විදේශ ආයෝජකයන් ඩොලර් ඉවත් කර ගැනීමෙන් කොටස් වෙළඳපොල ඉරිතලයි
11 September 2026 | සාකච්ඡා කළේ - සංජය නල්ලපෙරුම
විදේශ ආයෝජකයන් ඩොලර් ඉවත් කර ගැනීමෙන් කොටස් වෙළඳපොල ඉරිතලයි
11 September 2026 | සාකච්ඡා කළේ - සංජය නල්ලපෙරුම
කොළඹ කොටස් වෙළෙඳපොළේ විදේශ ආයෝජන මේ වනවිට රටින් පිට වෙමින් පවතී. මේ වසර ඇතුළතදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන එකසිය අසූවක (180) විදේශ ආයෝජන කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කරගෙන තිබේ. මේ අතරතුර රුපියල්වලින්, ආදායම වාර්තා තබා ඇති බවට ආණ්ඩුව පුරසාරම් දොඩයි. මේ, ඒ පිළිබඳ ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සකස් කළ ලිපියකි.
අපේ රට මැදි ආදායම් ලබන රටක් බවට පත්ව ඇති බවට ආණ්ඩුව සති කිහිපයකට පෙර උදම් ඇනුවේය. ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදයට නටමින්, සංඛ්‍යා ලේඛන විජ්ජා පෙන්වමින් සිටී. එක් පැත්තකින් රටේ ජනතාවගේ ආදායම් ඉහළ ගොස් තිබෙන බව පවසන ඔවුහු අනික් පැත්තෙන් දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් තිබෙන බව ද සඳහන් කරති.
නමුත්, රට මැදි ආදායම් ලබන රටක් බවට පත්ව ඇති බව සහ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් තිබෙන බව පවසන පසුබිමක කොළඹ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කර තිබෙන විදේශ ආයෝජකයෝ තමන්ගේ මුදල් ලංකාවෙන් පිටතට රැගෙන යති. කොළඹ කොටස් වෙළෙඳපොළ දත්ත අනාවරණය කරන ආකාරයට මේ වසරේ දී පමණක් රුපියල් බිලියන පනස් හයක (56) ආයෝජන කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ගැලවී ගොස් තිබේ. අගෝස්තු මාසයේදී පමණක් මෙලෙස කොළඹ කොටස් වෙළෙඳපොළෙන් පිටතට ගලා ගිය විදේශ ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන දහ නමයක් (19) පමණ වේ. මේ වසර තුළදී කොළඹ කොටස් වෙළෙඳපොළෙන් පිටතට ගලා ගිය ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන එකසිය අසූවක් (180) පමණ වේ. රටේ විදේශ සංචිත ඉහළ නංවා ගත යුතුව තිබෙන අවස්ථාවකදී මෙලෙස කොළඹ කොටස් වෙළෙඳපොළේ ඇති විදේශ ආයෝජන පිටට ගලා යාම සුබදායී තත්ත්වයක් නොවේ. මෙහි සත්‍ය තත්ත්වය වන්නේ ඩොලර් මිලියන එකසිය අසූවක් රටට අහිමි වීමයි.
ආණ්ඩුව ආදායම් ඉහළ ගොස් ඇති බව පැවැසුවත්, එම ආදායම් ඉහළ ගොස් ඇත්තේ සැබෑ ආර්ථික වර්ධනයක් නොවන ආකාරයට බව විදේශ ආයෝජකයෝ විශ්වාස කරති. බදුවලින් සහ පොලීවලින් ආර්ථිකය පුම්බා ඇතත්, එහි රටට බලපාන ආර්ථික වර්ධනයක් නොමැති බව විදේශ ආයෝජකයෝ දනිති. විදේශ ආයෝජකයන් කොටස් විකුණා දමන්නේ ඒ මේ නිසාය. සැබෑ ලෙසම දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් සිදුවී, මැදි ආදායම් රටවක් බවට පත් වූයේ නම් සිදුවිය යුත්තේ මෙහි අනික් පැත්තයි. එනම් ආයෝජකයන් රටින් පිටට යනවා වෙනුවට රටට පැමිණ තව තවත් ආයෝජනය කිරීමයි. නමුත් එවැනි දෙයක් පෙනෙන්නට නැත.
මෙලෙස විදේශ ආයෝජන රටෙන් පිට වෙද්දී ආණ්ඩුව රුපියල්වලින් ආදායම් ගණනය කරමින් සිටී. රුපියල්වලින්, ආදායම් වාර්තා තබා ඇති බව ආණ්ඩුව පවසන විට විදේශ ආයෝජන රටින් පිටතට ගලා යාම ඔවුන් දකින්නේ නැත. මේ අවස්ථාවේදී දේශීය මුදල් එකතු කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව ආණ්ඩුව තේරුම් නොගැනීම කනගාටුවට කරුණකි. මේ අවස්ථාවේදී අවශ්‍ය වන්නේ විදේශ මුදල්ය. එහෙත් ආණ්ඩුව දිගින් දිගටම උත්සාහ කරන්නේ දේශීය මුදල් එකතු කිරීමටය. මේ නිසා මේ වසරේදී විදේශ ගිණුම සෘණ අගයක් වෙත ගමන් කරනු ඇත. එය තාවකාලික සෘණ අගයක් වෙත ගමන් කිරීමක් නොවේ. එය දීර්ඝ කාලීන සෘණ අගයක් වෙත ගමන් කිරීමක් වනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස දීර්ඝ කාලීනව විදේශීය ණය ප්‍රමාණය ඉහළ යනු ඇත.
