සිරකරුවන්ට පුතා කියපු ජේලර් චන්ද්‍රවංශත් මරලා තිබුණේ පොලුවලින් ගහලා
12 July 2026 | අනීෂා මානගේ
සිරකරුවන්ට පුතා කියපු ජේලර් චන්ද්‍රවංශත් මරලා තිබුණේ පොලුවලින් ගහලා
12 July 2026 | අනීෂා මානගේ
මීගමුව කලකට ඉහතදී ප්‍රකට වූයේ අඬන ගෑනුන්ටය. කොළඹ ලොකු මළගෙවල්වල කුලියට හැඬීමට මීගමුවෙන් ගෑනු ගෙනෙන බවට එකල රටේ තොටේ කතා වූවේය. ඒ එදාය. මෙදා මීගමුව මුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුව හැඬවූවේය. ඒ බන්ධනාගාර ඉතිහාසයේ සිරකරුවන් බන්ධනාගාර නිලධාරින් ඉලක්ක කරගත් රුදුරුතම ප්‍රහාරය එල්ල කළ නිසාය. මේ ප්‍රහාරයෙන් බන්ධනාගාර නිලධාරිහු අට දෙනෙක් අකාලයේ ජීවිතයට සමු දුන්හ. තවත් පිරිසක් තවමත් දැඩි සත්කාර ඒකකවල පණ අදිමින් සිටිති. අසූව දශකයේ මුල එල්ටීටීඊය වැලිඔය කෙන්ට් ෆාම්, ඩොලර් ෆාම්වලටඑල්ල කළ ප්‍රහාරයේදී එළිමහන් සිරකරුවන් බලාකියාගෙන සිටි බන්ධනාගාර නිලධාරින් අතරින් ඝාතනය වූයේ තිදෙනකු පමණි. ඒත් මෙදා ත්‍රස්තවාදීන්ට පවා නොදෙවැනි වූ පාතාලයන්ගේ අතින් බන්ධනාගාර නිලධාරින් අට දෙනකුම මියැදුණේ සාහසික අන්දමිනි.
ගිය ඉරිදා පස්වරුවේ මීගමුව බන්ධනාගාරයේ මහා ගාලගෝට්ටියක් ඇතිවුණි. ඒ ගාලගෝට්ටියෙන් රැඳවූවන් දෙදෙනෙක් මිය ගියහ. එදා මීගමුව බන්ධනාගාර තාප්පයට ඉහළින් රාත්‍රී අන්ධකාරය එබිකම් කරද්දී රැඳවූවන් වහලයෙන් බැස සන්සුන් වූයේ නිදි වර්ජිත රැයක් ගෙවා දමන්නට මෙනි. පසුදින උදෑසනද මීගමු බන්ධනාගාරය දවා අළු වූ දර ගොඩක සේයාවක් ගත්තත් අළු යට ගිනි පුපුරු තැනින් තැන ඉතිරි වී තිබිණි. මේ ගිනි පුපුරු ගැන නොදත් බන්ධනාගාර නිලධාරීහු කුසගින්නේ උන් බන්ධනාගාර රැඳවූවන්ගේ කුස පුරවන්නට ඉදිරිපත් වුණි. මේ රාජකාරියට ගියේ රැඳවූවන්ට උදේ හවා හමුවන, දකින මීගමු බන්ධනාගාර නිලධාරීන් නොවේ. එදා ගියේ වැලිකඩ බන්ධනාගාරයේ හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකාය එහෙමත් නැතිනම් "බන්දා පොලිස්" ඒකකයේ දස දෙනෙකි. බන්දා පොලිස් යැයි කියන්නේ බන්ධනාගාර පොලිසිය යන තේමාව පෙරටු කර ගත් ඒකකයකි. මේ සුවිශේෂී ඒකකය නිර්මාණය වන්නේ දෙදහස් විසි එක වසරේදීය. ඒ, එවකට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නගේ මැදිහත්වීමෙන් ය. එදා මේ ඒකකය ක්‍රියාත්මක වුණේ යුද හමුදා බුද්ධි අංශයේ සහයෝගය ඇතිවය. හිටිහැටියේ බන්ධනාගාරවලට පැන සිරකරුවන් සේම බන්ධනාගාර නිලධාරීන්ද පරීක්ෂා කරන්නේ මේ ඒකකයේ නිලධාරීන් ය. රට පුරා පිහිටි බන්ධනාගාරවල ක්ෂණික වැටලීම් කරන්නේද ඔවුහු ය.
