brand logo
logo
ඉපදුන දා ඉඳන්  මං ප්‍රේමය හොයනවා

ඉපදුන දා ඉඳන් මං ප්‍රේමය හොයනවා

10 September 2026 | ලක්ෂාන් ජයසූරිය


කලක සිට පුංචි තිරයේ දඩබ්බරයා ලෙස බොහෝ දෙනාගේ ආදරය දිනාගත් දර්ශන් තවරාජා සිංහල සිනමාවේ දඩබ්බරයා ලෙස මේ දිනවල බොහෝ දෙනාගේ ආදරය ලබනවා. මං හොයන්නේ ප්‍රේමයක් තුළින් අභිලාෂිගේ ප්‍රේමය සොයා දර්ශන් සමග අද වෙනස්ම කතාබහකට මුල පුරනවා. සැබෑ ළෙන්ගතුකමින් දර්ශන් ‘පිනිපලස’ හා එක්වුණා.


දර්ශන්, රංගන ශිල්පියෙක් වුණේ කොහොමද?


මං හොයන්නෙ ප්‍රේමයක් චිත්‍රපටයේ අධ්‍යක්ෂ තිළිණ බොරලැස්ස අයියා තමයි මාව මුලින්ම රංගන ක්ෂේත්‍රයට අරන් ඇවිත් නළුවෙක් කළේ. මාධ්‍ය ආයතනයක භාෂා පරිවර්තකයෙක් විදිහට වැඩකරගෙන ඉද්දි තිලිණ අයියා මට ආරාධනා කළා ටී.වී දෙරණ නාලිකාව විකාශය වුණ 'හිතුවක්කාර’ ටෙලි නාට්‍යයේ දුෂ්ටයගේ චරිතය රඟපාන්න. මම ඒ මොහොතෙදි තිලිණ අයියට කිව්වා මට සිංහල භාෂාව එච්චර බැරි නිසා හරියට රඟපාන්න පුළුවන් වෙයිද දන්නෙ නැහැ⁣ කියලා. එ​ෙවලේ තිලිණ අයියා මට කිව්වෙ උඹ වරෙන්කො, මම උඹව හදලා ගන්නම් කියලා. ඉතින් තිලිණ අයියා අධ්‍යක්ෂණය කරපු ‘හිතුවක්කාර’ ටෙලි නාට්‍යයේ දුෂ්ටයගේ චරිතය බාරඅරගෙන රඟපෑවා. එතැනින් පස්සෙ තිලිණ අයියා ටී.වී දෙරණ නාලිකාව වෙනුවෙන් නිර්මාණය කරපු ‘ශක්ති’ ටෙලි නාට්‍යයේ දුශ්ටයගේ චරිතය රඟපාන්නත් අවස්ථාව ලබාදුන්නා. ඉතින් අද මම රටම දන්න නළුවෙක් වෙලා ඉන්නෙ තිලිණ අයියා මාව රංගන ක්ෂේත්‍රයට ගෙනල්ලා රඟපාන්න උගන්නපු නිසයි.


දර්ශන්ගේ පවුලේ විස්තර මොනවද?


මම ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙක්. පවුලෙ ඉන්නෙ අම්මයි, තාත්තයි, අක්කයි. පදිංචි වෙලා ඉන්නෙ කොළඹ, කොච්චිකඩේ ප්‍රදේශයේ. ඉස්කෝලේ ගියෙ කොටහේන විවේකානන්ද විද්‍යාලයට.


මුල්ම රැකියාව මොකක්ද?


භාෂා පරිවර්ථනය තමයි මගේ මුල්ම රැකියාව. Facebook එකේ page එකක් විවෘත කරලයි මම භාෂා පරිවර්ථන රැකියාව මුලින්ම පටන්ගත්තෙ. ඒ අතරතුරේදි මට දෙමළ රූපවාහීනී නාලිකාවකට සම්බන්ධ වෙලා භාෂා පරිවර්තකයකු විදිහට රැකියාව කරන්න අවස්ථාව ලැබුණා.


රංගන ශිල්පියෙක් වීම ගැන පවුලේ අයගේ අදහස මොකක්ද?


