සෙව්වන්දිගේ කේක් ගෙඩිය රස පරීක්ෂකට
07 April 2026 | •ඉෂාර රත්නකාර
සෙව්වන්දිගේ කේක් ගෙඩිය රස පරීක්ෂකට
07 April 2026 | •ඉෂාර රත්නකාර
කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ දැඩි ආරක්ෂාවක් යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන ඉෂාරා සෙව්වන්දිගේ උපන්දිනය සැමරීමට රැගෙන ආ කේක් ගෙඩිය රජයේ රස පරීක්ෂකවරයා වෙත වහාම යොමුකර වාර්තාවක් ලබාගන්නා ලෙස අධිකරණය, පොලිසියට නියෝග කළේය.
අදාළ උපන්දින කේක් ගෙඩියේ විෂ රසායනයක් හෝ මත්ද්‍රව්‍යයක් අඩංගුවී ඇතිද යන්න සෙවීමට විමර්ශනයක් පවත්වන බවත්, ඒ අනුව කේක් ගෙඩිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් ගැනීමට අවසර දෙන්නැයි කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් කරන ලද ඉල්ලීමකට අනුව, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කසුන් කංචන දිසානායක එම නියෝගය කළේ ය.
සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන ගණේමුල්ල සංජීව නමැත්තාට අධිකරණයේ විත්ති කූඩුව තුළ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රඳවාගෙන මේ වන විට ප්‍රශ්න කරන බව කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසයේ නිලධාරින් අධිකරණය වෙත දන්වා සිටියේය.
එම සැකකාරියගේ උපන් දිනය 2026 මාර්තු 29 දිනට යෙදී තිබී ඇති බවත්, එය සැමරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කේක් ගෙඩියක් ලැබී තිබෙන බවත්, මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් දන්වා සිටියේය.
අදාළ කේක් ගෙඩිය පිළිබඳ රස පරීක්ෂක වාර්තාවක් ලබාගෙන එහි විමර්ශනයේ ප්‍රගතිය වාර්තා කරන ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරයා මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයට නියම කළේය.