වියරුව උන් රැඳවූවන්ට ආහාර රැගෙන ගිය බන්දා පොලිස් නිලධාරීන්ට යළි බන්ධනාගාර ගේට්ටුවෙන් පිටතට එන්නට හැකි වූයේ පණ ඇති වූවන් සේ නොවේ. සිරුරේ එකදු පණ නලක් හෝ නැතිවය.
“බන්දා පොලිස්” ඒකකයේ ජේලර් එස්.එච්.එස්. චන්ද්‍රවංශ, නියාමකවරුන් වන ඩී.ඩබ්ලිව් පුෂ්පකුමාර, ඒ.ඩී. තරංග, එස්.ඩිලාන් අබේවර්ධන, ටී.එන්.ආර්. තිලකසිරි, බී.එන්.එන්. නුවන් තරංග, ආර්.පී.ආර්. සංජීව සහ ජී.ඩබ්ලිව් උපාලි යන බන්ධනාගාර නිලධාරිහු පාතාලයේ මැරයන්ගේ ගොදුරු බවට පත්වූහ.
බන්ධනාගාර ඉතිහාසයේ පළමුවරට රාජකාරියේ යෙදී සිටි නිලධාරින් ඝාතනය වන්නේ එක්දහස් නවසිය අසූ තුනේදීය. ඒ, වැලිඔය කෙන්ට්ෆාම්හිදීය. කෙන්ට්ෆාම් යැයි කියන්නේ කලක් දමිළ සංවිධානවලට බදු අයිතිය තිබූ බිමක් ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුළත්මුදලිගේ මැදිහත්වීමෙන් නිදහස ලැබූ සිරකරුවන් පදිංචි කළ තැනක්ය. වියරු වූ එල්ටීටීඊ ත්‍රස්තවාදීහු කෙන්ට්ෆාම්වලට පැන එහි සිටි පිරිස කපාකොටා, වෙඩි තබා මරා දමනු ලැබූහ. එදා ඕවර්සියර්වරුන් වන කේ.එල්.ජී.ආරියදාස, ජී. බියන්වල හා බී. පියදාස යන නිලධාරිහු ජීවිතයට සමුදුන්හ. ඉන් අනතුරුව මෑත කාලයේ බන්ධනාගාර නිලධාරින් කිහිප දෙනෙක් ඝාතනය වන්නේ ගම්පහදීය. ඒ, 2005 සැප්තැම්බර් 26 වැනිදා ය. මීගමුව බන්ධනාගාරයේ සිට ගම්පහ අධිකරණයට රැඳවූවන් රැගෙන ගිය බසයක් හරස් කළ ටිපර් රියකින් ආ පිරිසක් කළ වෙඩිතැබීමක්ය. එදා ජේලර් විමලතුංග පෙරේරා, ඕවර්සියර්වරුන් වන නිරෝෂාන් සහ අමරසේන ජීවිතක්ෂයට පත්වූහ. ඉන් අනතුරුව තවත් බන්ධනාගාර බසයකට කළුතර එතනමඩලදී ප්‍රහාරයක් එල්ල වන්නේ සමයං නමැති සංවිධානාත්මක අපරාධකරු ඇතුළු පිරිසක් කළුතර සිට කඩුවෙල අධිකරණයට රැගෙන යද්දීය. ජේලර් එස්.ආර්. විජේරත්න සහ නියාමක එස්. තර්මිකන් එදා ජීවිතක්ෂයට පත්වුණහ. එහෙත් නිලධාරින් අට දෙනකු මරණයට පත්වන්නේ බන්ධනාගාර ඉතිහාසයේ පළමු වරටය.
