brand logo
logo
පූසන්ට වඩා ලොකු මීයෝ කොළඹ වටකරති

පූසන්ට වඩා ලොකු මීයෝ කොළඹ වටකරති

08 September 2026 | ශිරාන් රණසිංහ

මේ දිනවල කොළඹ නගරයට යන අයකුට හිරු රශ්මිය දරාගත නොහැකිය. දුහුවිල්ලටත් ගිනි ඇවිළෙන තරමට හිරු රශ්මිය දැඩිය. කොළඹ කොටුව හා පිටකොටුව යන ප්‍රදේශවලට දිනකට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් යති, එති. පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය දකින කළ ‘අනේ අපොයි’ කියා සිතේ. එය දැන් නටබුන්ව ගොසිනි. අනෙක් අතින් නටබුන්ව ඇති පාවෙන වෙළෙඳ සංකීර්ණයේ යට පිහිටි කොළ පැහැති බේරේ වැවේ දුඟද නාස් පුඩු හකුළුවා දමන්නේ හමා යන දුර්ගන්දය හමුවේ ඔක්කාරය ඇති කරමිනි.


අප මේ ගමන් කරමින් සිටින්නේ ශ්‍රී ලංකාව නමැති අති රමණීය රටේ ප්‍රධාන වෙළෙඳ නගරය මැදිනි. පාවෙන වෙළෙඳ සංකීර්ණයේ දිරා ගිය ලෑලි මතින් ඇවිද යෑම අතුරේ යන ගමනක් තරම් අවදානම් ය. එහි ඉදිකළ කඩ වැසී ගොසිනි. එහි පිහිටි එක් අවන්හලක වාඩිවී සිටින දෙතුන් දෙනෙක් පිපාසය නිවාගනු වස් සිසිල් බීම බොති. තවත් දෙදෙනෙක් එහි ඇති මේසයක් වටකර වාඩිවීගෙන මොන මොනවාදෝ ආහාරයට ගනිමින් සිටිති. බේරේ වැවෙන් හමා එන දරාගත නොහැකි දුර්ගන්ධය හමුවේ මේ අය ආහාර ගන්නේ කෙලෙසද? එක්කෝ ඒ අයට ඉන්ද්‍රියන් ගඳ සුවඳට සංවේදී නැත. නැතිනම් මේ දුර්ගන්ධය ඔවුන්ට සාමාන්‍යකරණය වී ඇත.


මේ අතර කපුටන් රෑනක් බිම වැටී පොර කන්නේ මියගිය සතකුගේ මස් ගොඩ ඩැහැගන්නටය. දෙනෝ දහසක් මිනිසුන් ගැවසෙන මේ නගරයේ සිටින ඒ කපුටන් බිඳක් හෝ බිය නැත. කොළඹ කපුටෝ මේ පොර කකා මස් ගොඩ ඩැහැ ගන්නේ මිය ගිය පූසකුගේ නිසල සිරුරකින් යැයි එය දකින අයකුට පළමුව සිතෙන සිතුවිල්ලය. නැත. ඒ මිය ගිය මීයකුගේ සිරුරකි. ඒ තරමට ම මීයා විශාලය. කොළඹ නගරයේ ඉන්නේ පූසන්ටත් වඩා විශාල මීයන් ය. මේ මීයෝ ගෙවල්වල සිටින මීයන්ට වඩා විශාලය. කොටින්ම කියතොත් ඔවුන් ඌරු මීයන් ය. පූසන්ටත් වඩා විශාල මීයන්ගේ ‘මීපුරය’ බවට කොළඹ දැන් පත්ව ඇත.


