මහ පාරේ ජාතියක් නොමැරී මැරේ
06 July 2025
මහ පාරේ ජාතියක් නොමැරී මැරේ
06 July 2025
විදුලි දුම්රියේ චංචල නාදය
සවණත වැකෙන සඳේ
කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක්
මතුවිය සැලෙන හදේ
සීත කඳුකරේ මිහිදුම අධිකයි පමා වුණෙමි සොඳුරේ
රූපවාහිනී අංජන රේඛා නළඟන ඔබද ළඳේ
මේ ප්‍රවාහන ප්‍රශ්නයක් නිසාම ගීත රචකයකුගේ හදේ ඉපදුන ගීතයකි.
රැකියාව පිණිස දිනපතා කෝච්චියෙන් මරදානට එන දයානන්ද කුමාරසිරි නම් ගීත රචකයා 1970 දිනක මරදාන දුම්රිය ස්ථානයේ දී දුටුවේ දුම්රියක් එනතුරු නොඉවසිල්ලෙන් බලා ඉන්නා සුන්දර තරුණියකි. මොහොතකින් එම වේදිකාවට ආ දුම්රියකින් බැසගත් තරුණයෙක් කඩිමුඩියේ ඈ කරා ආවේය.
‘‘මොකද මෙච්චර පරක්කු. මම කොයිතරම් වෙලා මෙතනට වෙලා බලා ඉන්නවද?’’
තම පෙම්වතාට තබා ප්‍රේමය නළලේ කොටන බඹාටවත් දුම්රිය ප්‍රමාදය වළක්වන්නට බැරි බව තරුණිය නොදැන සිටියා වාගේය.
‘‘කොහොමද කෝච්චියෙන් වෙලාවට එන්නේ. විදුලි දුම්රියක් තිබුණා නම් මට වෙලාවට එන්න තිබුණා.’’
1970 දී මරදාන ස්ටේසමේදී ඇසුන මේ දෙබසත් සමග චිත්තාම්භරයේ ජනිත වූ හැඟීම් ගීයකට නගා එය රූපා ඉන්දුමති ලවා ගායනා කරවූයේය. මේ ගීත රචකයාවත් එදා විදුලි දුම්රියක් දැක තිබුණේ නැත. ගීතයේ රූපවාහිනී නළඟනක් ගැන ලියා තිබුණද රූපවාහිනියක් දැක තිබුණේ 1965 කොළඹ තුරඟ තරග පිටියේ පැවැති සුප්‍රකට කර්මාන්ත ප්‍රදර්ශනයේදී ලංකාවට රූපවාහිනියක් ගෙනත් ප්‍රදර්ශනය කර තිබුණ නිසාය. විදුලි දුම්රිය ගැන අසා තිබුණේ පොත පතිනි. ප්‍රවාහන ප්‍රශ්නයක් නිසා ගීය ලියවුණ ද වසර පනස් පහක් ගතවීත් තවමත් විදුලි දුම්රියක් ලංකාවේ නැත. එදා වගේම 1970 දී ගීය ලියූ රචකයාගේ මිනිපිරියට අදත් දුම්රිය පොළට ගියොත් අදත් ඉන්නට වෙන්නේ කෝච්චි ප්‍රමාදය ගැන මුණු මුණු ගාමිනි.
එදාටත් වඩා වේගයෙන් දුවන විදුලි දුම්රිය දෑසින් දැක්ක මගීන් ලංකාවේ ඇත. සෑම විනාඩි පහකටම වතාවක් බසයක් නැවතුමට එන රටවල්ද, සීට් ගණනට පමණක්ම මගීන් නංවා ගෙන යන සුපිරි ප්‍රවාහන සේවා පවත්වාගෙන යන රාජ්‍යයන් ගැනද දනිති. එහෙත් ඒවා අපට සිංදු පමණකි.