මේ නිලධාරීන්ගේ මරණ ඔවුන් මෙතෙක් සෙවණ ලැබූ වැලිකඩ බන්ධනාගාරය පමණක් නොවේ මුළු මහත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවම කඳුලින් නැහැව්වේය. මිය ගිය නිලධාරීන් අතුරින් ජේලර් චන්ද්‍රවංශ සුවිශේෂී චරිතයක් වූයේ ය. ඔහුගේ මරණය බන්ධනාගාර නිලධාරින්ගේ පපුවට තියුණු කීරකින් ඇන්නාක් මෙන් වුණේය. ඒ මන්ද යත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හැමෝම පාහේ ඔහු හැදින ගත්තේ හිත හොඳ “ඩී.අයි. සර්” යැයි කියාය. ඩී.අයි සර් යැයි කියන්නේ ඔහු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සරඹ උපදේශක තනතුරේ බොහෝ කලක් සේවය කළ නිසාය.
බන්ධනාගාර නිලධාරින්ට ජේලර් චන්ද්‍රවංශගේ ලැදියාව කෙතරම්ද කියන්නේ නම් එදා මීගමුව බන්ධනාගාරයේදී සිරකරුවන්ගේ ග්‍රහණයට හසුවූ බරපතළ තුවාල ලැබූ ඔහු බන්ධනාගාර ගේට්ටුවෙන් පිටතට රැගෙන එද්දි කරදඬු උස් මහත්වූ බන්ධනාගාර නිලධාරිහු බොහෝ දෙනෙක් කඳුළු සැලූ නිසාය.
බන්ධනාගාර දෙපාර්තමේන්තු රාජකාරියට එක්වන සියලුම නිලධාරින් පාහේ ජේලර් චන්ද්‍රවංශ හොඳින් දැන සිටියේය. ඒ, පුහුණු පාසලේදී සරඹ පුහුණුවට ඔහු නිතැතින්ම හමුවන නිසාය. බන්ධනාගාර නිලධාරින්ට සේම ඔහු රැඳවූවන්ටද කතා කළේ “පුතා” යැයි කියාය. අඩුම තරමේ “උඹ” කියා හෝ රැඳවූවකුට අමතන්නට ජේලර් චන්ද්‍රවංශට හිත් දුන්නේ නැත.
ජේලර් චන්ද්‍රවංශට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බොහෝ මිතුරු මිතුරියන් වූහ. ඒ අතුරින් ඔහු කලක පටන් ඇසුරු කළ මිතුරියක් අපට හමුවූවාය. ඇය විශ්‍රාමික කාන්තා ජේලර් කුමාරි රත්නවීර ය.
“චන්ද්‍රවංශ වෙනම ඒකකයක හිටියත් අන්තිම වෙනකල්ම අලුතෙන් එන ආධුනිකයන්ව ඔහු පුුහුණු කළා. විසිර යාමේ පෙළපාළියේදී සරඹ පුහුණු කළේ ජේලර් චන්ද්‍රවංශයි. කවදාවත් සිරකරුවෙක්ට උඹ කියලා කතා කරපු කෙනෙක් නෙවෙයි. දරුවා, පුතා කියලයි කතා කරන්නෙ. මම කොච්චර දැනගෙන හිටියත් මම කාන්තා බන්ධනාගාරය භාරව ඉද්දි චන්ද්‍රවංශ මහත්තයාලා සර්ච් කරන්න එනව කියලවත් මට කියන්නෙ නැහැ.
හැමදාම උදේට ජේලර් චන්ද්‍රවංශ මට ගුඩ් මෝර්නින් මැසේජ් එකක් එවනවා. එදා සිද්ධිය වුණ දවසෙත් උදේ අටයි හයට මට කෝල් කළා. සාමාන්‍යයෙන් සතියකට වතාවක් මට කතා කරනවා. ජේලර්ට උගුරේ පිළිකාවක් තිබුණා. ඒකට බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට ගියාම මම දන්න වෛද්‍යවරයකුට කියලා උදව් කළා. ඒ නිසා චන්ද්‍රවංශ මහත්තයා මට තවත් කිට්ටු වුණා. මට එදා උදේ කතා කරලා තොරතුරු අහලා ලක්ෂ තිහ හතළිහකට ගෙයක් හොයල දෙන්න කිව්වා. අසාධාරණය හම්බ කළ කෙනෙක් නම් ඒ ගණන්වලට ගෙවල් හොයන්න ඕන නැහැනෙ. තව අවුරුදු දෙකකින් විශ්‍රාම යන්නයි චන්ද්‍රවංශ මහත්තයා බලාගෙන හිටියේ. එදා සිද්ධිය ටීවී එකෙන් දැනගත්ත ගමන් චන්ද්‍රවංශ මහත්තයාට කෝල් කළා. ඒත් ෆෝන් එක ආන්සර් කළේ නෑ. මගේ ගෝලයෙක් මීගමුවෙ හිටියා. එයා ඉන්නෙ චන්ද්‍රවංශ මහත්තයගෙ ගෙදරට ඉස්සරහ ගෙදර. එදා එයාගෙ දරුවො දෙන්නා චන්ද්‍රවංශ මහත්තයාගෙ නෝනා ළඟ තියලයි මගේ ගෝලයා ඇවිත් තිබුණේ. එයා මට කතා කරල කිව්වා චන්ද්‍රවංශ මහත්තයාට ගහලා මරලා කියලා. දරුවො දෙන්නව ගන්නවත් ආයෙ ගෙදර යන්න බැරුව හිටියා. මොකද ඒ වෙද්දි නෝනා දන්නෙ නැහැ චන්ද්‍රවංශ මහත්තයා නැතිවෙලා කියලා.....” විශ්‍රාමික ජේලර් කුමාරි කියන්නීය.