අද අපි මේ මීයන් පිළිබඳව කියන්නට යන්නේ අමුතු කතාවකි. මීට දශක කිහිපයකට පෙර එහෙමත් නැතිනම් වසර සියයකට පෙර තිබූ කොළඹ මෙන් නොව අද කොළඹ නගරය එක අතකට අපායක් බඳු තැනක් බවට පත්ව තිබේ. බේරේ වැවත් ඒ වැවට යා වුණ ඇළ මාර්ගත් දුර්ගන්ධය පිරි අසූචි වළවල් බට පත්ව ගොසිනි. හැම තැනම අනවසර ඉදිකිරීම්ය. ලෑලි කඩේ සිට අහස උසට ඉදිකළ ගොඩනැගිලිවල මළ මුත්‍රා ගලා එන්නේ මේ ඇළ මාර්ග වෙතය. ඇළ මාර්ගවලට ගලා එන මේ අසූචි බේරේ වැවේ පත්ලේ අඩි ගාණක් පුරා තැන්පත්ව ඇත. පායන කාලයට කොළඹ කොටුව, පිටකොටුව පමණක් නොව ගංගාරාමය ප්‍රදේශය පුරාද පැතිර ඇති බේරේ වැව හරහා හමා එන්නේ එකී දුර්ගන්ධයයි. කොටුව දුම්රිය පොළ සිට දුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ පවා නාස් පුඩු හැකිළී යන්නේ මේ දුර්ගන්ධය නිසාය. එපමණක් නොව ගෙවල්වලින් ඉවත දමන කෑම බීමද, කඩවල්වල ඉවතලන සියල්ල ද එක්කෝ මහ පාරේය. නැත්නම් ඇළේය. එහෙමත් නොමැති නම් බේරේ වැ​වේ ය.


අද කොළඹ මී පුරයක් බවට පත්ව ඇත්තේ මේ දහජරාව මීයන්ට රජ දහනක් නිර්මාණය කර ඇති නිසාය.


මේ මීයන්ගේ කතාව කොතැනින් නතරවේ දැයි අපි නොදනිමු. එක්කෝ මී උණෙන් කොළඹට යන එන උදවිය දස දහස් ගණන් ජනයා, මිය යන දවසක් ඒමට හැකිය. එන දවසක් නොඑන බවට ද කිසිවකුට සහතික විය හැකිද? මේ මහාමාරියා මිනිසුන්ට වැලඳී මිය යා නොහැකි යැයි කිව හැක්කේ කාටද? එනිසා මුහුද හත් ගව්වක් තිබියදී අමුඩය ගැසීමක් බඳු වුවත් කොළඹ මී පුරය ගැන අප මේ කරුණු හෙළි කරන්නේ මෙය වසංගතයක් බවට පත්වීමට පෙරාතුවය. මේ ඒ කතාවය.


‘පූසෝ නැති කල මීයෝ බසිති එළියට, නමැති කතාව දැන් යල් පැන ගොසිනි. ‘මීයෝ එළියට බසින විට පූසෝ පලා යති’ යනුවෙන් එය වෙනස් විය යුතුය. මේ කියන මීයන් එසේ මෙසේ මීයන් නොව පූසකුටත් වඩා උන් විශාලය. ඔවුන් ඉන්නේ ඇමේසන් වනයේ හෝ වෙනත් රටක නොව අපේ මේ ලංකාවේය. මෙරට ප්‍රධාන නගරය වනසා දමන මේ මීයන් හඳුන්වන්නේ ඌරු මීයන් නමිනි. කොළඹ වරාය පරිශ්‍රයේ සිට කොටුව, පිටකොටුව පමණක් නොව හෙට්ටියාවත්ත, කොටහේන, බ්ලූමැන්ඩල් ආදී ප්‍ර​දේශවල සිට මෝදර මට්ටක්කුලිය, ග්‍රෑන්ඩ්පාස්, දෙමටගොඩ, බොරැල්ල ආදී කී නොකී ප්‍රදේශ රැසක ඌරු මී වසංගතයක් සේ පැතිර ගොස් අවසන්ය.


කොළඹ වරායේ මී රජදහන


කොළඹ වරාය ගත් කල ඌරු මීයන්ගේ පාරාදීසය යැයි කීවොත් එය අතිශයෝක්තියක් නොවේ. ඒ තරමටම වරාය පරිශ්‍රය ඌරු මීයන්ගෙන් පිරී ගොස් ඇත. ඊට ප්‍රධානම හේතුව වන්නේ වරාය තුළ වසර ගණනක් තිස්සේ එකම තැන ගොඩ ගසා තිබෙන බහලුය. මී ගුල් වලින් පිරි එම ස්ථානවල සිය ගණනක් මීයෝ වෙසෙති. වරාය පරිශ්‍රය ගත් කළ මීයන් දසදහස් ගණනක් වාසය කරන භූමියකි. වරාය සේවකයන්ගේ ආපනශාලාවලින් බැහැර කරන ආහාර ද්‍රව්‍ය වැනි දෑ හේතුවෙන් මීයන් බෝවීම සීග්‍රයෙන් සිදුවන බව වරාය සේවකයෝ පවසති.


