'මුරසු' අද මැදියම් රෑ ඉන්දියාවට කඩා වදී - කාලගුණයෙන් රතු නිවේදනයක්
02 November 2026
'මුරසු' අද මැදියම් රෑ ඉන්දියාවට කඩා වදී - කාලගුණයෙන් රතු නිවේදනයක්
02 November 2026
'මුරසු' සුළි කුණාටුව ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීම හේතුවෙන් බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ මන්නාරම සිට ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
ඒ අනුව, එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (02) පෙරවරු 10.30ට ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
බටහිර-මධ්‍යම සහ ඊට යාබද නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින 'මුරසු' සුළි කුණාටුව අද පෙරවරු 5.30 වන විට උතුරු අක්ෂාංශ 13.9° සහ නැගෙනහිර දේශාංශ 81.8° ආසන්නයේ කේන්ද්‍රගතව පැවති බව එම නිවේදනයේ සඳහන් වේ.
මෙම සුළි කුණාටුව වයඹ දෙසට ගමන් කරමින් අද මධ්‍යම රාත්‍රිය සහ හෙට (03) අලුයම් කාලය අතරතුර ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ හරහා ගොඩබිමට ඇතුළුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අදාළ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70ත් 80ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි අතර, ගිගුරුම් සහිත තද වැසි ඇතිවීම හේතුවෙන් මුහුද ඉතා රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, උතුරු අක්ෂාංශ 10ත් 17ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙසත්, එම මුහුදු ප්‍රදේශවල සිටින ධීවර හා නාවික ප්‍රජාව ආරක්ෂිත ප්‍රදේශ වෙත යාත්‍රා කරන ලෙසත් උපදෙස් දී තිබේ.
එමෙන්ම මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වූ ගැඹුරු මුහුදු ප්රදේශවලද නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම් දී ඇත.

