ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමන මහනුවරින් ඇරඹෙයි
10 October 2026
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමන මහනුවරින් ඇරඹෙයි
10 October 2026
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ උන්වහන්සේ නිදහස් කරගැනීම උදෙසා මහා සංඝරත්නය පෙරටු කරගත් පාගමනක් අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ විය.
පාගමන ආරම්භ කිරීමට පෙර මහනුවර මඟුල් මඩුවේදී විශේෂ ආශිර්වාද සත්‍ය ක්‍රියාවක් ද පවත්වන ලදී.
මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ, වත්මන් රජය විසින් අත්තනෝමතික ලෙස ඥානසාර හිමියන්ට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග තරයේ හෙළා දකින බවය.
අතීතයේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් ජාතියේ සහ සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා හඬ අවදි කළා සේම, ඥානසාර හිමියන් ද හඬ නැඟුවේ රට, ජාතිය සහ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
ඥානසාර හිමියන් සිරගත කරනු ලැබුවේ උන්වහන්සේගේ පෞද්ගලික කාරණයක් වෙනුවෙන් නොවන බවත්, උන්වහන්සේ සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන් බවත් පැවසූ සුමංගල හිමියන්, උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව වෙනුවෙන් පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක් බව අවධාරණය කළහ.
ශ්‍රී දළදා සමිඳුන් අභියසින් සහ වාරියපොළ සුමංගල හිමියන්ගේ ප්‍රතිමාව අභියසින් ඇරඹි මෙම අධිෂ්ඨාන පාගමන, ඥානසාර හිමියන් සිරගත කර සිටින ස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතය.
උන්වහන්සේට නිදහස ලැබෙන තෙක් සහ අසාධාරණයට එරෙහිව ක්‍රියාත්මක වන මෙම සටන කිසිසේත්ම අත් නොහරින බවත්, පවතින මර්දනය හමුවේ අහිංසාවාදීව පාගමනින් එක්වන ලෙසත් උලපනේ සුමංගල හිමියෝ සමස්ත ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ.