කොළඹ කොටුව, පිටකොටුව මහවීදිය, පළමු හා දෙවැනි හරස් වීදිවල සිට ආමර්වීදිය, කොටහේන, දෙමටගොඩ, ග්‍රෑන්ඩ්පාස්, මරදාන, පුංචි බොරැල්ල, බොරැල්ල ආදී ප්‍රදේශවලත්, මෝදර, මට්ටක්කුලිය, හෙට්ටියාවත්ත ආදී ප්‍රදේශවල හෝටල්වල වළන් හට්ටිවල පවා ඌරු මීයෝ පිනුම් ගසන අයුරු අපි සියැසින් දුටුවෙමු. ඒ අනුව අපට වැටහුණේ මිනිසුන් ආහාරයට ගන්නේ ඌරු මීයන් විසින් බාගෙට අනුභව කළ එළවළු වර්ග බවය.


මේ සම්බන්ධයෙන් විමසීමේදී පිටකොටුව පිහිටි සුපිරි හෝටලයක අරක්කැමියෙක් පැවසුවේ මෙවැන්නකි.


‘‘මගෙ නම ගම ලියන්න එපා. පින්තූර ගන්නත් එපා. මම කරන්නේ රස්සාවක්. ඇත්තටම මේ ඌරු මීයන්ගෙ ප්‍රශ්නෙ බරපතළ එකක්. අපේ කුස්සිවල එළවළු ටික බේරගන්නෙත් අමාරුවෙන්. දවසකට අපි හාල් ගෝනි ගාණක් උයනවා. මේ ඉවුම් පිහුම් කිරීමේදී ගෙවල්වල වගේ එළවළු එකින් එක හෝදන්නෙ නෑ. පියන්වලින් වහල පරිස්සමට උයන්නත් බෑ. අපි මීයන්ට කෑමවලට වැටෙන්න නම් ඉඩ දෙන්නෙ නෑ. ඒත් මී මුත්‍රා ගෑවුණු මීයන් විසින් බාගෙට කාපු එළවළු නම් උයනවා. ඇත්තටම මිනිස්සුන්ට කන්න දෙන්නේ ඒවා තමයි. අපි මේ කඩවල අයිතිකාරයෝ නොවෙයි. නගර සභාවේ සේවකයන් ඇවිත් ඉඳලා හිටලා බෙහෙත් ගහලා ගියාට මීයන්ගෙන් අඩුවක් නෑ.’’


පිටකොටුව ශාන්ත සෙබස්තියන් පාරේ පිහිටි වෙළෙඳසලක් හිමි ව්‍යාපාරිකයෙක් වන එම්. රූමි මෙසේ අදහස් දැක්වීය.


‘‘මගේ වෙළෙඳසල මම පිරිසුදුවට තියා ගන්නවා. කඩේ ඇතුළට මීයෝ එන්නෙ නෑ. රූට තමයි මීයෝ පිනුම් ගහන්නේ. කඩේ ඇතුළට මීයන්ට එන්න බැරි වෙන්න දොරවල් හදලා තියෙන්නේ. ඒත් මේ මීයන්ගෙ ප්‍රශ්නය නම් මාර ලෙඩක් තමයි. මීයො ​බෝවෙන්න ලොකුම හේතුව තමයි මිනිස්සු කෑම බීම පාරට දාන එක. අනේක එක තමයි ගෙවල් ඇතුළේ උයන පිහන දේවල් පාරට දාන එක. මේ බලන්න මී ගුල් තියෙන විදිය. උන් උඩට ඇවිත් කාල උන් ආයෙ ගුල් ඇතුළට රිංගනවා. අනෙක් එක තමයි කුණු කානු. මේවයෙ තමයි මීයෝ ඉන්නේ. කොළඹ මහ නගර සභාවෙන් ​ඇවිත් මීයන්ට, මදුරුවන්ට කැරපොත්තන්ට බෙහෙත් ගහන්නේ. මොන තරම් බෙහෙත් ගැහුවත් මීයන්ගෙ අඩුවක් නෑ.’’


කොටුව දුම්රියපොළ අසල වෙළෙඳසලක හිමිකරුවෙක් වන ජෝන් ගිල්බට් ද අදහස් පළ කළේ මේ අයුරිනි.


