brand logo
logo
පාකිස්තාන රජයෙන් දැඩි වියදම් පාලන ක්‍රියාමාර්ග

පාකිස්තාන රජයෙන් දැඩි වියදම් පාලන ක්‍රියාමාර්ග

17 September 2026

පාකිස්තාන රජය රාජ්‍ය වියදම් පාලනය කිරීම සහ ඉන්ධන සංරක්ෂණය සඳහා නව දැඩි ක්‍රියාමාර්ග මාලාවක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.


සැප්තැම්බර් 17 වැනිදා නිකුත් කළ කැබිනට් අංශයේ නිවේදනයකට අනුව, රාජ්‍ය වාහන සඳහා වෙන් කරන ඉන්ධන ප්‍රමාණය සියයට 50කින් අඩු කෙරේ.

කෙසේ වෙතත්, සන්නද්ධ හමුදා, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, අත්‍යවශ්‍ය සේවා සහ ෆෙඩරල් මණ්ඩල ආදායම් ආයතනයේ මෙහෙයුම් කටයුතු සඳහා මෙම සීමාව අදාළ නොවන බව සඳහන්ය.


එමෙන්ම 2026/27 මූල්‍ය වර්ෂය සඳහා පුනරාවර්තන නොවන වියදම් අයවැයෙන් මාසිකව සියයට 5ක් අඩු කිරීමටද තීරණය කර තිබේ.


නව වාහන මිලදී ගැනීම සහ ඇතැම් කල් පවත්නා භාණ්ඩ මිලදී ගැනීමද තාවකාලිකව තහනම් කර ඇති අතර, සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙම සීමා අදාළ නොවන බව නිවේදනයේ සඳහන් වේ.


විදේශ සංචාර සහ විදේශ ගමන් මාස තුනක කාලයක් තාවකාලිකව අත්හිටුවා ඇති අතර, අත්‍යවශ්‍ය සංචාර සිදුකිරීමට සිදුවුවහොත් අමාත්‍යවරුන්, උපදේශකවරුන් සහ අනෙකුත් අදාළ නිලධාරීන් ගුවන්යානවල සාමන්‍ය මගීන් ගමන්කරන පන්තියේ ගමන් කළ යුතු බවටද උපදෙස් ලබාදී ඇත.


රාජ්‍ය ආයතනවල රැස්වීම් හැකිතාක් දුරට දුරස්ථ සම්මන්ත්‍රණ ක්‍රමවේදය ඔස්සේ පැවැත්වීමටත්, විදේශ නියෝජිත පිරිස් පැමිණෙන අවස්ථා හැර රාජ්‍ය නිල භෝජන සංග්‍රහ නොපැවැත්වීමටත් තීරණය කර තිබේ.


රජයේ මුදලින් පැවැත්වෙන නිල සම්මන්ත්‍රණ, පුහුණු වැඩසටහන් සහ සම්මන්ත්‍රණද තහනම් කර ඇති අතර, අත්‍යවශ්‍ය අවස්ථාවලදී රජයේ ශ්‍රවණාගාර, කමිටු කාමර සහ අනෙකුත් නිල පහසුකම් භාවිත කරන ලෙස දැනුම් දී ඇත.

මීට අමතරව, විවාහ උත්සව හා ඒ ආශ්‍රිත අවස්ථාවලදී එක් ආහාර වර්ගයක් පමණක් ලබාදිය යුතු බවටද නියම කර තිබේ.


මේ අතර, පාකිස්තානයේ ව්‍යාපාරික හා වාණිජ ආයතන සඳහා දැනට ක්‍රියාත්මක වෙළඳසැල් වසා දැමීමේ වේලාවන් තවදුරටත් ක්‍රියාත්මක වන බව නිවේදනයේ දැක්වේ.


ඒ අනුව සාමාන්‍ය වෙළඳසැල්, වෙළේඳපොළ සහ සාප්පු සංකීර්ණ රාත්‍රී 9.00ටත්, උත්සව පැවැත්වෙන ස්ථාන රාත්‍රී 10.00ටත් වසා දැමිය යුතුය.


ආපනශාලා, කැෆේ සහ ආහාර අලෙවිසැල් රාත්‍රී 11.00 දක්වා විවෘතව තැබිය හැකි අතර, takeaway සහ home delivery සේවා සඳහා එම සීමාවෙන් නිදහස් කර තිබේ.

ඖෂධහල්, රෝහල්, සායන, වෛද්‍ය සැපයුම් අලෙවිසැල්, ඉන්ධන පිරවුම්හල්, විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන, ජිම් සහ ක්‍රීඩා පහසුකම් ඇතුළු ඇතැම් සේවා මෙම වෙළඳ වේලා සීමාවෙන් නිදහස් කර ඇත.


මෙම ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය අවස්ථාවලදී තනි තනි සිද්ධි පදනම මත නිදහස් කිරීම් සලකා බැලිය හැකි බවද පාකිස්තාන රජය සඳහන් කර තිබේ.

 

More News..