ජේලර් චන්ද්‍රවංශ පදිංචි වී සිටියේ දෙමටගොඩ පිහිටි බන්ධනාගාර නිල නිවාසවලය. විශ්‍රාම යන විට ඒ නිල නිවෙස නැවත දෙපාර්තමේන්තුවට භාර දිය යුතුවන්නේය. එහෙත් ඔහුට අඹුදරුවන් සමග ස්ථීර පදිංචියට යන්නට හරිහමන් තැනක් නොතිබුණේය. ඒ මන්දයත් කෑගල්ලේ පිහිටි ඔහුගේ නිවෙස දිට්වා සුළි කුණාටුවට රැගෙන ගිය නිසාය. දන්නා කියන මිතුරු මිතුරියන්ට කියා අඩු මුදලකට ගෙයක් මිලදී ගන්නට ඔහු සිතන්නට ඇත්තේ ඒ නිසාය.
“මේ වගේ අවංක හොඳ නිලධාරියෙක් දෙපාර්තමේන්තුවට අහිමි වෙන එක අපරාධයක්...!” ජේලර් කුමාරි කියන්නීය.
දෙදහස් අටේ සිට දෙදහස් දහසය දක්වා බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ තූර්ය වාදක කණ්ඩායමේ සේවය කළ නියාමක මනෝජ් රුක්මාල් ද අපට ජේලර් චන්ද්‍රවංශ ගැන තතු කීවේය. බන්ධනාගාර සේවයෙන් ඉවත්ව සිටින ඔහු දැන් සිටින්නේ කොරියාවේය. තූර්ය වාදක කණ්ඩායමේ සේවය කළ මනෝජ්ලාට ජේලර් චන්ද්‍රවංශ බොහෝ විට හමුවුණේය. ගෝලයන් දහස් ගණනක් හිටියත් ඒ සෑම කෙනෙකුම ජේලර් චන්ද්‍රවංශට හොඳින් මතකයේ රැඳුණේය.
“අපිට සීරුවෙන් ඉන්න කියල දුන්නෙ සර්. හිරගෙදර රාජකාරිවලට වඩා සර් වැඩිපුරම ගැළපුනේ සරඹ උපදේශක තනතුරට. සර් කැමැත්තෙන් ඉන්න ඇත්තෙත් ඒ තනතුරට. මොකද ඒ නිල ඇඳුම ඇන්දම සර් මාර පෙනුමයි. තරුණ කොල්ලන්ට සර් එක්ක හැරෙන්නවත් බෑ. ඝන සරඹ කරද්දි සර්ටම ආවේණික අංග රටාවක් තිබුණා. සාමාන්‍ය ගමනේදී වුණත් පුහුණුව නිසා ලැබුණු සෘජු ශෝබමාන විලාසයක් සර්ට තිබුණා. නිල ඇඳුම හරිම ලස්සනට අඳිනවා. සපත්තු වුණත් කොහොම පොලිෂ් කරනවද දන්නෙ නැහැ. ඒ තරම් ස්මාර්ට්. බුලත්, සිගරට් මොකුත් ගන්නෙ නෑ. අඩුම තරමෙ ඩ්‍රින්ක් එකක්වත් දානව මම දැකල නෑ. ඩී.අයි. බැජ් එක දෙපාර්තමේන්තුවෙන්ම තිබුණේ දෙන්නටයි. අලුත් අයට අවස්ථාව දෙන්නත් එක්ක තමයි ප්‍රමෝෂන් එක ගන්න ඇත්තේ. මුළු දෙපාර්තමේන්තුවේම ඉහළම නිලයේ නිලධාරින් පවා ඔහුට ගෞරව කළා......” මනෝජ් කියන්නේය.
