකරුවෙක් ඊයේ (25) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු නවගමුව පොදු සුසාන භූමියක් අසලදී පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණි.


දෙහිවල - බොරලැස්ගමුව මාර්ගයේ බෙල්ලන්විල ඇවිදින මංතීරුවට පිවිසෙන ස්ථානය ඉදිරිපිට ඇති අවන්හලක් අසල මෙම වෙඩි තැබීම සිදුවුණේ ඊයේ රාත්‍රී 7.45ට පමණය.


ස්කූටර් වර්ගයේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් අදාළ අවන්හලේ හිමිකරු ඉලක්ක කර වෙඩිතබා පලාගොස් තිබුණි.


වෙඩිතැබීම සිදුවූ අවස්ථාවේදී අවන්හල් හිමිකරු සිට ඇත්තේ ඉන් පිටත පරිශ්‍රයේ දුම් වැටියක් දල්වාගෙනය.


ඉන් ඔහුගේ උදර ප්‍රදේශයට තුවාල සිදුවූ අතර පසුව ඔහු සිය අවන්හල තුළට දිවගොස් තිබේ.


අනතුරුව ඔහුව කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණත් සිදුව තිබූ තුවාල හේතුවෙන් ඔහු මියගොස් තිබුණි.


මෙලෙස ඝාතනයට ලක්වුණේ අදාළ අවන්හලේ හිමිකරු වන මල්ලව ආරච්චිගේ නෙල්සන් සුදත් අමරසිංහ නැමැති 55 හැවිරිදි අයෙකි.


ඊයේ රාත්‍රීයේම වෙඩි තැබීම සිදුවූ ස්ථානයට පැමිණි බොරලැස්ගමුව පොලිසිය, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඇතුළු කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කළේය.


මූලික පරීක්ෂණවලදී වාර්තා වී ඇත්තේ වෙඩි වැදීමෙන් මියගිය අවන්හල් හිමිකරු කොස් මල්ලී නම් සංවිධානාත්මක අපරාධකරුගේ ඥාතියෙක් බවය.


ඒ අනුව කොස් මල්ලිගේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය වන සැන්ඩෝ හෝ අසංක යන අය වෙඩිතැබීම මෙහෙයවා ඇති බව පොලිසිය සැකපළ කරයි.


විමර්ශන ඇරඹූ පොලිසිය , වෙඩිතැබීම සිදුකර පලාගිය ස්කූටර් වර්ගයේ යතුරු පැදිය සම්බන්ධයෙන් තොරතුරු අනෙක් ප්‍රදේශවල පොලිස් මාර්ග බාධකවල රාජකාරී සිදුකරන පොලිස් නිලධාරීන්ට දැනුම්වත් කර තිබුණි.


ඒ අනුව එම තොරතුරුවලට ගැලපෙන යතුරු පැදියක් සහ පුද්ගලයින් දෙදෙනෙක් නවගමුව ප්‍රදේශයේ සැරිසරන ආකාරය දුටු පොලිස් නිලධාරීන් ඔවුන් ලුහුබැඳ තිබේ.


එහිදී ඔවුන්ට දැකගන්නට ලැබී ඇත්තේ අදාළ පුද්ගලයින් දෙදෙනා යතුරු පැදිය නවගමුව , නිස්සරණ සිත්බිම පොදු සුසාන භූමිය අසල නවත්වා ඔවුන් පැළඳ සිටි මුහුණු ආවරණ සහ අත්වැසුම් ඉවත්කර එම ස්ථානයෙන් පිටත්ව යෑමට සූදානමින් සිටි බවය.


සැකකරුවන් දෙදෙනා සිය භාරයට ගත් පොලිස් නිලධාරීන් ඔවුන්ව පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය සොයාගත් අතර ඔවුන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී බෙල්ලන්විල ඝාතනයට අදාළ හඩපට සොයාගැනීමට හැකිව තිබේ.


ඒ අනුව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගැනුණි.


සැකකරුවන් දෙදෙනා අද කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඔවුන් දෙදෙනා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතය.


 

More News..