මම නළුවෙක් වෙනවට පවුලේ අය කැමති වුණා. රඟපාන්න අවස්ථාව ලැබුණ නිසා වැඩ කරගෙන හිටපු රූපවාහීනී නාලිකාවෙන් මම ඉවත් වුණා. හැබැයි ඒ වෙද්දි මම රඟපාපු ටෙලි නාට්‍ය රූපවාහිනියේ විකාශය වුණේ නැහැ⁣. ඉතින් ඒ මොහොතෙදි අම්මා බය වුණා රස්සාවත් නැතුව රඟපාන ටෙලි නාට්‍යයත් විකාශය වෙන්නෙ නැතුව මගේ ජීවිතේ අතරමං වෙයි කියලා. හැබැයි රඟපාපු ටෙලි නාට්‍ය විකාශය වෙද්දි අපේ අම්ම⁣ගේ ඉහේ මලක් පිපුණා. ඉතින් අදටත් මගේ ලොකුම රසිකයෝ තමයි මගේ අම්මා ඇතුළු පවුලෙ අය. එයාලා මට කියලා තියෙන්නේ දක්ෂ නළුවෙක් වෙලා පවුලට, රටට ආඩම්බරයක් ගේන්න කියලා.


දෙමළ ජාතිකයෙක් වුණ දර්ශන් රංගන ක්ෂේත්‍රයට පිවිසීම ගැන ප්‍රේක්ෂකයො මොන විදිහෙ අදහසක්ද දැරුවේ?


මම ජීවත්වෙන්නෙ කොළඹ කොච්චිකඩේ ප්‍රදේශයේ. සිංහල, දෙමළ, මුස්ලිම් හැම ජාතිකයකම මිනිස්සුන්ව කොළඹදි අපිට ආශ්‍රය කරන්න හම්බවෙනවනෙ. ඉතින් මම රංගන ක්ෂේත්‍රයට පිවිසෙද්දි වැඩියෙන්ම සතුටු වුණේ සිංහල මිනිස්සු. ජාති භේද සලකන්නෙ නැතුව සිංහල නිර්මාණවලින් මම කලා ක්ෂේත්‍රයට පැමිණීම ගැන සිංහල මිනිස්සු සෑහෙන්න අගය කළා. සිංහල නිර්මාණ හරහා නළුවෙක් වීම ගැන දෙමළ, මුස්ලිම් මිනිස්සුත් මාව අගය කළා මිසක කවදාවත් මට දොස් කිව්වෙ නැහැ⁣. ජාති භේදයක් නැතුව මං වෙනුවෙන් ඉන්න මිනිස්සුන්ව රසිකයො කියන නමට සීමා කරන්න මම කැමති නැහැ⁣. ඔවුන් මට මගේ පවුලේ අය හා සමානයි.


රංගනය ගැන අත්දැකීමක් නොතිබුණ දර්ශන්ට රඟපෑම ගැටලුවක් වුණේ නැද්ද?


මම රංගන ක්ෂේත්‍රයට එද්දි සිංහල කතා කරන්න, ලියන්න, කියවන්න එච්චර බැහැ. ඉතින් භාෂා ගැටලුව නිසා ක්ෂේත්‍රයට ආපු කාලෙදි සාර්ථකව මට රඟපාන්න පුළුවන් වුණේ නැහැ⁣. හැබැයි මම සිංහල කතා කරන්න, ලියන්න, කියවන්න ඉගෙන ගත්තා. අද වෙද්දි සිංහල භාෂාව හොඳින් හසුරවන්න මට පුළුවන්.


දුෂ්ටයෙක් විදිහට රංගන ක්ෂේත්‍රයට පිවිසීම ගැන දර්ශන මොන විදිහෙ අදහසකින්ද හිටියෙ?


මම මාව වැඩිපුරම දකින්න කැමති දුෂ්ටයෙක් විදිහට. උදේට නැගි⁣ට්ටහම කොණඩ රැල්ලක් මූණ උඩට දාගෙන කාණ්ණාඩියෙන් බලාගෙන මම දුෂ්ටයට රඟපෑවා. රංගන ක්ෂේත්‍රය එද්දි මම කැමත්තෙන් හිටපු දුෂ්ටයගේ චරිතයෙන්ම රඟපාන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. අද වෙද්දි සිනමාවේ වීර චරිත කළාට වීරයට වඩා මම කැමති දුෂ්ටයගේ චරිතෙ රඟපාන්න.


දර්ශන්, ප්‍රේමයේදිත් දුෂ්ටයෙක් වෙන්න කැමතිද?