ජේලර් චන්ද්‍රවංශ සමග එදා මීගමු බන්ධනාගාරයට ගිය කුරුණෑගල වත්තෙගෙදර පදිංචි නියාමක ඩිලාන් අබේවර්ධනද සදහටම ජීවිතයට සමුදුන්නේය. දස මස් බිලිඳියකගේ සහ අට හැවිරිදි දියණියකගේ පියෙකු වන ඩිලාන් බන්ධනාගාර සේවයට එක් වන්නේ දෙදහස් විසි දෙකේදීය. ඊට පෙර ඔහු සේවය කර ඇත්තේ නාවික හමුදා විනයාරක්ෂක පොලිසියේ ය. එහි වසර දොළහක සේවා කාලයක් සම්පූර්ණ කළ ඩිලාන් බන්ධනාගාරයට එක් වන්නේ ඉන් අනතුරුවය. වසර පහකට පෙරාතුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට එක්වුණ ඩිලාන් රට පුරා පිහිටි බන්ධනාගාර රැසක සේවය කළේ බුද්ධි නිලධාරියකු හැටියටය. අවසන් වරට ඔහු රාජකාරි කළේ වැලිකඩ බන්ධනාගාරයට අනුයුක්තව හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකායේ සාමාජිකයකු හැටියටය.
එදා සිය පුතු රාජකාරි ජීවිතයේ අවසන් ගමන මීගමු බන්ධනාගාරයට යන විත්තිය ඩිලාන්ගේ මව වන දමයන්ති පෙරේරා දැන සිටියාය. ඒ බව ඇය දැනගත්තේ ඩිලාන් පුතු එදා නිවාඩුවට ගෙදර ඒමට නියමිතව තිබූ නිසාය.
“පුතා පස් වෙනිදා නයිට් ඩියුටි ඉවරවෙලා ගෙදර එන්න හිටියේ. ඒ අතරේ පුතා මට කතා කළා. මට කිව්වා අම්මේ මීගමුව බන්ධනාගාරයේ ලොකු කලබලයක් ඒ හින්දා ගෙදර එන්න වෙන්නෙ නැහැ කියලා. ඒ වගේම මගෙ පුතාට ආයෙ ගෙදර එන්න බැරි වුණා.....”
ඩිලාන්ගේ මරණය ගැන නිවැසියන් දැනගෙන ඇත්තේ දන්නා හඳුනන කෙනෙකුගෙනි. හත්වැනිදා පස්වරුව වනතුරු බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඩිලාන්ට වූ ඇබැද්දිය ගැන පවුලේ ඥාතීන්ට දන්වා නොතිබුණේය. සිය පුතුගේ මරණය ගැන සැකයක් ඇති බව අම්මා කියන්නේ ඒ නිසාය. ඔවුන් කියන්නේ මේ මරණ ගැන සාධාරණ පරික්ෂණයක්ය.
එදා ඩිලාන්ලා සමග මීගමු බන්ධනාගාරයට ගිය බුලත්සිංහල දෙල්මෑල්ල අඹගහකන්දේ පදිංචි දර්ශන තරංග අතුකෝරාළද සදහටම දිවියෙන් සමුගත්තේය. කලකට ඉහතදී තැපැල් සේවකයකු ලෙස දෙල්මෑල්ල තැපැල් කාර්යාලයේ සේවය කළ ඔහු සිය සොහොයුරාගේ බන්ධනාගාර නිල ඇඳුමට බොහෝ ආශා කළේය. ඒ වන විටත් දර්ශනගේ වැඩිමහල් සොහොයුරා බන්ධනාගාර සේවයේ සිටියේය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අලුතින් නිලධාරින් බඳවා ගන්නා බව දැනගත් වහාම දර්ශන කළේ අයැදුම්පත් යොමු කිරීමය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට එකතු වීමේ වාසනාව ඔහුට හිමි වුණත් ඒ තීරණයේ ඔහුගේ අවසන් ඉරණම ලියැවී තිබුණේය.