කොටස් වෙළෙඳපළෙන් විදේශීය ආයෝජකයන් පිටතට යාම මෙය තවත් බරපතළ තත්ත්වයක් කරා ගෙන යනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධයෙන් කුමක් පැවැසුවත් විදේශීය ආයෝජකයන් ඒවා විශ්වාස කරන බවක් පෙනෙන්නට නැත. එයට හොඳම උදාහරණය වන්නේ මේ වසරේ මුල් කාර්තුව අවසානයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විස්තීර්ණ ණය පහසුකම යටතේ ණය වාරිකයක් ලබා දුන් සතියේම බැඳුම්කර වෙළෙඳපොළේ සිටි විදේශීය ආයෝජකයන් පිටතට යාමයි. එම සතියේදී පමණක් බැඳුම්කර වෙළෙඳපළෙන් විදේශීය ආයෝජකයෝ ඩොලර් මිලියන විසි දෙකයි දශම පහක මුදලක් (22.5) රටින් පිටතට ගෙන ගියහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කුමක් කීවත් විදේශීය ආයෝජකයන් ඒවා පිළි නොගන්නා බව මෙයින් හොඳින්ම පැහැදිලි වේ. එමෙන්ම අලුත් වචන භාවිත කරමින් බොරු කියා, වෙළෙඳපොළ විශ්වාසය තහවුරු කිරීමටත් නොහැකි බව මෙයින් සනාථ වේ.
කොළඹ කොටස් වෙළෙඳපොළේ සහ බැඳුම්කර වෙළෙඳපොළේ පමණක් නොවන වත්කම් වෙළෙඳපොළේ ආයෝජනය කළ ආයෝජකයෝ ද තමන්ගේ මුදල් රැගෙන යති. ඔවුන් මෙසේ රටින් පිටතට ගෙන යන්නේ එදා ඔවුන් රට තුළට ගෙන ආ ඩොලර් ප්‍රමාණය මෙන් තුන් ගුණයකි. රුපියල අවප්‍රමාණය වීම හමුවේ එදා ඩොලරයක් රටට ගෙන ආ විදේශිය ආයෝජකයකුට අද ඩොලර් තුනක් ගෙවීමට සිදුව තිබේ. ඒ අනුව බලන විට රටේ ඩොලර් සංචිතය වේගයෙන් කඩා වැටෙනු ඇත.
මේ අතරවාරයේදී විදේශ ගිණුමද සෘණ අගයක් වාර්තා කර තිබේ. ජුනි මාසය වන විට විදේශ ගිණුමේ සෘණ අගය ඩොලර් මිලියන අටසිය හැට අටක් (868) වාර්තා කළේය. එවැනි සෘණ අගයක් වාර්තා කර ඇත්තේ මේ වසරේ මුල් කාර්තුවේදී විදේශ ගිණුමේ ඩොලර් මිලියන හයසියයකට (700) වඩා වැඩි අතිරික්තයක් වාර්තා කර තිබියදීය. කොටස් වෙළෙඳපොළේ සිටින විදේශ ආයෝජකයන් ලංකාවෙන් පිටතට මුදල් ගෙන යාම බරපතළ තත්ත්වයක් බවට පත්වන්නේ ඉදිරියේදී ගෙවීමට ඇති විදේශ ණය දෙස බලන විටදීය. 2028 වසර අවසන් වන විට බැඳුම්කර හිමියන්ට විදේශ ණය නැවත ගෙවිය යුතුය. ඒ වන විට විදේශ සංචිංත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන පහළොව (15) දක්වා ඉහළට ගෙන ආ යුතු අතර, එය ඉහළට ගෙන එන්නේ කෙසේද යන අභියෝගය මේ වන විට රට ඉදිරියේ තිබේ.
මෑත කාලීන අත්දැකීම් දෙස බලන විට, ඩොලර් බිලියන පහළොවක් (15) දක්වා යන ඉලක්කය සම්පූර්ණ කරගැනීම සඳහා අවශ්‍ය ඩොලර සොයා ගැනීමට හැකි වේද? යන්න කෙරෙහි එතරම් විශ්වාසයක් තැබිය නොහැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ණය දෙන ආයතනවලින් විදේශ ණය පසුගිය කාලයේදී ලැබුණත් මේ වන විටත් විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන හත ඉක්මවා යාමට නොහැකිවී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙන විස්තීර්ණ ණය පහසුකම 2027 වසරේ මාර්තු මාසයේදී අවසන් වීමට නියමිතවීම හමුවේ මෙය තවත් අභියෝගාත්මක ඉසව්වක් වෙත රැගෙන යන්නේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අවසන් වීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවට අඛණ්ඩව විදේශ විනිමය ලබාදෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය.
ඒ අනුව බලන කල ඉදිරි වසර කිහිපය, ලංකාවේ ආර්ථිකයට අතිශය තීරණාත්මක කාලයක් බවට පත්වනු ඇත.
ආර්ථික විශ්ලේෂක - ගයන්ත දෙහිවත්ත