‘‘මීයන්ගෙ ප්‍රශ්නයට නම් විසඳුමක් නෑ. මේ බලන්න මීයන් කඩේ ඇතුළට එනවට දොරවල් යටින් මේ ලෑල්ල තියලා තමයි හවසට කඩේ වහලා යන්නේ. මේ මීයෝ පූසෝ වගේ ලොකුයි. මීයෝ එළියට එනකොට පූසෝ බයේ දුවනවා. ඒ තරම්ම ලොකු මීයෝ. අනෙක් එක තමයි මීයන්ට දැන් මොකක්ද රෝගයක් හැදිලා. උන්ගෙ හමේ කබර වගේ සුදු පැල්ලම් මතුවෙලා. ඒ වගේ ඌරු මීයො එන්න එන්නම වැඩි වෙනවා. සෞඛ්‍ය කාර්යාලවල වෛද්‍යවරුන්, මහජන පරීක්ෂකවරුන් ඒ ගැන දන්නවද කියලා අපි දන්නෙ නෑ. අනෙක් එක තමයි මේ මීයන්ගෙ මුත්‍රා ගෑවුණු මීයො කාපු කෑම තමයි මිනිස්සුන්ට කන්න වෙලා තියෙන්නේ. මී උණ විතරක් නෙමෙයි හෙට අනිද්දා වන විට අලුත් අලුත් ලෙඩ හැදිලා මිනිස්සු මැරුණත් මේ ප්‍රශ්නයට විසඳුමක් නෑ. අඩුම ගානේ මේ පදික වේදිකාවල තියෙන මී ගුල් ටිකවත් වහලා දාන්න කොළඹ මහ නගර සභාව පියවර ගත යුතුයි.’’


වරාය සේවකයෙක් වන උපාලි විජේරත්න අප සමග කිව්වේ වෙනස්ම කතාවකි.


‘‘මම වැඩ කරන්නේ වරායේ. වරායෙ ප්‍රශ්නෙ කියන්න මම යන්නෙ නෑ. මම සිවිල් පුද්ගලයෙක් හැටියට අදහස් දක්වන්නේ. ඇත්තටම කොළඹ නගරයේ ඌරු මීයන්ගේ ප්‍රශ්නය පිළිබඳව කවුරුවත් කථා කරන්නේ නෑ. මේක වසංගතයක් වෙලා. මී උණ හැදිලා කොළඹ කී දෙනෙක් මිය ගියාද? කෝ විසඳුම්? මීට කාලයකට කලින් නම් මේ මීයන්ට බෙහෙත් ගහලා උන් විනාශ කළා. දැන් ඒ වැඩෙත් කෙරෙන්නේ නෑ වගේ.’’


මී උණ


මී උණ හෙවත් Leptospiosis යනු බැක්ටීරියාවකි. මෙය ඉතා වේගයෙන් චලනය වන බැක්ටීරියාවකි. මෙම කාණ්ඩයට අයත් බැක්ටීරියා ප්‍රභේද 200ක් පමණ ලෝකයේ ඇතැයි විද්‍යාඥයෝ පවසති. නිවර්තන හා උපනිවර්තන රටවලින් වැඩි වශයෙන් මී උණ රෝගීන් හමුවෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කොට ඇත.


මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේ කියන්නේ මෙවැන්නකි.


‘‘මේ මහ කන්නයේ වී අස්වනු නෙළන කාලයයි. අස්වනු නෙළන කාලයේදී මී උණ රෝගය සීග්‍රයෙන් පැතිර යනවා. මී උණ පැතිරීමත් සමග මී උණ ආශ්‍රිත මරණ සංඛ්‍යාත වැඩි වෙනවා.මීයන්ගේ ගවයන්ගේ මුත්‍රාවලින් මේ බැක්ටීරියාව ජලයට මිශ්‍ර වෙලා තමයි මිනිස් සිරුරට ඇතුළු වෙන්නේ. ශරීරයේ කැපීම්, සීරුම් හෝ තුවාලවලින් තමයි බැක්ටීරියාව මිනිස් සිරුරට ඇතුළු වෙන්නේ.


මී උණ තමයි මෙරට දෙවැනියට වාර්තාවන බෝවන රෝගය. 2024 වසරේදී මී උණෙන් පුද්ගලයන් 300ක් මිය ගියා. 2025 වසරේදී මී උණෙන් සිදුවූ මරණ 200ට අඩු වුණා. 2026 වසරේ මේ ගෙවී ගිය කාලයේදී මී උණ රෝගීන් 1800කට වඩා වාර්තා වෙලා. මෙම වසරේ මියගිය ගණන තවම අපට ලැබිලා නැහැ. රත්නපුර, ගාල්ල, කෑගල්ල, කළුතර, මොනරාගල, මාතර ප්‍රදේශවලින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වෙන්නේ.’’


