brand logo
logo
වත්කම් බැරකම් ප්‍රකාශ ලක්ෂ 3ක්-විමර්ශනයට ඉන්නේ නිලධාරින් 5යි

වත්කම් බැරකම් ප්‍රකාශ ලක්ෂ 3ක්-විමර්ශනයට ඉන්නේ නිලධාරින් 5යි

03 October 2025 | සාලිය කුමාර ගුණසේකර


ලක්ෂ තුනකට ආසන්න වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලැබී තිබෙන බවත් මෙම ප්‍රකාශ සම්බන්ධව රාජකාරි කටයුතු කිරීමට කොමිසමට සිටින්නේ නිලධාරීන් පස්දෙනකු පමණක් බවත් එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක පැවසීය.


වත්කම් බැරකම් ප්‍රකාශ නියමිත කාලයේදී ලබානොදෙන අයගෙන් දඩයක් අය කිරීම සම්බන්ධයෙන් කොමිසමේ අවධානය යොමුවී ඇතැයි ද එම ප්‍රකාශ කොපමණ පිරිසක් ලබාදී නැතිද යන්න පිළිබඳව මේ දිනවල පරීක්ෂා කෙරෙන බවද ඔහු පැවසුවේය.


මේ අතර වත්කම් බැරකම් ප්‍රකාශවල සඳහන් දේපොළ අදාළ පුද්ගලයන් විසින් සොයාගත් ආකාරය සම්බන්ධව සොයා බලන්නැයි ඉල්ලා කොමිසමට දිනපතාම පැමිණිලි ලැබෙන බවද හෙතෙම කීවේය. එම කොමිෂන් සභාවේ ඊයේ (02 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.


මෙම වත්කම් බැරකම් ප්‍රකාශ ලක්ෂ තුන පරීක්ෂා කිරීමට ජනතා ප්‍රවේශය ලබාදීම කළ නොහැකි බැවින් ප්‍රමුඛතා ලැයිස්තුවේ අංක 01 සිට 14 දක්වා එනම් ජනාධිපතිවරයාගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ කොමිසමේ වෙබ් අඩවියේ පළකර තිබෙන බවද ඔහු පැවසීය.


තවද මේ වනවිට පුද්ගලයන් 259 දෙනකුගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත්කර තිබෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.


එමෙන්ම කොමිසමට තිබෙන පහසුකම් අනුව වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදුන් අයගේ දේපොළ සම්බන්ධව ඉක්මනින් සෙවීමේ හැකියාවක් නැතැයි ද ඔහු සිහිපත් කළේය.


“වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ නීතිය මුලින්ම හඳුන්වාදෙන්නේ 1975 අංක 01 දරන වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ පනත මගින්. එම ප්‍රකාශ ලබා නොදුන් අයට තිබුණේ රුපියල් දහසක් වැනි දඩ මුදලක් පමණයි. මේ දූෂණ විරෝධී පනත යටතේ 1975 අංක 01 දරන වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ පනත ඉවත්කර එම බලය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට දුන්නා. ඒ අනුව මේ ප්‍රකාශ ඉදිරිපත් කළ යුත්තේ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හරහායි. යුක්රේනය වැනි රටවල මෙය ක්‍රියාත්මකයි. මෙම පද්ධතිය හදනතුරු පෝරම අතින් භාර ගැනීම සිදුකෙරෙනවා.


මාර්තු 30 වැනිදා දක්වා තිබූ වත්කම් බැරකම් පිළිබඳව ප්‍රකාශ කිරීමට ජුනි මස 30 වැනිදා දක්වා අවස්ථාව ලබාදෙනවා. එය ජූලි මස 30 වැනිදා දක්වා ලබාදීම ප්‍රමාද වන්නේ නම් එනම් මාසයක් ප්‍රමාද වුවහොත් එලෙස ප්‍රමාද වන සෑම දිනකටම පෙර මාසයේ වැටුපෙන් තිහෙන් එකක (1/30) පරිපාලනමය දඩයක් අය කරනවා. ඒ අනුව ප්‍රකාශය ලබාදීම මාසයක් ප්‍රමාද වුවහොත් මාසයක වැටුප අහිමි වෙනවා.


සැප්තැම්බර් මස 30 වැනිදා වන විටදීත් ප්‍රකාශ ලබාදී නොතිබුණහොත් නඩු පැවරිය හැකියි. එහිදී සිරදඬුවමක් හෝ වසරක වැටුපකට ආසන්න දඩයක් නියම කළ හැකියි’’


යනුවෙන්ද හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.

 

More News..