brand logo
logo
දාගොන්න කැළෑ රොදක සිහිසුන්ව වැටී සිටි කත මීගමුව රෝහලේදී මරුට

දාගොන්න කැළෑ රොදක සිහිසුන්ව වැටී සිටි කත මීගමුව රෝහලේදී මරුට

05 November 2026 | පියපේම මානික්කරත්න - මිනුවන්ගොඩ


මීරිගම මීගමුව ප්‍රධාන මාර්ගයේ දාගොන්න ප්‍රදේශයේ කැළෑ ප්‍රදේශයක සිහිවිකල්ව සිටියදී සොයාගෙන රෝහල් ගතකිරීමෙන් පසු මියගිය 63 හැවිරිදි කාන්තාව දූෂණයට ලක් කිරීමෙන් පසු හිසට පොල්ලකින් පහරදීමෙන් සිදුවූ ඝාතනයක් බව කටාන පොලිසිය පවසයි.


මෙම කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (03 වැනිදා) මීගමුව රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා විසින් සිදුකළ අතර එම වාර්තාවට අනුව මෙය ඝාතනයක් බවට අනාවරණය වී ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කිඹුලාපිටිය, මීගමුව ලිපිනයේ පදිංචිව සිටි ඇටම්පල ආරච්චිගේ මේරි අනිල්කා ශිරාණි නමැති කාන්තාවකි.


ඇය පසුගිය 29 වැනිදා සවස 03.00 ට පමණ දාගොන්න දනමුතු හෝටලය ඉදිරිපිට කැළෑ රොදක සිහිසුන්ව වැටී සිටියදී සුවසැරිය ගිලන්රථයකින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත. රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ මෙම කාන්තාව පසුගිය 02වැනිදා උදෑසන මියගොස් තිබිණ.


ඝාතනයට ලක්වූ කාන්තාව ප්‍රදේශයේ සංචාරය කරමින් සිටින යාචක කාන්තාවක් බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.


මෙම අපරාධය කළ සැකකරුවන් සොයා කටාන පොලිසිය පුළුල් විමර්ශන සිදුකරති.


​ප්‍රදේශයේ සංචාරය කරමින් යාචක වෘත්තියේ නිරතව සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති මෙම කාන්තාව ඝාතනය කිරීම සහ අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් කටාන පොලිස් ස්ථානය විසින් වැඩිදුර පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.




© 2026 All Rights Reserved. Powered by Summit


 

More News..