විමල්ගේ පොත ගැන අධිකරණයෙන් තීන්දුවක්
09 July 2026
විමල්ගේ පොත ගැන අධිකරණයෙන් තීන්දුවක්
09 July 2026
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් රචිත "නැත්ත වෙනුවට ඇත්ත" ග්‍රන්ථයේ ඇතුළත් ඇතැම් ලේඛන හරහා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරමින්, ඔහුට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නිකුත් කළ නියෝගයට එරෙහිව විමල් වීරවංශ මහතා ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ.
කෙසේ වෙතත්, අදාළ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම, විකිණීම සහ බෙදාහැරීම වළක්වාලමින් වාණිජ මහාධිකරණය නිකුත් කර තිබූ තහනම් නියෝගය සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
ඒ අනුව, තහනම් නියෝගය ග්‍රන්ථයේ ඇතුළත් ටිල්වින් සිල්වා මහතාට අයත් ලේඛනවලට පමණක් සීමා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන් එම තීන්දුවට එකඟත්වය පළ කළහ.
ටිල්වින් සිල්වා මහතා වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කළ නඩුවෙන් සඳහන් කර තිබුණේ, විමල් වීරවංශ මහතා තම ග්‍රන්ථයට ජනතා විමුක්ති පෙරමුණට අයත් ලේඛන කිහිපයක් අවසරයකින් තොරව ඇතුළත් කිරීම මඟින් තම බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කර ඇති බවයි.
එම නඩුව විභාග කළ කොළඹ වාණිජ මහාධිකරණය, ටිල්වින් සිල්වා මහතාගේ බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය වී ඇති බව තීරණය කරමින්, ඒ වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස විමල් වීරවංශ මහතාට නියෝග කර තිබුණි.
එම තීන්දුවට එරෙහිව ගොනු කළ විශේෂ අභියාචනය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, වන්දිය ගෙවන ලෙස වාණිජ මහාධිකරණය ලබා දී තිබූ නියෝගයට මැදිහත් නොවන බව සඳහන් කළේය.
වාණිජ මහාධිකරණ විනිසුරුවරයා නීතිය හා කරුණු නිසි ලෙස සලකා බලා එම තීරණය ලබා දී ඇති බව ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සිය තීන්දුවෙන් පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, ග්‍රන්ථය මුළුමනින්ම ප්‍රකාශයට පත් කිරීම, විකිණීම සහ බෙදාහැරීම වළක්වාලන තහනම් නියෝගය සංශෝධනය කරමින්, එය ටිල්වින් සිල්වා මහතාට අයත් ලේඛනවලට පමණක් සීමා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.