සංචාරකයකුට දකුණු ආසියාවේ තිබෙන මන්දගාමීම බස් සේවාවක යන්න ඕනෑ නම් කිරිබත්ගොඩ - අඟුලාන 154 බස් මාර්ගයේ යන බසයකට ඔහුව නැංවීම සෑහේ. ඉබ්බා හාවා ධාවන තරගයට නව අර්ථකතන දෙන ඇත්තෝ ඔන්න හාවෙකුයි 154 බස් එකකුයි රේස් එකක් තිබ්බා කියා ලියති.
තරුණියක් නමෝ විත්තියෙන් ගැබ් ගත්තොත් නාරි හා ප්‍රසූත වෛද්‍ය විශේෂඥයො මෙසේ කියති.
‘‘වැඩට ගියාට කමක් නෑ, හැබැයි බස්වල වැඩට යන එක නම් ඒ තරම් හොඳ නෑ.’’ ඒ බස්වල තෙරපීමෙන් ගබ්සා වුණ කළල ගැන අත්දැකීම් සම්භාරය නිසාය. කාන්තාවක් දෙස නොමනා බැල්මක් හෙළුවත් බරපතළ වැඩ ඇතිව හිරේ යවන්නට තරම් කාන්තාභිවෘර්ධී නීති අපේ නීති සංග්‍රහවල එයි. එහෙත් පොදු බසයේ යන කාන්තාවන් සම්බන්ධයෙන් නම් නීති පොත් ඒ නීතියට ව්‍යතිරේකයක් දාන්නට වෙයි.
පුරුෂයන්ගේ සකල විධ අංගෝපාංගයන්ගෙන් ගැහැනුද, ගැහැනුන්ගේ සියලු නිමිති පුරුෂයන්ගේද අතුල්ලා ගන්නේ නැතිව අපේ බස්වල යනු නොහැකිය.
අපේ රටේ මගියා අසුව තිබෙන දුක් වළල්ලේ ම කොනකය බස් හිමිකරුවාද ඉන්නේ.
මාර්ග බලපත්‍රයක් ගැනීමට වෙඩි බෙහෙත් ආනයනයට බලපතක් ගැනීමේ දී ගහන්නට ඕනෑ වංගු ගහන්නට වෙයි. ලංකාවේ ඕනෑම හන්දියකට ත්‍රීවීලරයක් දා ගන්න නම් හන්දියේ මැරයාගෙන් අවසර ගන්න වෙයි. ගුවන් හමුදාවට නොතිබුණ ආධිපත්‍යයක් ගුවන්තොටුපොළේ ටැක්සි දුවන ‘‘ටැක්සි අබේ’’ නම් තැනැත්තාට ඉතිහාසය පුරා තිබිණ. කොටි සංවිධානයේ ප්‍රබලම සටන්කරුවා වූද, කරුණා අම්මාන් කටුනායකින් සාම සාකච්ඡා සඳහා කොළඹ එනකොටම වැටුනේ ‘‘ටැක්සි අබේ’’ගේ ඔඩොක්කුවටය. මේවායින් මේ රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නොයෙක් තාලයේ අය ආධිපත්‍යය පවත්වන තැනක් බව පෙනේ. ඇඟලුම් කම්හලකට, හෝටලයකට ප්‍රවාහන පහසුකම් දෙන්නේ ඒ ඒ පළාත්වල චණ්ඩිය. පාතාලයන්ය. ප්‍රවාහනය වෙනම රාජ්‍යයක් බව ජනාධිපතිගේ කීම හරියට හරිය. ලංකාවේ ප්‍රවාහන කර්මාන්තයට එන්නේ කොළොම්බස්ලාගේ යුගයේ නාවිකයන් වීමට උනන්දු වූ තාලයේ බිය නොඅඳුණන, ආක්‍රමණයට සුදානම් වූවන්ය. හූරන ලොතරැයියෙන් 1998 දී මුලින්ම බිහි වූ කෝටිපතියා වූ අම්පාරේ කේ. යූ. චන්ද්‍රසිරි නම් පේන්ට් බාස් අදිසි ධන ලාභයෙන් ලක්ෂ 16 කට රෝසා බසයක් ගෙන පාරට දැමුවේය. කර්මාන්තය ගැන නොදත් කෝටිපතියාගේ බස් පෙරළී පාඩුවීම නිසා වසර දෙකක් යන විට අම්පාර කච්චේරි කැන්ටිමේ තේ ගහන්නට ගියේ ප්‍රවාහන කර්මාන්තයට එන්නන්ගේ ගති ස්වභාවයද, උන්ට අන්තිමට අත්වන ඉරණමද මේ යැයි කියා පාමිනි.