අනේ නැහැ⁣. ප්‍රේමයේදි මම හරිම ආදරණීය මනුස්සෙයෙක්. බලෙන් ආදරය උදුරගන්න උත්සාහ කරන්නෙ නැතුව අනිත් කෙනාගේ සතුට, සැනසීම වෙනුවෙන් කටයුතු කරන්නයි ආදරේදි මම කැමති.


දුෂ්ටයෙක් විදිහට රංගන ජීවිතය පටන්ගත්ත දර්ශන්, මං හොයන්නෙ ප්‍රේමයක් චිත්‍රපටය තුළ ප්‍රේමවන්තයෙක්ද?


ඒක මම මේ විදිහට කියන්නම්. මං හොයන්නේ ප්‍රේමයක් කියන නමේම තියනවනේ ආදරය බලාපොරොත්තු වීම. ඉතින් හැමෝටම හිතෙන්න පුළුවන් කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් හෝ කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් ආදරය බලාපොරොත්තුවෙන ආදර කතාවක් කියලා. ඒත් මං හොයන්නෙ ප්‍රේමයක් චිත්‍රපටය තුළ දිග හැරෙන්නේ ඊට වඩා වෙනස් පුළුල් පරාසයක දිවෙන කතාවක්. කෙල්ලෙක්, කොල්ලෙක්ගෙන් ආදරය හොයනවා වගේම, පුතෙක් තමන්ගේ තාත්තගෙන් ආදරය හොයන විදිහ, අම්මෙක්ගෙන් ආදරය හොයන විදිහ, සහෝදරියක් තමන්ගේ සහෝදරයාගෙන් ආදරය හොයන විදිහ ගැන ඇතුළුව වෙනස්ම Point of Views ගණනාවකින් මමත් මම වටා ඉන්න මිනිස්සුත් තමන්ගේ ළඟම අයගෙන් ප්‍රේමය හොයන විදිහ ගැනයි මං හොයන්නෙ ප්‍රේමයක් චිත්‍රපටයෙන් කියන්නෙ. ඉතින් මං හොයන්නෙ ප්‍රේමයක් තුළ මම ප්‍රධාන නළුවා වෙමින් පුතෙක්, සහෝදරයෙක්, පෙම්වතෙක් කියන භූමිකා තුනට පණ පොවනවා.


මේ වෙද්දි තිරගත වෙන චිත්‍රපට අතරින් ප්‍රේක්ෂකයෝ මං හොයන්නේ ප්‍රේමයක් නැරඹිය යුත්තෙ ඇයි?


ප්‍රේක්ෂකයෝ ප්‍රේමණීය චිත්‍රපටවල නිතර දකින නළු නිළියො වෙනුවට මම, අභිලාෂි සන්තුෂ්කි, පූජනී භාග්‍යා වෙනස්ම මුහු⁣ණුවරකින් මං හොයන්නෙ ප්‍රේමයක් තුළින් ප්‍රේක්ෂකයො අතරට ඇවිත් ඉන්නවා. ⁣නිතර දුෂ්ට චරිත රඟපාපු මම පළවෙනි වතාවට තමයි සිනමාවෙන් ප්‍රේමවන්තයෙක් වෙලා ප්‍රේක්ෂකයො අතරට ආවෙ, සිංහබාහු වැනි අතීතකාමි චිත්‍රපටවල හිටපු අභිලාෂි සාම්‍ප්‍රදායික රාමු බිඳලා නවීන ලෝකයේ පෙම්වතියක් විදහට මං හොයන්නෙ ප්‍රේමයක් තුළ දකින්න පුළුවන්. ටෙලි නාට්‍යවලට විතරක් සීමාවෙලා හිටපු පූජනී භාග්‍යා සිනමාව තුළ මතුකරන රංග පරාසය මං හොයන්නෙ ප්‍රේමය තුළින් නරඹන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ හුදෙක් කොල්ලො කෙල්ලො අතර සිද්ධ වෙන ආදර කතාවකට වඩා එහාට ගිය Point of Views ගණනාවකින් වෙනස්වුණ කතාවක් මං හොයන්නෙ ප්‍රේමයක් තුළ අන්තර්ගතවෙලා තියෙන්නෙ. ප්‍රේක්ෂකයාගේ රසවින්දනය තවත් කුල්මත් කරවන්න සිංහල සහ දෙමළ භාෂා දෙකම මිශ්‍ර වෙලා යන ගීත චිත්‍රපටය තුළ අන්තර්ගතවෙලා තියනවා. ඉතින් මේ සියලුදේවල් එක්ක මං හොයන්නේ ප්‍රේමයක්, කිසිම කම්මැලිකමක් නැතුව පවුලේ හැමෝම එක්ක එකතු වෙලා බලන්න පුළුවන් ලස්සන චිත්‍රපටයක් විදිහ⁣ට හඳුන්වන්න මම කැමතියි.


