68 දෙනෙකුට මරු කැඳවූ ස්පාඤ්ඤ දුම්රිය අනතුරට හේතුව හෙළිවෙයි
29 October 2026
68 දෙනෙකුට මරු කැඳවූ ස්පාඤ්ඤ දුම්රිය අනතුරට හේතුව හෙළිවෙයි
29 October 2026
ස්පාඤ්ඤයේ උර්ඩා ප්රදේශයේදී පුද්ගලයින් 68 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ දුම්රිය අනතුරට හේතුව දුම්රිය කළමනාකරුවෙකු ගත් වැරදි තීරණයක් බව එරට ප්රවාහන අමාත්යවරයා ප්රකාශ කර තිබේ.
මැඩ්රිඩ් සහ සෙවිල් නගර අතර ධාවනය වූ මගී ප්රවාහන දුම්රියක්, එම මාර්ගයේම නවතා තිබූ වෙනත් දුම්රියක අධික වේගයෙන් ගැටීමෙන් ඊයේ (28) මෙම අනතුර සිදුවී ඇති අතර, ඉන් සිය ගණනක් පිරිස තුවාල ලබා ඇත.
මාධ්ය හමුවකදී අදහස් දක්වමින් ස්පාඤ්ඤ ප්රවාහන අමාත්යවරයා සඳහන් කළේ, පරිගණක පද්ධතියේ හටගත් දෝෂයක් සහ ඊට සමගාමීව සිදුවූ මිනිස් දෝෂයක් හේතුවෙන් මෙම ඛේදනීය සිදුවීම සිදුව ඇති බවයි.
අනතුර සිදුවීමට සුළු මොහොතකට පෙර සංඥා පද්ධතියේ පරිගණක දෝෂයක් ඇතිව තිබෙන අතර, ඒ සමඟම සියලුම දුම්රිය නතර කරන ලෙස නියෝග නිකුත් කර තිබුණි. නමුත්, එම අවස්ථාවේදී පද්ධතියේ පාලනය භාරව සිටි දුම්රිය කළමනාකරුවෙකු විසින් 'රෙන්ෆේ' (Renfe) අධිවේගී දුම්රියට වේග සීමාවකින් තොරව ගමනාන්තය දක්වා ගමන් කිරීමට අවසර ලබා දී ඇත.
එම අවස්ථාවේදී 'ඉර්යෝ' (Iryo) නමැති අනෙක් දුම්රිය එම මාර්ගයේ නවතා තිබී ඇති අතර, අධික වේගයෙන් පැමිණි 'රෙන්ෆේ' දුම්රිය එහි ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
උර්ඩා හි සිදුවූ මෙම සිදුවීම වසර 13කට පසු ස්පාඤ්ඤයෙන් වාර්තා වූ දරුණුතම දුම්රිය අනතුර ලෙස සැලකේ.
මේ අතර, සිදු වූ අනතුරේ වගකීම භාරගනිමින් ප්රවාහන අමාත්යවරයා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් මැඩ්රිඩ් නුවර ප්රවාහන අමාත්යාංශය ඉදිරිපිට විරෝධතාවයක් ද සංවිධානය කර තිබුණි.