දැන් වෙළෙඳපොළේ බසයක් මිලට ගන්නට රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් අවැසිය. ඒ මුදලට බසයක් මිලට ගෙන රියැදුරකුට, කොන්දොස්තරවරයකුට බසය දී දවසකට මුදලක් අය කරගත යුතුය. බස් හිමියාගේ ද, රියැදුරාගේද, කොන්දොස්තරවරයාගේද ජීවන තත්ත්වය දිවා කෑම වේල ගන්නා ආකාරයට තේරුම්ගත හැකිය.
බස් හිමියා දවල් භෝජනයට හාල් මැස්සො හොදියි, බතුයි කයි. ඒ ලීසිං ගෙවන්නට, ගෙවෙන ටයර් දමන්නට මුදල් ඉතුරු කරගන්න ඕනෑ නිසාය. බසය දෛනික කුලියට ගන්නා රියැදුරත්, කොන්දොස්තරත් දවල්ට හොඳ හෝටලයකට වැද සිසිල් බීම උරමින් බුරියානි කා අතුරුපසට වටලප්පමක් බුදී.
මේ ලංකාවේ ප්‍රවාහන කර්මාන්තය යටතේ ‘‘රියකරු මනා වූ ලැබිය යුතු වූ සේම අස්රිය’’ යන ආදර්ශ පාඨය ක්‍රියාවට නැංවුණ විට වෙන දේය. හොඳ ප්‍රවාහනයක් නැති නිසා රටම නගරයට ගාල් වෙති. විශ්වවිද්‍යාලයට කිලෝ මීටර් 10 ක දුරින් ඉන්න දරුවාද බෝඩිම්වලට ගාල් වෙන්නේ ප්‍රවාහන ප්‍රශ්නය නිසාය. රෑ අට වෙනකොට නගරයේ රාත්‍රි ආර්ථිකය නිදා වැටේ. රැකියාවට කිලෝමීටර් දහයක දුරක් පොදු ප්‍රවාහන සේවාවේ නැගී යන කවුරුත් ජීවත් වන්නේ කෝපයෙන්, පීඩනයෙන් යුතුවය. මේ පෞද්ගලික ප්‍රවාහන සේවයත්, රාජ්‍ය ප්‍රවාහන සේවයත් එකට තරගයට ක්‍රියාත්මක වෙන රටේ හැටිය.
දැන් පෞද්ගලික බස් 13,000 ක් පමණ පාරේ දුවන අතර ඉන් 7000 කටත් වඩා මීට වසර 10කට පෙර ගෙන්වූ ඒවාය. වසරකට 12,000ක් මාර්ග අනතුරුවලින් නසිති. ඊට ඖෂධය, පාරේ නීතිය හරියට ක්‍රියාවේ යෙදවීම බව ආණ්ඩුවේ අදහසය. ගැරඬි ඇල්ලෙන් බසයක් පෙරළී 23 දෙනෙක් එකතැන දෑස පියාගත්තේ අපේ ප්‍රවාහනයේ තිබෙන අවදානම ගැන ජාතියේම දෑස් අරින්නටය. ඒ අනුව ගිය සඳුදා සිට බස් රියැදුරන් ආරක්ෂක පටි පලඳවා ගෙන බසය පැදවීම අනිවාර්යය වී ඇත්තේය. මහමඟ සිදුවන කායික මරණයන් නවතන්නට මෙය පිළියමකි. එහෙත් රටට හොඳ පොදු ප්‍රවාහනයක් නැතිකමෙන්, ජාතියක් නොමැරී මැරෙන එක වළක්වන්නට සමත් ඍෂිවරයෙක් සයිඩ් කණ්ණාඩියටවත් පෙනෙන්නේ නැත.