සිය බිලිඳියත් බිරිඳත් සමග එකට ජීවත්වෙන්නට හීන මැවූ දර්ශන පානදුර බණ්ඩාරගම තනමින් තිබූ අලුත් ගෙයි පදිංචියට ගියේ මෑතකය. ඔහු බණ්ඩාරගමින් ඉඩමක් ගත්තේ රස්සාවට යන්නට පහසු නිසාය. ඒත් දැන් රස්සාවට යන්නට ඔහු නැත. දර්ශන සිය පුංචි පවුල සමග තැනූ මාළිගා සියල්ලම එක් මොහොතකින් කඩාගෙන වැටුණේය. පාසල් මිතුරන් සමගත් ගමේ මිතුරන් සමගත් හිතහොඳ පවත්වාගත් දර්ශනට හැමෝම කීවේ චූටික්කා කියාය. ඒත් අද චූටික්කා නොමැතිව දෙල්මෑල්ල ගමම පාළුවට ගොසිනි.
දර්ශනලා සමග මීගමු බන්ධනාගාරයට ගිය රඹුක්කන වැලිකන්දේ වසන්ත පුෂ්පකුමාරද සිය සගයන් සමග මීගමු බන්ධනාගාරයේදී අවසන් ගමන් ගියේය. පුෂ්පකුමාර බන්ධනාගාර රාජකාරියට එන්නට පෙර සිටියේ යුද හමුදාවේය. හමුදාවේ සේවා කාලය අහවර වූ පසු ඔහු කළේ බන්ධනාගාර රාජකාරියට එක් වීමය.
පුෂ්පකුමාරලා මීගමු බන්ධනාගාරයේ රාජකාරියට යන්නට මත්තෙන් ඔහු රඹුක්කන ගෙදර ගොසින් ආවේය. දෙවැනිදා ගෙදර ගිය ඔහු නැවත රාජකාරියට ආවේ පස් වැනිදා ය. ඒ ඔහු නිවැසියන් සමග ගතකළ අවසාන දින කිහිපය ය. පිය සෙනෙහස අහිමි වූ නව යෞවන වියෙහි පසුවන දියණියන් දෙදෙනකුට රැක බලා ගැනීමේ මහා අභියෝගය දැන් පුෂ්පකුමාරගේ බිරිය වන අයේෂාට පැවරී ඇත්තේය.
මීරිගම පදිංචිව උන් නියාමක රොෂාන් සංජීව ද නන්නාඳුනන පාතාලයන් පිරිසක් මැද්දේ අවසන් ගමන් ගිය පිරිස අතර සිටියේය. ඔහු කලකට ඉහතදී ගුවන් හමුදාවේ සේවය කළේය. ආරක්ෂක අංශයේ රාජකාරියට රොෂාන් බොහෝ ආශා කළේය. බන්ධනාගාරයට ඔහු එක් වන්නේ ඉන් අනතුරුවය. රොෂාන්ගේ මස්සිනා වන දුමිදු අපට හමුවුණේය. රොෂාන්ලාගේ නිවෙසත් ඔහුගේ බිරිඳගේ නැගණියගේ නිවෙසත් වෙන් වී ඇත්තේ එක් තාප්පයකින් පමණය. දුමිදු යැයි කියන්නේ රොෂාන්ගේ බිරිඳගේ නැගණියගේ සැමියාය. දුමිදු රත්නායක අපට මෙසේ කීවේය.
“එදා අයියගෙ යාළුවෙක් මට කතා කරල කිව්වා අයියා නැතිවෙලා කියලා. මීගමුවේ ප්‍රශ්නය ගැන අපි දැනගෙන හිටියත් අයියා ගැන තොරතුරක් ආවෙ නැහැ. ජැමර් තියෙන නිසා කෝල් ගන්නත් බැරුව හිටියේ. අයියා ගමේ පොදු වැඩවලට ගොඩක් උනන්දු කෙනෙක්. අපිත් එක්ක වුණත් හරි එකතුයි. ක්‍රීඩාවට කැමැති කෙනෙක්. දැන් අයියා නැති නිසා ගමේ හැමෝම දුක්වෙනවා.” රොෂාන් කියන්නේය.
