brand logo
logo
අතිරේක මහෙස්ත්‍රාත් නිල මැදිරියේදී ගිනි අවියක් පත්තුවෙයි

අතිරේක මහෙස්ත්‍රාත් නිල මැදිරියේදී ගිනි අවියක් පත්තුවෙයි

05 September 2024 | උපාලි ආනන්ද / හෙෂාර සේනාල් සෝමරත්න - අනුරාධපුර

අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් මනෝදී හේවාවසම්ගේ විනිසුරු නිල මැදිරිය තුළ ඊයේ (04වැනිදා ) පස්වරුවේ ගිනි අවියක් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් යටතේ විමර්ශන ආරම්භ කර තිබේ.


එලෙස එම ගිනි අවිය ක්‍රියාත්මක වී ඇත්තේ අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවකට අදාළව, නඩු භාණ්ඩයක් ලෙස නම් කර තිබූ ගිනි අවියක්, රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට මහෙස්ත්‍රාත්වරියගේ අත්සන යෙදීමෙන් අනතුරුව මුද්‍රා තැබූ අවස්ථාවේදීය.


ඒ අනුව උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති බී.ටී.සුගතපාලගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිලිණ හේවාපතරණගේ සෘජු අධීක්ෂණය යටතේ අනුරාධපුර සහකාර පොලිස් අධිකාරිය (1) ප්‍රදීප් ධර්මදාස සහ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ආර්.එම්. ජයවීර යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ විමර්ශන සිදු කරයි.


අධිකරණ සේවිකාවන් දෙදෙනකු විසින් අදාළ මුද්‍රා තැබීම සිදු කරන අවස්ථාවේ ගිනි අවිය මෙලෙස ක්‍රියාත්මක (පත්තුවී) වී ඇති බව සඳහන් කරන අනුරාධපුර මූලස්ථාන පොලිසිය ගිනි අවිය පත්තු වීමට සුළු මොහොතකට පෙර අතිරේක මහෙස්ත්‍රාත් මනෝදී හේවාවසම් සිය විනිසුරු නිල මැදිරියෙන් පිටව ගොස් ඇති බවද සඳහන් කරයි.


මෙම සිද්ධියෙන් කිසි වකුටත් තුවාල සිදුව නොමැති බවද අනුරාධුර පොලිසිය කියයි.


අධිකරණය හමුවේ පවතින යම්කිසි නඩුවකට අදාළව නඩු භාණ්ඩයක් ලෙස නම් කරන, කුමන හෝ වර්ගයේ ගිනි අවියක් දැඩි පරීක්ෂාවට ලක් කර එම ගිනි අවිය තුළ ජීව උණ්ඩ තිබේ දැයි යන්න දැඩි ලෙස පරීක්ෂා කොට ඉන් අනතුරුව අධිකරණයට භාර දීම පොලිසියේ අත්‍යවශ්‍ය රාජකාරී කටයුත්තක් බව අනුරාධපුර අධිකරණ සංකීර්ණයේ උසස් අධිකරණ නිලධාරියකු සඳහන් කළේය.


එවැනි පසු බිමක් තුළ මෙම ගිනි අවිය අදාළ පොලිසිය මගින් නඩු භාණ්ඩයක් ලෙස නම් කොට අධිකරණයට භාර දී ඇත්තේ එම ගිනි අවිය අභ්‍යන්තරයේ ජීව උණ්ඩ හෝ වෙනත් පුපුරන ද්‍රව්‍ය තිබියදී බවත්, එය බරපතළ ගැටලුවක් බවත් එම අධිකරණ ප්‍රකාශකයා තව දුරටත් කීය.


ජීව උණ්ඩ හෝ වෙනත් පුපුරන ද්‍රව්‍ය අන්තර්ගතව ඇති කිසිදු ගිනි අවියක් අධිකරණයට බාර නොදිය යුතු බවට නියෝග පනවා තිබියදී මෙම ගිනි අවිය ජීව උණ්ඩ හෝ වෙනත් පුපුරන ද්‍රව්‍ය සහිතව අධිකරණයට භාර දුන්නේ කුමන හේතුවක් මතද යන්න ගැටලු සහගත බවද එම උසස් පොලිසි නිලධාරියා පවසා සිටියේය.

 

More News..