මම නළුවෙක් වුණාට පුතාත් නළුවෙක් වෙන්න ඕන නෑ
22 July 2026 | ලක්ෂාන් ජයසූරිය
මම නළුවෙක් වුණාට පුතාත් නළුවෙක් වෙන්න ඕන නෑ
22 July 2026 | ලක්ෂාන් ජයසූරිය
රොෂාන් රණවන හැමදාම ප්‍රේක්ෂකයන් අතර රැඳුණ ආදරණීය සිනමා තරුවක් කිව්වොත් නිවැරැදියි. කලක් සිනමාවේ ආදරණීය ප්‍රේමවන්තයා වූ රොෂාන් වරෙක දුෂ්ටයා බවටත් පත්වුණා. මේ දිනවල ‘මයි සිම්බා’ තුළින් දුෂ්ටයා ලෙසත්, ‘මොනර විල’ තුළින් නැවත වතාවක් ප්‍රේමවන්තයා ලෙසත් රොෂාන් රණවන මුණ ගැසෙනවා. මේ නිසාම අද අපි රොෂාන්ව ‘පිනිපලස’ කතාබහට සම්බන්ධ කරගත්තා.
රොෂාන් රඟපාන අලුත්ම චිත්‍රපටය my simba මොනවිදිහෙ චිත්‍රපටයක්ද?
2006 වසරේ ඉඳලා පටන්ගත්ත මගේ සිනමා ජීවිතයේ තවත් එක සුවිශේෂි චිත්‍රපටයක් විදිහට my simba චිත්‍රපටය හඳුන්වන්න මම කැමැතියි. ඒකට හේතුව මයි සිම්බා (My Simba) චිත්‍රපටය කියන්නේ සජීවී සිංහයෙකු (Live Lion) යොදාගෙන නිර්මාණය කළ ලංකාවේ ප්‍රථම විශේෂාංග චිත්‍රපටය වීම. මිනිස්සු සහ සතුන් අතර ඇති වන අද්විතීය සබඳතාව සහ ආදරය ගැන my simba චිත්‍රපටයේ අන්තර්ගතවෙලා තියනවා. කුඩා දරුවන්ට සහ පවුලේ හැමෝටම එකට නැරඹිය හැකි සංවේදී මෙන්ම වික්‍රමාන්විත (Family Adventure) සිනමා පටයක් විදිහට my simba හඳුන්වන්න පුළුවන්.
my simba මට විශේෂ වෙන්න තවත් හේතු කීපයක් තියනවා. ඒ අතරින් my simba චිත්‍රපටයේදි මම දුෂ්ටයෙකුත් නොවන වීරයෙකුත් නොවන තරහ ගිය වනජීවී නිලධාරියෙක් විදිහට රඟපෑම මට විශේෂත්වයයක් ගෙනදුන්නා. අනිත් විශේෂත්වය තමයි මගේ පුතා මිනෙත් රණවන my simba චිත්‍රපටයේ පසුබිම් ගායනයෙන් දායක වීම. ඒ වගේම තමයි වැඩිහිටියන්ට නරඹන්න විතරක් චිත්‍රපට නිර්මාණය වන කාලේ ළමයින් වෙනුවෙන් මේ විදිහේ ළමා චිත්‍රපටයක් නිර්මාණය වීමත් විශිෂ්ට දෙයක්. මේ සියලු දේවල් එක්ක my simba මම දකින්නෙ සුවිශේෂි චිත්‍රපටයක් විදිහට.
රොෂාන්ගේ පුතා my simba චිත්‍රපටයේ පසුබිම් ගායනයට සම්බන්ධ වීම ගැන මොකද හිතන්නෙ?
මගේ පුතා මිනෙත් පුංචි කාලෙ ඉඳලා ගායනයට ගොඩක් දක්ෂයි. ඉතින් my simba චිත්‍රපටයේ පසුබිම් ගායනයට සම්බන්ධ වෙලා එයාගේ දක්ෂතාවය රටටම පෙන්නන්න අවස්ථාව ලැබුණා. තාත්තා කෙනෙක් විදිහට ඒ ගැන මම හදවතින්ම සතුටු වෙනවා.
තාත්තා වගේ පුතාවත් නළුවෙක් කරන්න අදහසක් නැද්ද?
