brand logo
logo
හබරාදුවට සනීපාරක්ෂක මධ්‍යස්ථානයක්-බස් නැවතුම්පොළත් සංවර්ධනය කෙරේ

හබරාදුවට සනීපාරක්ෂක මධ්‍යස්ථානයක්-බස් නැවතුම්පොළත් සංවර්ධනය කෙරේ

22 October 2026 | මහේෂ් ද සිල්වා


හබරාදුව ජනතාවගේ දැඩි ඉල්ලීමක්ව පැවති, නගරයේ අංග සම්පූර්ණ මහජන සනීපාරක්ෂක මධ්‍යස්ථානයකට මුල්ගල් තැබීම අද (22) පෙරවරු 10.00 ට හබරාදුව දුම්රිය ස්ථානය අසලදී සිදු විය.


හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති තක්ෂින රවිෂන් ගමගේ ඇතුළු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සංවිධානය කර තිබූ අතර, ඉන් අනතුරුව සභාපතිවරයා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම මේ වන විට ප්‍රතිසංස්කරණය වෙමින් පවතින හබරාදුව බස් නැවතුම්පොළේ ද විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.


එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති තක්ෂින රවිෂන් ගමගේ මෙසේ පැවසීය:


"හබරාදුව නගරයට තිබූ බලවත් අඩුපාඩුවක් තමයි මෙම සනීපාරක්ෂක මධ්‍යස්ථානය. පසුගිය පාලකයන්ට අඩුම තරමේ මෙවැනි දෙයක්වත් කරන්න හැකියාවක් තිබුණේ නැහැ. මේ සඳහා රුපියල් ලක්ෂ 160 ක මුදලක් වෙන් වෙනවා. ඒ වගේම රුපියල් ලක්ෂ දෙදහකට ආසන්න ප්‍රමාණයක සංවර්ධන ව්‍යාපෘති අපි මේ වසර එකහමාරක කාලය ඇතුළත හබරාදුව නගරයට විතරක් ගෙනල්ලා තියෙනවා.මීට වසර දහයකට පෙර අවිධිමත් ලෙස ඉදිකර තිබූ හබරාදුව බස් නැවතුම්පළේ සංවර්ධන කටයුතුත් මේ වන විට අපි ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම හබරාදුව නගරයේ වසර විසි පහකට වැඩි කාලයක් තිස්සේ ගරා වැටෙමින් විනාශ වෙමින් තිබෙන නිවාස ගොඩනැගිලි සංකීර්ණය ද නැවත ප්‍රතිසංස්කරණය කරලා ජනතාව අතට පත්කරන්නට අවශ්‍ය කටයුතු මේ වන විට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරමින් යනවා."


මෙම අවස්ථාව සඳහා හබරාදුව ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්, මන්ත්‍රීවරියන්, හබරාදුව ප්‍රාදේශීය ලේකම් සුලෝචනා ගමගේ ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.


 

More News..