එහෙත් ප්‍රශ්නය වී ඇත්තේ කුඹුරු නොමැති කොළඹ නගරයෙන් ද මී උණ රෝගීන් වාර්තා වී තිබීමය. එලෙස රෝගීන් වාර්තාවීමට හේතුව කොළඹ ඌරු මී වසංගතයයි. මී උණ කෙසේ වෙතත් අතිශය ජනාකීර්ණ මෙරට ප්‍රධාන නගරයට යන එන ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ ආහාරපාන වල පිරිසුදුතාවය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් කොළඹ මී වසංගතය නිසා නිර්මාණය වී ඇත. අපිරිසුදු ආපනශාලා, හෝටල්වල කෑම පිසීමට යොදා ගන්නා කල්දේරම්වලට මීයන් නොවැටෙන බවට සහතික ලබා දෙන්නේ කවුද යන්න අනෙක් ප්‍රශ්නයයි.


මේ අතර මී වසංගතය පිළිබඳව කොළඹ මහ නගර සභාවේ ප්‍රජා වෛද්‍ය නිලධාරි ශ්‍රී පනාපන් මෙසේ කීවේය.


‘‘කොළඹ මහ නගර සභාවට අයත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල හයක් තියෙනවා. ඒවායේ සිටින සෞඛ්‍ය උපදේශකවරුන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු නිලධාරීන් මීයන් කැරපොත්තන්, මදුරු මර්දනයට අදාළ කටයුතු ආදියට දිගටම කරගෙන යනවා.


විශේෂයෙන්ම ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාවට නංවනවා වගේම මේ කියන මීයන් මර්දනයට බෙහෙත් විදීම් ආදිය දිගටම කරගෙන යනවා. මීයන්ගේ බෝවීම වැඩිබව ඇත්ත. ඒකට හේතුව තමයි මේ කෑම බීම හැමතැනම විසිකරන එක. නගර සභාව මොන තරම් කුණු එකතු කළත් තාමත් අවිධිමත් ලෙස තැන තැන කුණු දානවා. ඇත්තටම යම් කිසි අයකුට මීයන්ගෙන් කරදර නම් වහාම අපේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවලට දැනුම් දෙන්න. කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ 0112691922, 0112691191 දුරකතන අංක වලට දැනුම් දෙන්න. අපි ලෑස්තියි අවශ්‍ය පියවර ගන්න.’’


මෑත කාලීනව මී උණ රෝගීන් වැඩිපුරම වාර්තා වී තිබුණේ 2008 වසරේ දීය. එම සංඛ්‍යාව 7406 කි. එම වසරේ මියගිය පුද්ගලයන් ගණන 200 කි. එම වසරේ තිබූ වාර්තා බිඳ දමමින් 2024දී මී උණෙන් පුද්ගලයෝ 300ක් මිය ගියහ.


ඩෙංගු මරණවලට පසුව වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ මී උණෙනි. දින තුනක් පුරා පවතින උණ අවසන් වන්නේ මරණයෙන් ය. මී උණ වැලඳීම වළක්වා ගන්නට වෛද්‍යවරු නිර්දේශ කරන්නේ ඩොක්සිසයික්ලින් (Doxycyline) නමැති ප්‍රතිජීවක ​ඖෂධයයි. කුඹුරට බැසීමට පෙර ගොවීන්ට මෙකී ප්‍රතිජීවක ඖෂධය ලබාදිය යුතුය. එහෙත් කොළඹ මීයන්ගෙන් බේරීම සඳහා කොළඹ යන එන අයට මෙකී ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන්නේ නැත.


කුණු කානු උතුරා මුළු කොළඹම අපායක් බවට පත්වන්නේ වැසි කාලයටය. කොළඹ පූසන්ටත් බය නැති ඌරු මීයෝ හැම තැනම ඇත. මේ ඌරු මී වසංගතය පාලනය නොකළහොත් මේ මීයන් හමුවේ මිනිසුන්ට පසු බසින්නට වන කාලය වැඩි ඈතක නැතැයි කොළඹ මිනිස්සු කියති.

 

More News..