මම කලාවට සම්බන්ධ නිසා මගේ පුතා මිනෙත්ට පුංචි කාලෙ ඉඳලා කලාව ගැන ආභාෂය ලැබුණා. මගේ රඟපෑම් දැකලා ඒ දේවල් කරන්නෙ කොහොමද කියලා පුතා යම් අධ්‍යයනයක් ලැබුවා. හැබැයි මේ වෙද්දි පුතා චිත්‍රපට පසුබිම් ගීත ගායනයට විතරයි සම්බන්ධ වෙලා ඉන්නෙ. ඉදිරියෙදි පුතාට ගැළපෙන නිර්මාණයක් ලැබුණොත් පුතාගේ කැමැත්ත ඇතුව රංගනයට යොමු කරන්න අදහසක් තියනවා. මම නළුවෙක් නිසා පුතත් නළුවෙක් වෙන්න ඕන කියන අදහසේ මමවත් මගේ බිරිඳවත් නැහැ. අපේ පුතාට තාම වයස අවුරුදු හයයි. පුතාගේ ජීවිතය වෙනුවෙන් අපි මගපෙන්වීම සහ අධ්‍යාපනය ලබා දෙනවා. එතැනින් පස්සෙ මොන විදිහේ වෘත්තියක නියැළෙනවද කියලා එයා තීරණය කළ යුතුයි කියන අදහසෙයි අපි ඉන්නෙ. මේ වෙද්දි පුතාගේ කටේ නම් තියෙන්නෙ ලොකු වුණහම නළුවෙක්, ගායකයෙක් සහ ගුවන් නියමුවෙක් යන වෘත්තියන් තුනම කරනවා කියලා.
රොෂාන් නළුවෙක් විදිහට සාර්ථක වුණේ කොහොමද?
තමන්ගෙ රංගන හැකියාව පිළිබඳ වටහාගෙන රංගනය පිළිබඳ ප්‍රායෝගිකව හදාරලා අඩුපාඩු නිවැරැදි කරගෙන, රංගන ක්ෂේත්‍රයට සහ ක්ෂේත්‍රයේ ඉන්න අනිත් ශිල්පීන්ට ගරුකරලා, ප්‍රේක්ෂක මතයටත් ගරුකිරීම තුළින් මට සාර්ථක නළුවෙක් වෙන්න පුළුවන් වුණා. නමුත් දැන් ක්ෂේත්‍රයට එන නවකයෝ මේ දේවල් කරනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. හරියාකාරව රඟපාන්නෙ නැතුව නළුවෙක් වෙන්න අද ඕන තරම් ක්‍රම තියනවා. හැබැයි වසර ගණනාවක් අඛණ්ඩව ක්ෂේත්‍රයේ රැඳී සිටිමින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය සමග ජනප්‍රිය නළුවෙක් වෙන්න ඒ විදිහට බැහැ.
සිනමාවේ හෙට දවසේ අලුත් නිර්මාණ මොනවාද?
ඔව්. ජූලි 16 වැනිදා ඉඳලා my simba තිරගතවන අතරතුරේදි ජූලි 24 වැනිදා ඉඳලා මම රංගනයෙන් දායකවුණ මොනර විලක් චිත්‍රපටයත් තිරගත වෙනවා. මොනර විලක් චිත්‍රපටයේදි මාලිනී ෆොන්සේකාව අවසාන වතාවට ප්‍රේක්ෂකයන්ට රිදී තිරයෙන් නරඹන්න පුළුවන්. ඊට අමතර මම රඟපාපු තවත් චිත්‍රපටයක් මේ වසරෙදි නරඹන්න හැකියාව තියෙනවා.
මොනර විලක් අත්දැකීම කොහොමද?
ඒක ටිකක් කලින් කරපු චිත්‍රපටයක්. ප්‍රමාද වෙලා තමා තිරගත වෙන්නේ. නමුත් මට ලැබුණු පරාසය ඇතුළේ මගේ රංගනය කළා. මේ චිත්‍රපට දෙකෙන්ම මේ දිනවල මම ප්‍රේක්ෂකයන්ව මුණගැසෙනවා.
රොෂන් රණවන ආපහු සිනමාවේ රජ කරන යුගයක්ද එන්නෙ?
සිනමාවේ රජ කරනවට වඩා ප්‍රේක්ෂකයාගේ රසවින්දනය සඳහා හොඳ නිර්මාණ ලබා දෙන්නයි මම නිතරම උත්සාහ කරන්නේ. මම රංගන ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙදි ප්‍රේක්ෂකයන්ට ලබා දුන්න ආසයි මං පියාඹන්න, සුවඳ දැනුනා ජීවිතේ වගේ ආදරය ඉතිරෙන අති විශිෂ්ට Love story එකක් ලබන අවුරුද්ද මුල් කාලයේදි ප්‍රේක්ෂකයන්ට නරඹන්න ලබා දෙන්න මේ වෙද්දි වැඩකටයුතු සූදනම් කරමිනුයි ඉන්නෙ. රුපියල් ලක්ෂ 600 කට වඩා අධික නිෂ්පාදක පිරිවැයකින් නිර්මාණය වුණ මගේ අලුත්ම චිත්‍රපටය සාම්‍ප්‍රදායික love story වලට වඩා එහා ගිය ඉහළ තෘප්තියක් ලැබෙන සිනමාශාලා house full වන චිත්‍රපටයක් කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්. මම සිනමාවට ආපු මුල් කාලයේදි මාව ඉහළට ඔසවා තබපු චිත්‍රපටවලටත් වඩා දැවැන්ත ඔසවා තැබීමක් ඒ චිත්‍රපටය හරහා වෙයි කියලා මම විශ්වාස කරනවා.

