brand logo
logo
ක්‍රිකට් ව්‍යවස්ථාවට කිසිදු දේශපාලන අත ගැසීමක් නැහැ - ඉරාන් වික්‍රමරත්න

ක්‍රිකට් ව්‍යවස්ථාවට කිසිදු දේශපාලන අත ගැසීමක් නැහැ - ඉරාන් වික්‍රමරත්න

31 August 2026


ක්‍රිකට් ව්‍යවස්ථාවට කිසිදු දේශපාලන අත ගැසීමක් නැතැයි හිටපු අමාත්‍ය ක්‍රිකට් පරිවර්තනීය කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න පැවසීය. 


එමෙන්ම ක්‍රිකට් පරිපාලන ගැටලු අනිවාර්යයෙන් විසඳන බව හෙතෙම පැවසීය. 


ඉරාන් වික්‍රමරත්න මේ බව පවසා සිටියේ මොරටුව වේල්ස් කුමර විදුහලේ 150 වන සංවත්සරයට සමගාමීව මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී ඊයේ (30 වැනිදා) පැවති සයසාමාජික ක්‍රිකට් තරඟාවලියේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වූ අවස්ථාවේදීය. 


එහිදී තවදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේද පැවසීය. 


" මූලිකවම ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අලුත් ව්‍යවස්ථාවක් හදනවා. හුඟක් අය සමඟ සාකච්ඡා කරමින් අදහස් එකතු කර රජයට එය භාර දී තිබෙන්නේ. නීති කෙටුම්පත් හරහා එය කැබිනට් එකට ඉදිරිපත් කළ පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. 


අපි වගකිව යුත්තේ මේ රටේ ප්‍රේක්ෂකයන්ට. ඒක ඔළුවේ තියාගන්න තමයි අපි ව්‍යවස්ථාව හදන්නේ. ක්‍රිකට් කියන එක කාටවත් අයිති දෙයක් නෙවෙයි. පුද්ගලයන්ට අයිතිත් නැහැ, ක්‍රිකට් බෝර්ඩ් එකට අයිතිත් නැහැ, මට අයිතිත් නැහැ. ප්‍රේක්ෂකයන්ට තමයි අයිති. අපි බැලිය යුත්තේ මෙය හරියට සිදු වෙයි කියන එක. 


ඒ වගේම අයි සී සී එකෙන් බලන්නේ සාමාන්‍යයෙන් රජයකට දේශපාලන අත ගැසීමක් තිබෙන්න බැහැ කියලා. ඒ ප්‍රතිපත්ති දෙකම හරි. ඒ ප්‍රතිපත්ති දෙකම බලලා අපි ව්‍යවස්ථාව හදලා තිබෙන්නේ. ඒ නිසා කිසිම දේශපාලන අත ගැසීමක් වෙන්නේ නැහැ. 


ක්‍රිකට් පාලන කමිටුවේ ලොකු වෙනසක් තිබෙනවා. අපිව පත් කර තිබෙන්නේ පසුගිය කාලයේදී සිදුවීම් තිබුණා, චෝදනාවල් තිබුනා. ඒ වගේම ලංකාවේ ක්‍රිකට් පසුගිය වසර 10 තුළදී ජාත්‍යන්තර මට්ටමෙන් පහළට බැස්මක් තිබෙන බව අයි.සී.සී. එකෙන්ම දන්වා තිබෙනවා. ඒ නිසා තමයි වත්මන් රජය තීරණය කළේ ක්‍රිකට්වල වෙනසක් කරන්න ඕනා කියලා. මේ වෙනස සිදු කරන්න හුඟක් දේවල් කරන්න තියෙනවා. පරිපාලනය අලුත් කර යහපාලනයක් ඇති කළ යුතුයි. ක්‍රිකට් එක ගොඩනගන්න ඕනා. පාසල් මට්ටමෙන් පටන්ගෙන ක්‍රිකට් ගොඩනැගිය යුතුයි."

 

More News..