බලංගොඩ පදිංචිව උන් බී.එන්.එන්. තරංගද එදා මීගමු බන්ධනාගාරයට රොෂාන්ලා සමග ගියේය. තරංග පවුලේ බාලයාය. වැඩිමලා නුවන් තරංගය. තරංගලා කුඩා කල ඔවුන්ගේ පියා මෙලොව හැර ගියේය. එදා පටන් කම්කරු රැකියා කරමින් පුතුන් දෙදෙනා රැක ගත්තේ අම්මාය. කරදඬු උස්මහත්වූ තරංග නාවික හමුදාවට බැඳී වසර දොළහක් එහි සේවය කළේය. ඔහු බන්ධනාගාරයට එක්වූයේ ඉන් අනතුරුවය.
“මල්ලි කලින් දවසේ රෑ ඩියුටි ඕෆ්වෙලා ගෙදර එන්නයි හිටියෙ. ඒත් මීගමුවෙ බන්ධනාගාරෙ සිද්ධිය නිසා කැඳවලා තිබුණා. මල්ලිලා ගිහිල්ලා ඇති කියලා හිතලා අපි සෝදිසි කළා. එතකොටයි දැනගත්තෙ මල්ලි නැතිවෙලා කියලා.” තරංගගේ අයියා වන නුවන් කියන්නේය.
නියාමක තරංග ඇතුළු පිරිස සමග මැදවච්චියේ නිලක්ෂ රුවන් තිලකසිරි ද මීගමු බන්ධනාගාරයේදී අවසන් ගමන් ගියේය. නිලක්ෂද සිය පළමු රැකියාව කළේ නාවික හමුදාවේය. දෙදහස් විසිඑකේදී බන්ධනාගාරයට එක් වුණ ඔහු කුඩා කල පටන් කැමැති වූයේ ආරක්ෂක අංශයේ රැකියාවකටය. ඔහුගේ අයියා කැබැතිගොල්ලෑව පොලිසියේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක්ය. මීගමු බන්ධනාගාරයේ මරු කටට මල්ලි යන විත්තිය අයියා දැන නොසිටියේය. මල්ලි මියගිය විත්තිය අයියලා දැනගත්තේ බන්ධනාගාර ගැටුම සමථයකට පත්වූ පසුවය.
මීගමු බන්ධනාගාර ගැටුමෙන් නිලධාරින් හත් දෙනකු හය වැනිදා මිය යද්දි බරපතළ තුවාල ලබා සිටි නියාමක මතක ගමගේ උපාලි දැඩි සත්කාර ඒකකයට යැවුණේය. ඒත් ඔහුගේ ජීවිතයට තවත් ආයුෂ නොතිබුණේය. උපාලි රෝහලේ ඇඳක් මත මියැදුණේය. කඹුරුපිටියේ පදිංචිකරුවකු වන උපාලි පිරිමි දරුවන් දෙදෙනකුගේ පියෙකි. ඔහු කුඩා කල පටන් උපාලි ඇසුරු කළ මිතුරෙකු වන මාතර බන්ධනාගාරයේ ක්‍රීඩා උපදේශක නියාමක රුචිර මදුරංග අපට හමුවුණේය.
“උපාලි කියන්නෙ අපිට හිටපු නිහතමානීම කොල්ලෙක්. මම බන්ධනාගාරයට ගියා. උපාලි නේවි එකට ගියා. නේවි එකේ අවුරුදු දොළහක් ඉඳලා උපාලිත් බන්ධනාගාරයට ආවා. ඌ පොඩි කාලෙ ඉඳලම යුනිෆෝම් එකට කැමැතියි. ඒ නිසායි නේවි එකට යන්නත් ඇත්තෙ. මීගමුව බන්ධනාගාරයේ ප්‍රශ්නය දැනගත්ත ගමන් මම දැනගත්තා උපාලි ගිහින් ඇති කියලා. මම හෙව්වෙ උපාලි ගැන. අයිසීයූ කිව්වාම මම ගියා උපාලිව බලන්න. අමාරු වුණත් නැතිවෙයි කියලා හිතුවෙ නෑ...” රුචිර කියන්නේය.

