Best News Website award
brand logo
logo
 ලාෆ්ස් ගෑස් මිල වැඩිවීමට හේතුව සමාගම පහදයි

ලාෆ්ස් ගෑස් මිල වැඩිවීමට හේතුව සමාගම පහදයි

14 November 2026


ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කළේ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල, නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු සහ විනිමය අනුපාත ඉහළ යාම හේතුවෙන් මතුව ඇති පිරිවැය පියවා ගැනීම සඳහා බව එම සමාගමේ අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා පවසයි.


මෙම මිල සංශෝධනය මඟින් සමාගම අමතර ලාභයක් අපේක්ෂා නොකරන බවත්, එය සමාගමේ පිරිවැය පියවා ගැනීම සඳහා ගණනය කළ මිලක් පමණක් වන බවත් ඔහු අවධාරණය කළේය.


ගෑස් සිලින්ඩරයක මිල තීරණය කිරීමේදී ප්‍රධාන සාධක කිහිපයක් බලපාන බව පෙන්වා දුන් ඒ මහතා, සෞදි අරාම්කෝ සමාගම විසින් සෑම මාසයකම ආරම්භයේදී ප්‍රකාශයට පත් කරන ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඒ අතර ප්‍රධාන සාධකයක් බව සඳහන් කළේය.


මෙම වසරේ ආරම්භයේ සිට මේ දක්වා යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත්, එම මිල ඉහළ යාම හේතුවෙන් කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයකට රුපියල් 706ක අමතර පිරිවැයක් එකතු වී ඇති බවත් ඔහු පැවසීය.


මීට අමතරව ගෑස් ප්‍රවාහනය සඳහා වැය වන නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු ද යුදමය තත්ත්වය හේතුවෙන් ඉහළ ගොස් ඇති අතර, ඒ හරහා සිලින්ඩරයකට තවත් රුපියල් 417ක පිරිවැයක් එකතු වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.


එමෙන්ම විනිමය අනුපාතයේ සිදුවූ වෙනස්වීම් හේතුවෙන් රුපියල් 299ක අමතර පිරිවැයක් දැරීමට සිදු වීම ද මේ සඳහා බලපා ඇති බව ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කළේය.


මෙම පිරිවැය ඉහළ යාම්වලට අමතරව අදාළ මිල සංශෝධනයට සියයට 18ක වැට් බද්දෙන් රුපියල් 256ක මුදලක් ද ඇතුළත් වන බවත්, බැංකු ණය සහ ණයවර ලිපි (LC) හරහා ගෑස් මිලදී ගැනීමේදී සමාගමට දැරීමට සිදුවන මූල්‍ය පිරිවැය ලෙස තවත් රුපියල් 90ක් එකතු වන බවත් ඔහු පැහැදිලි කළේය.


ඒ අනුව මෙම සියලු පිරිවැය එකතු කළ විට රුපියල් 1,769ක මිල වැඩිවීමක් සිදු කළ යුතු වුවද, සමාගම විසින් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දමා ඇති බව ඔහු පැවසීය.


සමාගම ලාභ ඉපයීමේ අරමුණින් හෝ පාරිභෝගිකයන් අපහසුතාවට පත් කිරීමේ අරමුණින් මෙම මිල සංශෝධනය සිදු නොකළ බව ද නලින්ද කුරුකුලසූරිය මහතා සඳහන් කළේය.


කොළඹ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි සමාගමක් ලෙස කොටස් හිමියන්ට මෙන්ම ණය ලබාදී ඇති බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලට ද සමාගම වගකීමට බැඳී සිටින බැවින් පාඩු ලබන මිලකට ගෑස් අලෙවි කිරීමේ හැකියාවක් නොමැති බව ද ඔහු පැවසීය.


ඒ අනුව වත්මන් මිල සංශෝධනය ලාභ ඉපයීම අරමුණු කරගත් එකක් නොව, සමාගමේ පිරිවැය පියවා ගැනීම සඳහා තීරණය කළ මිලක් බවත්, ලෝක වෙළෙඳපොළේ පවතින යුදමය තත්ත්වය ඇතුළු සාධක හේතුවෙන් මෙම මිල වැඩි කිරීම සිදු කිරීමට සිදුවූ බවත් ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


 

 

More News..