දර්ශන්ව නළුවෙක් කරපු තිලිණ බොරලැස්සගේ කුලුඳුල් චිත්‍රපටය තුළ රඟපාන්න ලැබුණ අත්දැකීම කොහොමද?


පුංචි තිරය තුළ ප්‍රමිතියෙන් ඉහළ ටෙලි නිර්මාණ කරපු අධ්‍යක්ෂවරයෙක් තමයි තිලිණ බොරලැස්ස කියන්නෙ. කොටස් ගාන වැඩි දීර්ග නාට්‍යවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු අපි නිතර දකිනවා. නමුත් තිලිණ අයියා ටී.වී දෙරණ නාලිකාව වෙනුවෙන් නිර්මාණය කරපු සිදූ, රාජිණී, හිතුවක්කාර, සිත නිදි නෑ, සිකුරු ඇවිත්, කෝඩුකාරි ඇතුළු දීර්ග ටෙලි නාට්‍යවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුවක් අපි දැක්කෙ නැහැ⁣. අවුරුදු ගානක ටෙලි නාට්‍යය නිර්මාණකරනයේ පළපුරුද්ද එක්කයි තිලිණ අයියා මං හොයන්නෙ ප්‍රේමයක් චිත්‍රපටය නිර්මාණය කරන්නෙ. පුංචි තිරය තුළ ඉහළ ප්‍රමිතියේ ටෙලි නිර්මාණ කළා නම් ඊට වඩා පුළුල්පාරසයේ මාධ්‍යයක්වන සිනමාව තුළ තිලිණ අයියා මොනවිදිහෙ නිර්මාණකරණයක් කරලා ඇතිද කියලා ප්‍රේක්ෂකයන්ට අවබෝධයක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. එදා තිලිණ අයියම තමයි මාව දුෂ්ටයෙක් විදිහට ප්‍රේක්ෂකයෝ අතරට ගෙනාවෙ. අද තිලිණ අයියමයි මාව වීරයෙක් කරලා ප්‍රේක්ෂකයෝ අතරට ගේන්නෙ. ඉතින් නිතර දකින සම්ප්‍රදායික සිනමාකරණයෙන් මිදිලා නව වෙනසක් කරමින් නිර්මාණය කරපු මං හොයන්නෙ ප්‍රේමයක් චිත්‍රපටයේ වීරයා විදිහට සම්බන්ධවීම මගේ රංගන ජීවිතයේ සුවි⁣ශේෂි සංධිස්ථානයන් විදිහට හඳුන්වන්න මම කැමතියි.


දර්ශන්, සැබෑ ජීවිතයේදි ප්‍රේමය හොයලා තියෙනවද?


ඔව්. අනිත් මිනිස්සු වගේම මමත් ආදරය බලාපොරොත්තු වෙන කෙනෙක්. ඉපදුන දා ඉඳලා මම ආදරය හෙව්වා. ආදරය හොයලා හම්බවුණ අවස්ථා තියෙනවා. හම්බවුණ ආදරය විවිධ ප්‍රශ්න හමුවේ අතහැරුණු අවස්ථාත් තියෙනවා. හම්බුණේ නැතත්, හිමි නොවුණෙ නැතත් අපි හැමෝම මැරෙන තුරාවට ආදරය හොයනවා කියලයි මම හිතන්නෙ.


ගායන ශිල්පිනී රයිනි චාරුකා එක්ක දර්ශන් සමීපව වැඩ කරනවා කියලා ආරංචියි...


ඔව්. රයිනි මගේ සමීප යාළුවෙක්. අපි දෙන්නා එකතුවෙලා R & D නමින් අධ්‍යාපන ආයතනයක් ප⁣ටන්ගත්තා. චිත්‍ර කලාව, ගායනය පුහුණු කිරීම, සංගීත නිෂ්පාදනය ඇතුළු දේවල් ගැන අපේ අධ්‍යාපන ආයතනයෙන් උගන්වනවා.

 

More News..